Wednesday, May 1, 2013

සෙලවෙන ස්පර්ශය (vibrative touch)

සාදු වෙව්ලන්නේ බය නිසාදැයි නාලිකා දන්නේ නැත. නමුත් සෙම පිරුණු වැහැරුනු පපුව මත ඇති කාලයාගේ නෂ්ඨාවශේෂ බඳු නාලිකාගේ පියොවුරු මඟ අරිමින් ශාන්ත සාදු තෙල් අතුරා හොඳින් අතගායි. ශාන්ත සාදු ගේ වයස අවුරුදු හැට පහකට ආසන්න වුවත් වයසට වඩා වයස්ගත පෙනුමක් ශාන්ත සාදුට ඇත. ශාන්ත සාදු හා නාලිකා අතර සම්බන්ධය ගමේ කලෙක පටන් ඇති ජනප්‍රිය නවකතාවකි. විටින් විට අලුත්වන නව පරිච්චේද අතරින් ඔවුන් දෙදනා අතර අන්දරය වසර ගනනක සිට ඇදී යයි.

සමහර කොල්ලන් කුඩා කල අම්මලා මේ සම්බන්ධය ගැන කුනු කුනු ගගා සෙමෙන් කතාකරනු ඇසුන අතර දැන් ඔවුන්ගේ බිරින්දෑවරුද මේ සම්බන්ධය ගැන කටකතා සෙමෙන් කියනු ඔවුන්ට ඇසෙයි. දුරුවර්ණ වූ පොත් අතර පරණ අච්චුකන්තෝරු අකුරු වලින් ඇති පැරණි ගම ගැන විස්තර දැන් කාලයේ වැලිතලාවට යට වී හමාරය. නාගරික පරිසරයේ ඇති ගාලගෝට්ටිය ඇරුන කොට මෙහි ඇති ග්‍රාම්‍ය බවක් තවදුරටත් නැත. පොඩි හාමුදුරුවන් ඉගනගන්න කැම්පස් යෑම. එහිදී කෙල්ලන් හා සම්බන්ධව සිවුරු හැරීම. නැත්තං මැටි කමට පංසලේම හිටපු හාමුදුරුවෝ පවා මොකක් හරි වහතුවක් සෙට් කරගෙන පැනලා යෑම ආදිය ගම් වලට අලුත් දේවල් නොවේ.

කෙමෙන් වියැකී වඳවී යන සිල්වත් හෝ සිල්වත් නොවූ සාදුලා අතර අප ශාන්ත සාදුද සිටියේය. සමහරුන්ට අනුව ශාන්ත සාදු හා නාලිකා අතර ඇත්තේ හුදෙක් බැඳීමක් පමණි. එහෙත් හංදියේ ගංජා ගහමින් කතා කරන කොල්ලන් අතර නම් කියවෙන පරිදි පංසලේ හදිසි අවස්ථාවල ඝන්ටාව නාදවන අයුරින් ශාන්ත සාදු ඉල ඇදෙන තෙක් රෑට රෑට නාලිකාට යහමින් සත්කාර කරයි. ඒ කිනම් කථාව සත්‍යදැයි දන්නේ උඩ ඉන්න දෙවියනුත් පංසලේ නිදන බල්ලනුත් පමණි.

කැමරා පෝන් එකක් අතැතිව ශාන්ත සාධුගේ හොර හොයන්නට කවුලුවකින් එබී කොල්ලෝ බලා සිටියේ සාදු සහ නාලිකා සිපගන්නා හෝ ඔවුන් වැලඳගන්නා සුන්දර දසුන බලාගැන්මටයි. නමුත් වරු ගනන් පංසල් බිත්තියේ එල්ලී සිට අවසන ශාන්ත සාදුට ඔවුන්ව අතටම අසුවන තෙක් ඔවුන්ට එවන් දසුනක් නාලිකා සහ ශාන්ත සාදු කෙරෙන් දැකගත නොහැකි විය. ඔවුන් දෙදෙනා බලාගත් අත බලාගෙන කතා කරයි. නැතිනම් පොත් කියවයි. විටෙක අයෙක් කවි කියයි. අනෙකා අසා සිටියි. කවිවල තේරුම් කියයි.

