Tuesday, August 5, 2014

ලංකාවේ පිළිකාව


මගේ මව මිය පරළොව ගියේ පිළිකා රෝගී තත්වයකිනි. ඇයට වැළඳී තිබූ පිළිකාව දැන හඳුනාගෙන මාස හතරක් ඇතුළත ඇගේ මරණය සිදුවිය. ඇය බේරාගැනීමට හෝ තව කල් ජීවත් කිරීමේ අරමුණින් දොස්තර මහත්වරු සහ වෛද්‍ය කාර්ය මණ්ඩල නොගත් වෙහෙසක් නැත. ඇයව අඩුතරමේ සැත්කම් අවස්තා පහකටවත් ලක් කල අතර ඒ කිසිවක් සාර්තක වූයේ නැත. ඇය මාස දෙකක පමණ කාලයක් කරාපිටිය, මාතර, තංගල්ල රෝහල් වල කල්ගත කලාය. ඇගේ සමස්ත රෝගී කාල සීමාව තුලම පිටතින් ඇයට ලබාගන්නට සිදු වූ ඔසු, සැත්කම් භාන්ඩ, සහ පරීක්ෂණ වාර්ථාදියට ගිය මුදල සැබැවින්ම රුපියල් ලක්ෂයකට අඩුය. ඊට වඩා වැඩි මුදලක්, වාහනයක් කුලියට ගෙන රෝගියා ප්‍රවාහනය කිරීමට අපේ පියාට වියදම් වන්නට ඇත.
මගේ මව රෝගී වීමේ සම්පූර්ණ සිද්දි දාමයම පරීක්ෂා කල විට ඇය කිසිදු ප්‍රතිකාරයක් නොකර තිබුනේ නම් එසේ වුවද මාස හතරක කාල සීමාවේදී ඇය මිය පරළොව යනු ඇත. අසාර්තක සැත්කම් වලට මුහුන දීමට අම්මාට සිදු වූ නිසා අවසාන කාල සීමාව ඇයට වේදනාකාරි ලෙස ගතකරන්නට සිදු විය. දොස්තර මහත්වරු හෝ රෝහල් කාර්යමන්ඩල රෝගීන්ට හිතුමනාපේ බෙහෙත් හේත් ආදිය නියම නොකරති. කවර හෝ විදියකින් රෝගියාට සැනසීම සහ කාලයක් ජීවත් වීමේ හැකියාව ලබාදීමට සියලු වෛද්‍ය කාර්යමණ්ඩල ක්‍රියාකරනවා ඇත යන්න පොදු මතය වේ.
දුර්ලභ අන්දමේ බඩවැල් අභ්‍යන්තර බිත්තිවල හටගන්නා පිළිකාවක් වූ ඒ පිළිකාව කරාපිටියේ වෛද්‍ය සිසුන්ට අධ්‍යනය කිරීමටද අම්මා ජීවත්ව සිටයදීම දින කිහිපයක කාලයක් ජේෂ්ඨ වෛද්‍යවරු විසින් ලබා දෙන ලදී.
අම්මා මාස දෙකක කාලයක් රජයේ රෝහලක රෝහල්ගතව සැත්කම් සහ පරික්ෂණයන්ට මුහුන දෙමින් සිටියාය. ඇයට ඒ වැනි ප්‍රතිකාර පුද්ගලික රෝහලකින් ලබාගත යුතු වූවානම් ඒ සඳහා රුපියල් මිලියන ගානක මුදල් කන්දරාවක් වියදම් වෙනු ඇත. දැන් ඇති නම පතල පුද්ගලික රෝහලක දිනක් ගතකලේ වුවද රුපියල් හතලිස් දාහක පනස් දාහක බිලක් එයි. ඒ අනුව බලන කල ලංකාවේ සෞඛය සේවාව නිසා මධ්‍යම පාන්තිකයින් වූ අපට රෝගයකදී සැනසීම ලැබෙයි.
අපේ කන්තෝරුවේද වෛද්‍යාධාර ක්‍රමයක් ඇත. කවර නම් වූ සුළු රෝගයකට රෝහල් ගත වුවද නවලෝක රෝහලේදී නම් අපේ කන්තෝරුවෙන් ලැබෙන සම්පූර්ණ මුදලටම බිල හදා එවීමට ඒ රෝහල කාරුණික වෙයි. දැන් මේ විදියේ වෛද්‍යාධාර විදි බොහෝ ආයතන වල ක්‍රියාත්මක වේ. ඒවායේදී පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබුයේ වී නම් විශාල බිල් සඳහා ඔවුන් මුදල් ගෙවනු ලබයි. බාහිර පෙනුම අනුව පුද්ගලික රෝහල් ඉදිරියෙන් සිටියත් අභ්‍යන්තර තත්වයන් නම් පුද්ගලික රෝහල්වලය කියා හොදක් නැතැයි මා දන්නා සමහර වෛද්‍ය වෘත්තිකයින්ම පිළිගනිති. ඉදිරියේ කවුන්ටරේ හිනාවෙන කෙල්ලෙක් සිටියාට...කාරුණික ඇටෙන්ඩන්ලා කදිමට ඇඳුම් ඇඳගෙන සිටියාට හරියට ප්‍රතිකාරයක් කෙරෙන්නේ නැතිනම් කවර නම් වූ සුවයක් රෝගයට ලැබෙන්නේදැ යි ගැටළුවක් සාමාන්‍ය වැසියන්ට පැනනගී.