නමුත් ජනේලයෙන් බලා සිටින කොල්ලන් සිතන පරිදි නාලිකා කවි කියන්නේ ශාන්ත සාදු ගේ සිවුරු කොණ උඩ ඉඳගෙන නොවේ. එසේම ශාන්ත සාදුද කවි වල තේරුම පහදන්නේ නාලිකාව සාදු සැතපෙන ඇඳ උඩ තබාගෙන නොවේ. නාලිකා ශාන්ත සාදු සිටින අවාස ගෙයි පඩිය මත හෝ ඇතුලත පැදුරු කඩමාල්ලකට වි සිට ගෙන සිටින අතර ශාන්ත සාදු වයස තවත් වැඩිකර පෙන්වන්නටදෝ කන්නාඩි කූට්ටමක් දාගෙන පොත් පත් බලයි. නැත්නම් නාලිකා හා සාමීචියෙහි යෙදෙයි.

බොහෝ ශ්‍රද්ධාව ඇති පුරුශයෙක් හෝ උපාසිකාවක් මෙය දුටුවොත් එකල බුදුන් දවස වැඩවිසූ භික්ෂූණීන් වහන්සේලා ආනන්ද හිමිගෙන් ධර්මය උගත්තා වැනි දසුනක් පෙනෙන්නට හැක. නමුත් බුදුරජානන් වහන්සේ යැයි කියන විට සාදු කාර දීමට සැරසුනු පරම්පරාවෙන් චාරිත්‍රෙයන් පැමිණි නිසා පංසල සහ වතාවත් කරන්නට එන අය එසේ දකින්නේ නැත. මොඩර්න් ලෝකයට අනුව වෙනස් වී සංකර වී ඇති තමුංගේ ජීවිත තුල ඇති ඉහවහා ගිය ආසාව ශාන්ත සාදුගේ සිවුර තුල ඇති යැයි ඔවුන්ද සිතති. එසේම නාලිකාගේ පුරුශයින් විසින් සූරා කාබාසිනියා  කරන ලද වියැකුනු ශරීරය තුල කුමක් හෝ ඉතිරි වූ දෙයක් ශාන්ත සාදු විසින් සුප්පු කරනවා යැයිද ගම්වැසියෝ සිතති.

නාලිකාට උණ ගැනී ඇති යැයි ශාන්ත සාදුට ආරංචි විය. පංසලේ සිටින බල්ලන්ට අමතරව තමුං ළඟ තනි නොතනියට කතාකරන්නට හෝ අනුන්ගේ දුක් ගොඩවල් ඇසීමේන හෙම්බත් වූ කන් වලට දුක නැති සරල ජීවන පුවතක් වශයෙන් ද වූ නාලිකා නැති පාලුව පංසල පුරාම ඇතැයි ශාන්ත සාදුට සිතුනේය. ගම් වැසියන්ගෙන් පැරණි සමහර අයෙක් තමුංට ඇති ප්‍රශ්ණ රැගෙන පංසලට එති. කෙතෙක් කයි කතාන්දර ඇසුවත් ඇසු පිරූ තැන් ඇති ශාන්ත සාදු සමඟ කතාවෙන්ම යම් යම් සහන ලැබෙන බවට ගමේ යමක් කමක් තේරෙන ගැමියෝ සිතූහ.

පැමිණෙන පිරිස බොහෝ උපදෙස් අනුශාසනා රැගෙන නික්මුනත් ශාන්ත සාදුට අවසන උරුම වන්නේ විවිධාකාර දුක්ඛ දෝමනස්සයන් ගොඩක් පමණි. ඔවුන්ගේ සංකීර්ණ ජීවිත වල ඇති සංකීර්ණ ගැටලු වලට විසඳුම් ශාන්ත සාදු තුල නැත. නමුත් ධර්මය තුල ඇති සරල බව ඔවුන්ට පෙන්වීමට ශාන්ත සාදු සමර්ථ වූහ. වැඩිහිටියෝ කුඩා ළමුන් බලන කාටුන් විර කතාදියට ද ආශා කරති. ධර්මය තුලද ඇති එවන් වූ නොපෙනෙන නොපවතින යථාර්තයට බොහෝ බෞද්ධයෝ ආශා කරති. ආශාව අතහැර යන්නට තබා තමුං ළඟ සිටි දුවනිය දීග යනවිට ඇය ගැන සති ගනන් දුක්වන පුද්ගලයින්ට  තමුන්ට අයිති කිසියම් දෙයක් තවත් හරහා බෙදෙනු දකින්නට අකමැති අයට කිනම් වූ නිර්වාණ දේශනාදැයි ශාන්ත සාදුට සිතුනේ වරක් දෙවරක් නොවේ. නමුත් කිසිදා නොලැබෙන එහෙත් සුන්දර  දෙයක් මෙනෙහි කිරීම තුල ඔවුන්ට මනා සහනයැක් ඇතැයි ශාන්ත සාදුට සිතුනි.

නාලිකා බලන්නට ගිය ශාන්ත සාදුට ඇය සිටින තත්වය මැනවින් වැටහුනි. ඇයට කෑම බීම සහ ඇගේ වෙනත් ඕනා එපාකම් අසල ගෙදරකින් වෙලාවට සැපයේ. ඔවුන්ගේ නෑයෙක් වන නාලිකා විසින් නාලිකාට හැකි කලෙක ඔවුන්ට සලකා ඇති නිසා කන්න බොන්න ටික නාලිකා ලෙඩවුන විට ළඟටම ලැබෙයි. ඔවුන්ටද නාලිකාගේ හොඳ ගතිගුණ පිහිටා ඇතිවා වෙන්නට ඇත. නැත්නම් පෙර සැලකුවාට එක් වේලක් දෙවේලක් දෙනවා හැර හැමදාම තුන්වේල කන්න දෙන්නට අපිට සල්ලි නැතැයි කියන්නට තරම් මනුෂ්‍යෙයෝ සාමාන්‍යෙයන් නරුම වෙති.

නාලිකා ඇයට පුළුවන් කල මිලදී ගත් ඉඩකඩම් ආදිය ඇයට ලැබුන දේපල ආදියට ලෝල සිතින් ඒ අල්ලපු ගෙවල් වල උන් සලකනවා වන්නට පුලුවන. නමුත් මෙවන් බැරි අමාරු දවසක කන්න වේලක් හෝ පිටින් ලැබීම නාලිකා විසින් කර ඇති මහත් වූ පුණ්‍ය කර්මයක් බව ශාන්ත සාදුට සිතුනි.

කැස්ස සහ සෙම ගතිය විසින් දුබල වි සිටින ඇයට වැළඳී ඇත්තේ වෛරස උනක් බව ශාන්ත සාදු සිතීය. දොරකඩින් ඇතුල්වන කහ පැහැති වස්තුව දුටුවනම නාලිකාගේ මුවගට සිනා රැල්ලක් සහ මුහුනට පුදුමයක් එකතු විය. ආ සාදු ආවද? පොඩ්ඩක් ඉන්න මං පිරුවටයක් එලලා ආසනයක් හදනකල් යැයි. ඉතා අපාසුවෙන් ඉස්සී නාලිකා ඇගේ අල්මාරිය හැර පිරුවටයක් ගෙන අසුන මත එලුවාය.


මෙවන් විටක ශාන්ත සාදු විසින් ඇය වැලැක්විය හැකිව තිබුනත්, ගම්වැසියන් විසින් මෙවැනි සැලකිම් මහත් කොට තකන බවත්. එසේ පිරුවටය එලන තෙක් නොසිටියේ නම් යම් අමනාප සහගත බවක් ඇතිවිය හැකි බවත් ශාන්ත සාදුට සිතිනි. නාගරික මොඩලය තිබුනත් ආගන්තුක සත්කාර ආදියේ නශ්ඨාවශේෂයන් තවමත් ගම තුල ඉතිරිව පවතී. ගෙදරක අලුත් ගසක පළතුරක් සැදුන කලෙක, කොහෙන් හෝ රට සිට කෙනෙක් ලොකු චොකලට් පාර්සල රැගෙන පැමිනි කලෙක සාදුටත් එයින් කොටහක් දීමට ගම්වැසියන් සමහරක් පුරුදුව සිටිති. ඒ කුමක් නිසා දෙනවාද යැයි අවබෝධයක් ඇතුව හෝ නැතුව ඔවුන් ඒ චාරිත්‍ර කරති. එවන් විටක ඒ චාරිත්‍ර වලට රැඩිකල් අදහස් එකතු කොට ඒවා වෙනස් කරන්නට යෑම වූ කලී ගම්වැසියන් තුල පංසල ගැන ඇති සාම්ප්‍රදායික ශ්‍රද්ධා සංකල්ප බිඳ හෙලීමක් විය හැකි බව ශාන්ත සාදුට සිතෙයි.

ඒ නැතත් මනුෂ්‍යයා යනු ලොකුවට අපිට අවැසි ලෙස හැඩය වෙනස් කල හැකි මැටි ගොඩවල්  නොවන බවත් තමං වැනි යැපෙන්නකු ඒ සියලු දේ ඉවසා වදාරා සිටිය යුතු බවත් කාලයා විසින් ශාන්ත සාදුට උගන්වා තිබුනි.