රක්ෂණ ආයතන වලින් ලැබෙන වෛද්‍යාධාර මුදල් සහ ආයතන වලින් ලැබෙන වෛද්‍යාධාර මුදල් රජයේ රෝහල් වල ප්‍රතිකාර ගත් විටදී රාජ්‍ය සෞඛ්‍ය සේවාවේ වියදමට බැර කරන්නට කුමක් හෝ ක්‍රමයක් තිබුනා නම් මනාය. එය රෝහල් වල දියුණුවට හේතු වනු ඇත. මෙය දැනට පවතින ක්‍රමය අනුව ක්‍රියාත්මක කිරීමට ප්‍රායෝගිකව අමාරුය. නමුත් එසේ ක්‍රමයක් ඇති වූයේ නම් එය රාජ්‍ය සෞඛ්‍ය සේවාව භාන්ඩාගාරය දෙසම බලා සිටීමේ උවමනාවෙන් මඳකට හෝ නැවතිය හැකිය. (රටක සෞඛ්‍ය ගැටළු විසඳීම යනු සිගරට් පැකට් එකක ලේබල් එක වෙනස ්කිරීම යැයි සිතා සිටින අයට නම් එවැන් දේ කල්පනා වෙන එකක් නැත..)
පසුගිය කාලයේ ප්‍රාෙද්ශීය රෝහලක ඇපෙන්ඩිසයිටිස් වලට ප්‍රතිකාර ගත් ඥාතියෙකු බැලීමට මා නිතර එහි ගියෙමි. ඒ ප්‍රාෙද්ශීය රෝහලට අවැසි බොහෝ දේ මිනිසුන් විසින්ම පරිත්‍යාග කොට තිබුනි. රූපවාහිනී. විදුලි පංකා, පුටු, ඇඳන්, කුණු බාල්දි, වැසිකිලි අළුත්වැඩියා ආදී කාර්යන් රැසක් රෝහලේ ප්‍රතිකාර ගත් අයම සංවිධානය වී හෝ පුද්ගලික ධනයෙන් ඉටුකර දී තිබුනි. අප අතරම සිටින ඇතැමෙක් පුද්ගලික රෝහලක සුළු රෝගයක් සුව වන්නට සිට ගෙවන ලක්ෂ ගානක මුදලින් අර විදියේ කුඩා රෝහල් වලට අවශ්‍ය කොතරම් දේවල් තනාදිය හැකිද? අපගේ රෝහල්වල නිතර දකින අඩුවක් වන රෝහල් වැසිකිලි පද්ධති මඳක් අළුත්වැඩියා කර දෙන්නට අපිට රුපියල් ලක්ෂයක දෙකක මුදලින් වුව හැකිය. මැරෙන්න යන හරක් නිදහස් කරගන්නවාට වඩා ජිවත්ව සිටින මිනිස්සුන්ගේ වේදනාව සමනය කරන රෝහලක අළුත්වැඩියාවක් කල හැකි නම් එය වැදගත් වන බව මගේ පුද්ගලික හැඟීම වෙයි.
මගේ මව අවසාන කාලයේ සිටි කරාපිටිය රෝහලේ පිළිකා වාට්ටුවේ බොහෝ දිනවල රෝගීන්ට කෑම බීම සහ තෑගි ලැබේ. කලක් එහි සිට මිය පරළොව ගිය ඥාතින් විසින් සිය ඥාතියා සිහිවීමට එසේ පරිත්‍යාගයන් කරති. ඒ අතින් විටකදී කවර අන්දමේ අවර ගතිගුණ තිබුනත් අප රට මිනිසුන් බොහොමයක් හදවතින් උතුම් පුද්ගලයෝයැයි පෙනේ.
පිළිකාව, රෝහල් වල තත්වය, වෛද්‍ය ආකල්ප, සේවා තත්වය ආදී දේ ගැන වික්ටර් අයිවන් විසින් දීර්ඝ ලිපියක් රාවයට ලියා ඇත. එයින් කොටසක් කීර්තිමත් වෛද්‍ය වරුන් ගැන ලියා තැබීමට ඔහු වෙන්කර ඇත. අපි දැන් ඒ කොටස කියවා බලමු.