ඉතින් දැං කොහොමද නාලිකා?
ශාන්ත සාදු ඇසීය. සාමාන්‍යෙයන් උපාසිකා මාතාවය යැයි ව්‍යවහාර කල යුතු වුවත් බොහෝ කලක් දන්නා අදුනා ගෙන ඇති නාලිකාට උපාසිකා මාතාව යැයි කිමට ශාන්ත සාදුගේ සිත නොදේ.

ඔන්න ඔහෙ දැන් ටිකක් හොඳයි සාදු. මට ඊයෙ පල්ලෙහා ගෙදර කට්ටිය වීල් එකකින් ටවුමට ගෙනියලා බේත් ටිකක් අරං දුන්නා. අර අලුත් දොස්තර මහත්තයා නම් හොඳයි වගේ. ඒත් ඒ බෙහෙත් බිව්වම ටිකක් නිදිමත එනවා.

ඉතිං මගෙන් මොනවද කෙරෙන්න ඕනි නාලිකා...(සාදු දුර බලයි..නාලිකා සාදු දෙස බලයි.)

සාදු චර්යාවෙන් කුලෑටි සහගත අයෙකු බව නාලිකා දනී. නාලිකා තරුණ කලදී දඩබ්බර කෙල්ලකි. ඒ දඩබ්බර නාහෙට නාහන ගතිය නිසාම ඇයට සැමිවරුන් ගනනාවක් විවිධ කාලවලදී සිටියෝය. අහල ගම් හත අටකම නාලිකා යනු ප්‍රසිද්ධ ගණිකාවකැයි යන මතය පැවතිනි. නමුත් රූපයෙන් මනා රාගික පෙනුමක් සහිත වූ නාලිකා රුපියල් පන්සීයට පහන් කණුව යට සේල් වන ගණිකාවක ලෙස කිසිදිනෙක සේවය කොට නැත. ඇගේ කපට බව විසින් ඇය යම් කිසි තැනක සිට සැප විකුනමින් ජීවිතය ගෙවා දැම්මාය. ඇය තමන් සතු කොට ගන්නට බොහෝ දෙනෙකු වැට කඩුලු බැන්දත් නාලිකා ඒ විපත්තියෙන් ගැලවුනාය. ඇයව දැලේ දාගෙන ගෙදර යන්නට බැරි වුන බොහෝ පිරිමි ඇය ආහාරයට ගත නොහැකි තරම් අපුල දනවන මහ වල් මාලුවෙක් ලෙස දුටුවේය.

තමුංට අල්ලා ගත නොහැකි කුරුල්ලාට වෛර කිරීමට බොහෝ දඩයක්කාරයෝ පෙළඹුනහ.. නමුත් එවිට නාලිකා නැමැති කිරිල්ලිය වෙනත් යහපත් දඩයක්කාරයෙකුට හසුවී උන් සෙවනේ සිටියි. නැතිනම් දඩයක් කාරයින් කිහිප දෙනෙකුට ගිජු ලිහිනියක සේ සේවය සපයමින් සිටියි. ඇය ෙදතුන් වතාවක් නොව හත් අට වතාවක්ම මට්ටු වන්නට ඇත. ඇගේ ශරීරය රාගයේ ගින්නෙන් පමණක් නොව දරුණු පහරදීම් වලින්ද දැවෙන්නට ඇත. නමුත් අවසන දක්වා ඇගේ අන්තය වෙනම තබාගන්නට ඇය සමත් විය.

නවකතාවක් ලෙස ගතහොත් එක් පැත්තකින් නාලිකා නම් විරවරියක් ලෙසත් අනික් අතකින් ඇය යනු තවත් එක අමන සැතිරියක ලෙසත් යන දෙපැත්තටම ලිවිය හැක. එසේම ඇය ගැන ගමේ තැපැල් කන්තෝරුව වැනි හොද ලියුම් නරක ලියුම් දෙකම ලැබෙන  සේවා ස්ථානයක් ගැන ලියනවා වැනිව ලිවිය හැක. කතාකාරයන්ගේ අතිශයෝක්ති පිහි පහරවල් වලට ලක්වී මේසයට කෑමට ලැබෙන නවකතාව නැමැති චිකන් කරියෙකින්  නාලිකා වැනි මනරම් ගිනි කිකිලියකගේ චරිත විග්‍රහ කිරීමට අමාරුය. මනුෂ්‍යයින් මේ මෙහොතේ කැමති වන දේට ඊළඟ මොහොතේ අකමැති විය හැක. මේ මෙහොතේ සාධාරන යැයි සිතන දෑ ඊළඟ මොහොත තුල අසාධාරන වෙයි.

නාලිකාද විටෙක ඉතාම හොඳ යැයි සිතන පුරුෂයා තුල යමක් නැතැයිද ලිංගික ක්‍රියාව පිණිස ඇති ආයුධය සෙලවීම පමණක් ඔහුගේද පරම අරුමුණ යැයිද ටික දවසක ඇසුරින් පසු නාලිකාට සිතුනි. සියලුම පිරිමින් තුල ඇති කෑදර කමට වහල් වෙන අවස්ථාවන් වලදී චුවින්ගම් සපනවාක් වැනි යම් තාවකාලික රසයක් නාලිකාගේ සිරුර විනිවිද ගියත් ඒ පිරිමින් සමඟ ඇසුර ඔවුන් සමග කතා කිරීම ඔවුන් සමග එක වහලක් යට සිටීම බොහෝ අමාරු බව නාලිකාට සිතුනි.

ඉතිං මගෙන් මොනවද කෙරෙන්න ඕනි නාලිකා...(සාදු දුර බලයි..නාලිකා සාදු දෙස බලයි.)

යලිත් වරක් සාදු එය නොඅසන ලද අතර සාදු විසින් නාලිකා දෙස කරුණාබර බැල්මක් හෙලන ලදී. නාලිකා විසින් සුසුමක් පිට කරන ගමන් සාදු දෙස නොව වෙනත් දිශාවක් බලාගෙන ..

සෙම කැඩිලා ගියාට සිංහල බේත් තරං ගුණයක් නැහැ. මේ කෝල සෙලෙස්මාව තෙල් අවුංස දෙකක් විතර මං ගෙනාව ගාගන්න කියලා. ඒකත් දැන් රුපියල් එකසිය ගානක්..
කොහෙද දැං හැදෙන කොල්ලො කෙල්ලො තෙල් ටිකක් අතේ ගාගන්න කැමතියැ..
අල්ලපු ගෙදර ළමෝ කෑම එක අරං සුරුස් ගාල ආවා. පිඟාන තිව්වා..ආච්චියෙ මොකද වෙන්න ඕනි..නැන්දෙ අමාරුද කියලා ඇහුවා..පැන්න සුටුස් ගාල. උන්ට තෙල් ගාන් කිව්වම පස්සෙ එන්නං කියනවා...ඕහෙ නැහැ නෙව..ආයි උන් අල්ලන්න..

මට මෙ ඉංගිරිසි බේත් වලට වඩා සිංහල බේත් අහනවා..සාදු.. සාන්ත සාදුට ඉතිං මට කියන්න ඇහැක තෙල් ටිකක් ගාන්න කියල.. ඒත් ඉතිං ඒකට වත් එකෙක් නැති එක ගැන කියන්න හරි සාන්ත සාදු මං බලන්න ආව නේ..

ශාන්ත සාදු ගේ සිරුර කිළිපොලා ගියේයැ. නමුත් තමා ලෙඩ වී සිටි කලෙක සිවුරු ආදිය පවා අනෙක් ගම් වැසියනට සොරෙන් සෝදා දීමට නාලිකා ක්‍රියා කල බව සාදුට මතක් විය. ගම්වැසින් විටින් විට පැමිණ ඒ ලෙඩ කල උපස්ථාන ආදිය කලත් නාලිකා ගේ රුව දැකීම තරම් සැනසීමක් ශාන්ත සාදුට එකල නොවීය. බොහෝ ගරුසරු කතාව නැතුව ආවුසෝ වාදයට ආසන්නයෙන් වචනයක් කතාකරන්නට හෝ ශාන්ත සාදුට ලැබෙන්නේ නාලිකා සමඟ පමණි.

නාලිකා කාරුවත් එන එකක් නැහැ නේද? මම ඉන්නකොට..මෙතන?..සාදු ඇසීය..
අපෝ සාදු ඉතිං කවුරුත්  ආවත් මොකද? කොහොමත් ඉතිං අපි දෙන්නා හැරුනත් ගමේ උන් දැන් කතා හදලා ඉවරයි නේ..ඕවා දැන් නවත්වන්න බැහැ නෙ..නාලිකා කීවාය.

නහැ ඒවගේ එකක් නෙමෙයි. ඔය තෙල් ටික ගාන එකනං මටත් කොරන්න ඇහැකි. නාලිකා ඉස්සර මට සැලකුවා නෙව දෙයියන්ට වගේ.ඒත් ඉතිං තෙල් ගෑව වගේ නෙවෙයි කොල්ලො කැමර පෝන් වලිං ඕවා වීඩියො කොලොත්. පංසල් ජනේලෙ ගාව මුං පැල් බැඳං ඉදලා තිබුනෙ අපි දෙන්න මක්ක කොරනවද කියලා බලන්න..