මීට වසර දහයකට පහළොවකට පමණ ඉහතදී මියගිය දොස්තර ආටිගල අගමැතිවරුන්ගේද පසුව ජනාධිපති වරුන්ගේද වෛද්‍යවරයකු ලෙස ක‍්‍රියා කළේය. වෙනත් වෛද්‍යවරුන් රුපියල් 350ක් පමණ අය කරන කාලයේදී ඔහු චැනල් සේවයේ රෝග පරීක්ෂාවන් සඳහා අය කරන ලද්දේ එක් අයකු සඳහා රුපියල් 85ක් පමණය. මීට කලකට ඉහතදී මහරගම පිළිකා රෝහලේ ප‍්‍රධානියා ලෙස ක‍්‍රියා කළේ ලකී දිසානායක නමින් වෛද්‍යවරයෙකි. ඔහු සී.සී. දිසානායකගේ පුතාය. ඔහු චැනල් සේවයේ නොයෙදුණු අතර ජීවත් වූයේ වෘත්තියෙන් ලැබෙන වැටුපෙනි. ඔහුට පරණ මෝටර් රථයක් තිබුණද වැඩට ආවේ මෝටර් සයිකලයකිනි. ඔහු ජේවීපී දෙවැනි කැරැුල්ල කාලේ මට කීවේ කැරැුල්ලේ හොඳ නරක ගැන කීමේ හැකියාවක් තමන්ට නැතත් විජේවීර රෝහල් ගැන මීට වඩා සංවේදීව ක‍්‍රියාකළ යුතු බවය. රෝහල් වසන්නට නියෝග කරන ප‍්‍රතිපත්තියක් කවර මට්ටමකින්වත් යුක්තිසහගත කළ නොහැකි බව ඔහු කීවේය. ඔහු මහරගම පිළිකාරෝහලේ නේවාසිකව සිටි දුප්පත් රෝගීන්ට උදව් අවශ්‍ය අවස්ථාවලදී නිර්ලෝභීව උදව් කළේය. ඔහු තරම් පිළිකා රෝගීන්ගේ ගෞරවයට හේතුවූ වෙනත් වෛද්‍යවරයකු ගැන මා අසා නැත.
ඔහු මියගියේ දියේ ගිලීය. ඔහුගේ අවමංගල්‍යයට සහභාගි වූ අයගේ ප‍්‍රමාණය අතිවිශාලය. ඔවුන් අතර සියලූම දේශපාලන ප‍්‍රභූන් සමග නානා මාදිලියේ අය සිටියත් ඔවුන් අතර සිටි වැඩිම පිරිස ඔහුගෙ ප‍්‍රතිකාර ගනු ලැබූ ඔහුගේ සෙනෙහස හිමි කරගත් රෝගීන් ලෙස සැලකිය හැකිය. ඔහුගේ රාමු කළ ඡුායාරූපයක් මහරගම පිළිකා රෝහලේ එල්ලා තිබෙන බවත් සමහර පරණ රෝගීන්පිළිකා රෝහලට පැමිණි විට එම රූපයට වඳින ආකාරය ඉඳහිට දකින්නට ලැබෙන බවත් රෝහලේ කාර්ය මණ්ඩලයේ සේවකයකුගෙන් කිසියම් අවස්ථාවකදී මට අසන්නට ලැබුණු විට මා තුළඅමන්දානන්දයක් ඇතිවිය. අප ජීවත් වන මෙම රෝගී සමාජයට වැඩියෙන් අවශ්‍ය වී තිබෙනුයේ එවැනි ශ්‍රේෂ්ඨ මිනිසුන්ය.
- See more at: http://ravaya.lk/?p=3791#sthash.q2a6BbNs.dpuf
රාවය පුවත්පතේ ඒ දීර්ඝ විශේෂාංගය වික්ටර් අයිවන් විසින් මුහුන දුන් අත්දැකීම්ද සහිතව ලියා ඇත. එය ඉහත තිබූ ලිංකුවෙන් බලාගත හැක.
මුදල් වස්තුව යාන වාහන ආදී බොහෝ දේ අප මියෙන විට රැගෙන යන්නේ නැත. නමුත් ඇතැම් පුද්ගලයින් මිය ගියද කලක් යන තුරු ඔවුන්ගේ කිතුගොස පවතී. මිනිස්සු එවන් වැඩදායි අය සිහිකර හදවතින් ඔවුන් ගැන දුක්වෙති. එවැන් වූ නමක් තනාගැන්ම කවර නම් වූ මිලියනපතියෙක්ට වුව අමාරු කාරියකි. කොතෙක් මුදල් පස්සේ ගියද අවසානයේ කිසිවෙකු නොදන්නා විදියේ අවමගුලක් මුදල් කඳු ගසා ඇති මුදලටම ගිජු වූ බොහෝ දුර්ජනයින්ට හිමි වේ. එවන් වූ සල්ලි උඩම ජිවත් වූයෙක් මලාද ජීවත්වෙයිදැයි යන එක ගැන ඉතාම සමීපතමයෝ හැර කිසිවෙක් කලබල නොවේ.

22 comments:

  1. අමිල මේ ලියුම් පත්තරේකටවත් දාන්නකෝ. අපි ඒක විහිළුවක් කියා හිතුවට අඩු ගාණෙ එතකොටවත් මේ අයගේ ඇස් ඇරෙයිද බලන්න?
    රජයේ රෝහල් වල වැඩ කරන දෙවිවරුවගේ දොස්තරවරු තවම ඉන්නවා. ඒත් එක්කම ඈත පිටිසර ගමේත් ලෙඩෙක් කියන්නේ බිස්නස් එකක් විතරක් වෙන දොස්හොරලත් ඉන්නවා. රටේ බහුතරයකට අගයක් නැතිවුනාට තවම රජයේ මෙඩිකල් සිස්ටම් එක ඉහලයි කියලයි මට හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. වික්ටර් අයිවන් මහතාගේ දීර්ඝ ලිපියේ ගොඩක් කරුණු තිබුනා..ඒ දවසෙම අර නාථ කැඳ ගැන කතාවකුත් රාවයෙ ගිහින් තිබුනා.. අවාසනාවකට ඒ වගේ දේවල් අපි හිතන තරම් සමාජය වැලඳගන් නැහැ..

      සිව් දරු පියා පසලොස් හැවිරිදි යුවතියන් දෙදෙනෙක් කෙලෙසා පොලිස් ඇසට වැලිගසා පනී...වගේ හෙඩ්ලයින් වලට තමයි පත්තර බලන මිනිස්සු ගොඩාරියක් ආස..