හුම්.. යැයි නාලිකා කීවේය. මඳ වෙලාවක් දෙදෙනා අතර නිහඬතාවය ඇති විය...
ඉන් පසු යලිත් ශාන්ත සාදු කතා කරන්නට පටන් ගත්තේය.

ම්ම්...කොහෙද ඔය කෝල සෙලෙස්මා තෙල තියෙන්නෙ..රුපියල් එකසිය ගානක් දීල ගෙනාපු නිසා අල්මාරියෙවත්ද?
නාලිකාට මඳක් සිනා ආවත් එය වහං කරගෙන...

අපෝ නෑ අපේ සාදු ඒක තමයි ඔය මේසෙ උඩ අර රෝසපාට කෝප්පෙට එහා පැත්තෙ තියෙන්නෙ.. යැයි කීවාය.

සිත දැඩිකරගත් සාදු කෝල සෙලෙස්මාව සොයාගෙන එය විවෘත කර බිංදු කීපයක් අතට දාගත්තේය.
ඉන් පසු වෙවුලන දෑතින් නාලිකාගේ බෙල්ලේ තෙල් තවරන්නට විය. දෑස් පියාගත් නාලිකා විසින්...

සාදු තෙල් ටික පපුවට වැටුනොත් තමයි හොඳ කමක් නැහැ ඉතිං බෙල්ල ට ගියාත් ඇති යැයි කීවාය..
මඳක් සිට ඇසිපිය හැර සාදු දෙස බැලූ නාලිකාගේ සිත මඳක් වෙනස් විය. ඇය හැට්ට කටු දෙක ගලවා...

සාදු මේ කරන්නෙ උපස්ථානයක්... මං ඒක ගැන වැරදියට හිතන්න ඕනි නැහැ.. ඔන්න සාදු ඔය පපු කැවුත්ත තියෙන හරියෙත් ටිකක් අතුල්ලලා දාන්න යැයි කීවාය.

වසර ගනනාවක් පුරා මොවුන් දෙදෙනා තුල මනසින් වූ බැඳීම් ජාලය අනුව එකිනෙකා වරදවා වටහා ගැන්ම යනු මුලාවකි. ඔවුන් වචන පිටකරන්නට පවා කලින් එකිනෙකා සිතන්නේ කිමෙක්ද යන බව කියවා ගැන්නට තරම් ඔවන් ඔවුන් ගැන අවබෝධයක් මේ දෙදෙනාටම විය.

සැට්ටයේ බැඳීම් ඉවර වූ තැන වැහැරී ගිය පියොවුරු නාලිකාගේ  පපුව මත විසිරී ගියෝය. ඒවා මඟ අරිමින් වෙවුලන අතින් කැළඹුනු මනසින් ශාන්ත සාදු තෙල් ගායි. ස්වල්ප වේලාවකින් මේ කරන්නේ පුණ්‍ය ක්‍රියාවක් බව සිතන්නට ශාන්ත සාදුට සිත එකතැන් කරගන්න හැකි විය. නමුත් මතක ඇති කාලෙක මනුෂ්‍ය ශරීරයක් අත පත ගා නැති සාදුගේ අත් දෙක තුල ඇති ගොරසැඬි බව නාලිකාට දැනෙන්ට විය.

බොහෝ පුරුෂයන් විසින් ස්ත්‍රී ශරීරයේ තැන් නොතැන් බලා ස්ත්‍රින් සතුටු කර ඇති පලපුරුද්දෙන් කරනු ලබන රාගික ස්පර්ශයත් තැනින් තැන වේදනා දෙමින් පලපුරුද්දකින් තොරව බේකරියේ පාන් තැනීමට පිටි අනනවා වැනිව කරන ශාන්ත සාදුගේ ස්පර්ශයත් සංසන්දනය කරන්නට නාලිකාගේ සිත යොමුවිය. ශාන්ත සාදු කෙරෙහි දැඩි ආදරයක් අනුකම්පාවක් ඇතිකරවන්නට එය හේතුවිය. තෙල් තැවරීම පමණක් පලක් නැති බවත් තෙල් දමා හොඳින් අතගෑමෙන් ඵල ප්‍රෙයා්ජන ලැබෙන බවත් ශාන්ත සාදු දනී.එනිසා සාන්ත සාදුගේ පිරිමි ඇඟිලි නාලිකාගේ පපුව මත දැඩිව ස්පර්ශයට ලක්විය.