      Delete
    2. විශේෂඥ වෛද්‍යවරු කරනදෙයක් කියන්න හදන්නෙ.හැමෝම අහගන්න.එක්කෙනෙක්ගෙ චැනල් එකට අදාල නොවන රෝගියෙක් ආවොත් එයා නියම තැනට හරවල යවන්නෙ නැහැ.උදාහරණ; සර්ජන් ලඟට යන්න ඕන ලෙඩා දන්න නැතුව යනවා ෆිසිෂන් ලඟට.හරි නම් කරන්න ඕනෙමේක මට අදාල දෙයක් නෙමෙයි කියලා, ගත්තු චැනල් සල්ලි ආපහු දීල,අදාල තැනට යොමු කරන එකයි.නමුත් චැනල් සල්ලි ආපහු දෙන්න වෙනවට මොනව හරි ප්‍රතිජීවකයක්,බෙහෙත් ටිකක් දීලා,මේකට හොඳ නොවුනොත් අහවලා ලඟට පස්සෙ යන්න කියනවා.සමහරු එහෙමත් නොකිය මාස ගානක් බෙහෙත් කරලා පුලුවන් තරම් සල්ලි අරගෙන අන්තිමටම අදාල දොස්තර ගාවට යවනවා.මගෙ අම්මාට තිබුනා කන ලඟ(කනේ නොවෙයි )කැක්කුමක්.අම්ම දන්නැතුව ගියෙ සර්ජන් කෙනෙක් ලඟට.බෙහෙත් ටිකක් දීල කිව්වා,සීටී පරීක්ශනයක් ඕන කියල. 13000/= දීල එකත් කර ගෙන ගියාම,අන්තිමට කිව්ව මේකෙ නම් අප්සෙට් එකක් නැහැ,ඊ.එන්.ටී සර්ජන් ට පෙන්නන්න කියලා.චැනල් සල්ලි ආපහු දුන්නෙ නැහැ.ඊ.එන්.ටී සර්ජන් චැනල් කරා.එයත් බෙහෙත් දීලා,සල්ලිත් අරගෙන කිව්වා මේකට හොඳ නොවුනොත් මුහුන,මුඛ,හනු සර්ජන් කෙනෙකුට පෙන්නන්න කියල.එහෙම සර්ජන් කෙනෙක් ඉන්න බව දන්නෙත් එදා.ඊලඟට ගියා ඒ කියපු ඕ.එම්.එෆ් ( මුහුන,මුඛ,හනු ) සර්ජන් ලඟට. කතාවත් කිව්වා මෙච්චර දුර ගියපු.එයා හිනා වෙල කිව්වා අම්මගෙ හනු සන්ධියෙ ප්‍රශ්නයක් තියෙන්නෙ කියලා ,සීටී එක ඇල්ලුවෙ වත් නැතුව,බෙහෙත් කරා. හක්කෙ දත් ටික දම්මවලා බෙහෙත් කරා.අමා ට හොඳ වුනා.බලනකොට එයා තමයි හරි දොස්තර අපිට යන්න තිබුනු.අනිත් අය සීටී වලටයි චැනල් වලටයි අපෙන් සල්ලි අරගෙන් අතිබුනෙ එයාලා ඒ ලෙඩේ දන්නෙවත් නැති බව දැන දැනමයි.ඔන්න දොස්තරලා.

      Delete
  2. ඔබේ මවට නිවන් සැපම ලැබේවා !

    ReplyDelete
  3. //අප අතරම සිටින ඇතැමෙක් පුද්ගලික රෝහලක සුළු රෝගයක් සුව වන්නට සිට ගෙවන ලක්ෂ ගානක මුදලින් අර විදියේ කුඩා රෝහල් වලට අවශ්‍ය කොතරම් දේවල් තනාදිය හැකිද?//

    ඔව්වානං වෙන්නේ නැ පුතේ

    ReplyDelete
    Replies
    1. වෙනවා..ඒත් ගොඩක් ලංකාවෙ සැබෑ දානපතියො තමුන්ගේ නම් ප්‍රසිද්ධ වෙනවාට කැමති නැහැ..ඒ නිසා එයාල ගැන අපි දැනගන්න ලැබෙන්නෙ අඩුවෙන්.

      Delete
  4. පුද්ගලික ධනයෙන් රෝහල් පමණක් නොවෙයි, උසස් අධ්‍යාපන අංශයත් දියුණු කරන්න පුළුවන්. ඒ සඳහා විශ්ව විද්‍යාල සහ අනෙකුත් ආයතනවල ඉගෙන ගෙන පසුව රැකියාවලට යන අයට තමන් ලද අධ්‍යාපනයට ගිය වියදමෙන් කොටසක් ආපසු ගෙවීමට ක්‍රමයක් ඇති කළ යුතුයි.