ශාන්ත සාදු ගේ ද විවිධ මස්පිඩු වේදනාදිය පැමිණි කල පොඩි හාමුදුරුවන් ලවා අතගාගත් පසු සහනයක් ලැබෙන බව ශාන්ත සාදු පසක් කරගෙන සිටියේය.
පපු පෙදෙස හොඳින් ඇඟිලි වලින් අල්ලා ඉල ඇට තෙරපමින් තෙල් ගල්වා ඉන් පසු සාදුට හැකි පමණ හැට්ටයේ පලු දෙක එකතු කර තබා ඉතිරි වූ තෙල් ටිකක් ඇත්න්ම එය සිය අත්වල සාදු විසින්ම තවරාගන්නා ලදී. පියාගත් නෙතින් සාදුගේ අපිලිවෙල ස්පර්ශය මෙනෙහි කරමින් සිටි නාලිකාට සාදු පියොවුරු සැට්ටයෙන් වසාලන අයුරුද අත්වල තැවරුනු තෙල් ඔහුගේම අත්වලම පිසදාගන්නා අයුරුද පියවූ දෑසින්ම දකින ලදී.

වැහැරී ගිය පියොවුරු වුවත් යම් කිසි ඉඩෝරකාලයකට පැමිණි පසු එලඹෙන පොද වැස්සකින් පිබිදෙනවා වැනිව මඳක් පිබිදී ගියේය. ශරීරයේම රාග ගින්න මඳකින් ඉහල ගිය බව නාලිකාට පසක් විය. නමුත් සිය මනසේ සිටි යක්ෂ ආශාවට වඩා ශෘන්ත සාදුගේ කරුණාබර සිත සමඟ සිතින් වෙළීම ආශ්වාද ජනක බව නාලිකාට පසක් විය.

නාලිකාගේ තරුණ කල පටන්ම තම ජීවිතයේ නොසිඳෙන පිරිමි පරමාදර්ශය වූ ශාන්ත සාදු තමුංගේ වැහැරුනු ලිංගික ආයුධ වලින් තෙරපී ගොස් සාමාන්‍ය පිරිමියෙකු වීමට වඩා එසේ ශාන්ත සාදු ඈත්වීම මනායැයි නාලිකාට සිතුනි. විවිධාකාර පිරිමි ගොඩක් මැද දිවි ගෙවූ නාලිකාට සරණ වූයේ ශාන්ත සාදුය. ඇයට පිරිමි මනස පිරිසිදු පිරිමි සිත හමුව තිබුනේ ශාන්ත සාදු තුල පමණි. යන්තම් කිට්ටු වූ විට හරවා පෙරලා පහර දී රස බලන්නට හදන හදිසි පිරිමියාට වඩා අවස්ථා දෙද්දී නොදැක්කා සේ සිටින ශාන්ත සාදුගේ සිතට නාලිකා ගරු කළාය.

ශාන්ත සාදු සිතින් වික්ෂිප්තව සිටියත්, වයස්ගත වීම නිසාත්, කාලය විසින් පුරුදු කරන ලද නිසාත් මේ අවස්ථාවේ කළබලය නැවත මෙනෙහි කිරීම නොකිරිමට සිතා ගත්තේය. නාලිකා විසින් ඇතිකරන ලද මානසික සතුට හැමදාම තියාගන්නට හැකිවන්නේ ඔවුනොවුන් අතර ජාගර ලිංගික සම්බන්ධයක් නැතිවුවොත් පමණැකැයි යන්න ශාන්ත සාදුටද සිතුනි. නමුත් මෙවන් අවස්ථාවන් ලබාදෙද්දීත් ඒවා හැර යන තමා ගැන කුමක් සිතනවාදැයි ශාන්ත සාදුට යම් පසුතැවීමක් තිබුනි.

ජීවිතයේ තරුණ කලත් මැදි වියෙත් නොලැබුන බැලුම් බෝල මේ ජරාවට පත්වීගෙන යන කාලය තුල ලැබීම තමාගේ අවාසනාව ක් විය හැකි බවද සාදුට සිතුනි. සිය උදාසීන සිත තුලට තවත් ඒ වැන්ම උදාසීනත්වයේ රී ලෝඩ් ටිකක් ධර්මය තුලින් දාගත යුතුයැයි උන්වහන්සේට සිතුනි. බාගෙදා මේ නාලිකාගෙන් නිවසින් නික්මී පංසලට යන ශාන්ත සාදු ලොකු පොත් කිහිපයක් ගෙන තව පැයකින් විතර කන්නාඩි දාගෙන ධර්මය හදාරනවා විය හැක.

නාලිකා විසින් නොයෙක් පින් දෙනු ලදුව ඇගේ වැඳුම්ද ගෙන ශාන්ත සාදු විහාරයට නික්මුනේය. එකිනකාගේ ස්පර්ශීය නොවන මානසික බැඳීමෙන් ඔවුන් මනසේ තැනූ සයන තුල ලිංගික සුව විඳින්නට ඇත. එකිනකාගේ වචනය හැඟීම ආශ්වාදය කොට ගන්නටද ඇත. ඔවුනොවුන් වෙන වෙනම බිත්තිය දෙස අහස දෙස පංසල් වත්ත දෙස බලා සුසුම් හෙලීම සුරතාන්තය වන්නට ද ඇත. ශරීරයේ ලිංගික ව්‍යායාමයක් මගින් පසුව ඇතිවන මානසික හිස්බවද කිසිවක් නැතැයි මේවා වැඩක් නැතැයිද ඇතිවන චිත්තාපර සිතුවිලි නම් ඔවුන්ට කවදාවත් හමුවන්නේ නැතුවා වන්නට ඇත.

11 comments:

  1. එක අතකට නාලිකා කියන්නේ සාමාන්‍ය කාන්තාවක්.., ඒ උන්දෑට වෙන වෙන හැඳින්වීම දීලා තියෙන එක අසාධාරණයි.., අපි සමාජීය බැඳීම් අයින් කරලා බැලුවොත් සාන්ත සාදු හා නාලිකා අතර මොකවත් වැරැද්දක් වෙලා නෑ.., රෝගියෙකුට උපස්ථායකයෙකුගෙන් වෙන සේවයක් හැරෙන්ට වෙනසකට තියෙන්නේ මේ උපස්ථාන ජාතකේ අර උල් වෙලා හැංගිලා තියෙන අපේ හිත වල තියෙන වල් පොයින්ට්ස් ටච් කරන එකයි.. කතාව ගැන කියන්න දෙයක් නෑ.., උපරිමයි...! පොඩ්ඩක් කතාව කියවගෙන යද්දී අකුරු වල සුබාවේ නිසා ඇස් වලට පොඩි වෙහෙස බවක් දැනුනා.., අවුලක් නෑ නාලිකාට සාන්ත සාදු කෝල් සෙලෙස්මාව ගාද්දිත් එහෙම දැනෙන්න ඇති කියලා හිතාන ඒ අවුල යටපත් කරගත්තා..!!

    ReplyDelete
  2. දහස් ගණනක් අවස්ථා අතුරින් එකක් මෙහෙමත් වෙන්න පුළුවන්.

    ReplyDelete
  3. වරක් දෙවරක් ආවත් කොමෙන්ටුවක් දාන පළවෙනි වතාව. හිතට වැදුණා. මේකත් එක්කම reargate ලියන චාර්මි ගේ "රාත්‍රී සාංඝික දානය" (http://reargate.blogspot.com/2013/02/blog-post.html) සහ "ලිඳෙන් ආපු හාමුදුරුවෝ" (http://reargate.blogspot.com/2012/05/blog-post_10.html) දෙක එක හුස්මට ගැළපෙනවා.

    "අල්ලෙ තුවාළ නැතිනම් විස ද අතට ගත හැක."

    ReplyDelete
  4. සිරාවටම මේකට කැමතියි. තෑන්ක්ස් මේක ලිව්වට. ලිෂාට තෑන්ක්ස් පාර කිව්වට.

    //අපෝ නෑ අපේ සාදු ඒක තමයි ඔය මේසෙ උඩ 'අර රෝසපාට කෝප්පෙට එහා පැත්තෙ' තියෙන්නෙ.. යැයි කීවාය.//
    මෙව්ව තමා මරු :)

    ReplyDelete
  5. මෙතන තියෙන්නේ සිවුර සහ ගණිකාව කියන සමාජීය වස්තර (පැලැස්තර) දෙකේ සමාජීය කියවීම කියලා මට හිතෙන්නේ... කාලෙකට පස්සේ වෙනස් මතෘකාවක්, වෙනස් අවසානයක් දැක්කා.....

    ReplyDelete
    Replies
    1. හී ...හී ...

      Delete
  6. මහානායක උත්තමයෙක් දැක්කොත් නම් අනිවා
    පුතේ උබ 18 මාසෙකට මහ උළු ගෙදට්ට යවනවා ..

    ( අපි එන්නම් උබව බලන්න ...wenada wage ela
    kiyalanam kiyanna baha rattu balan innawane )

    ReplyDelete
  7. හරිම රසවත් සුන්දර කතාවක්

    ReplyDelete