    ReplyDelete
  5. අයිවන් ගේ ලිපියේ ඇති එක් වැරදි තැනක්.

    /* දැන් බයිපාස් සැත්කම්වලදී හෘදය විවෘත කිරීමක් කෙරෙන්නේ නැත. ඒ වෙනුවට නහරයක් මගින් stent නමින් හැඳින්වෙන ප්ලාස්ටික් කොපුවක් වැනි දෙයක් ප‍්‍රශ්නය තිබෙන තැනට ඇතුළු කරනු ලැබේ. කොපුව තනා තිබෙන්නේ ප්ලාස්ටික්වලින් වුවත් එහි මිල රුපියල් ලක්ෂ කිහිපයකි. */


    බයි පාස් කිරීම යනුකොළඹට නොගොස් මාතර සිට කයුනායක යාම ට පාරක් සැදීම යන වැඩකි. අයිවන් කියා ඇති ස්ටෙන්ට්ස් යොදා කරන ඇන්ජියෝප්ලාස්ටි නම් ක්‍රමයෙන් කෙරනේනේ දැනට කොළඟ හරහා වැටී ඇති නමුත් කොලොස්ටරෝල් නම් මාර්ග බාධක නිසා ගමනාගමනය අපහසු වී ඇති මාර්ගය සුද්ද පවිත්‍ර කිරීමයි.

    මේ කියන ස්ටෙන්ට්ස් අයිවන් කියන පරිදි නිකම්ම නිකං ප්ලාස්ටික් කෑලි නොවේ. එැවනි කසල ද්‍රව්‍ය හදවතට ඇතුළු කරයිද?

    කෙසේ වෙතත් ලොව පුරාම ප්‍රමාණයට වඩා ස්ටෙන්ට්ස් භාවිතයක් ඇති බව වාර්තා වී ඇත. මෙයට හේතුව හදවතේ නාලයක කුඩා හෝ බ්ලෙග් වීමක් ඇති බව ඇන්ජියෝග්‍රෑම් නම් පරීක්‍ෂාවෙන් දැනගත් පසු, එයට කිසිවක් කර නොසිටීම අනවශ්‍ය අන්තරායක් බාරගැනීමක් නිසයි. සමහර විට මදක් අවහිර ඬී ඇති නාලයකට ස්ටෙන්ට්ස් නොදා සිටියද ස්වාභාවිකව මැරෙන මොහොද දක්වා කිසි අනතුරක් නොවෙන්නට ද ඉඩ ඇත. නමුත් ඒ රිස්ක් එක අරඝෙන ජීවත් වීම ජිවිතය හා සූදුවක යෙදීමකි!


    ReplyDelete
    Replies
    1. ඒක හරි. මෙතනදිත් කෙරෙන්නෙ බයිපාස් නොකර වෙනත් විසඳුමක් දීම.

      Delete
    2. අයිවන්ගේ ලිපිය ලංකාවට සාපේක්ෂව වැදගත් තැනක තිබෙනවා..ඔතන පොඩි වැරැද්දක් තිබෙනවා නම් තමයි...මේ කමෙන්ට් එකම මම රාවයෙ කොමෙන්ට් වලටත් දැම්මා..

      Delete
  6. "මැරෙන්න යන හරක් නිදහස් කරගන්නවාට වඩා ජිවත්ව සිටින මිනිස්සුන්ගේ වේදනාව සමනය කරන රෝහලක අළුත්වැඩියාවක් කල හැකි නම් එය වැදගත් වන බව මගේ පුද්ගලික හැඟීම වෙයි. "
    මේකත් හොඳ අදහසක්. මේ වගේ දේවල් කරනවට වඩා හරක් නිදහස් කිරීම පොඩ්ඩක් 'instant' පින් කම් නේ. මිනිස්සු ඒ නිසා ඒවාට යනවා වැඩියි.

    ReplyDelete
    Replies
    1. නියගයෙන් පීඩා විදින පලාත්වල ජනයාට වතුර බොෝතල් ගෙනිහින් දෙන්න ව්‍යාපෘතියක් ගැන අපේ කන්තෝරුවෙ අද කතාවනෙවා ඇහුනා..කස්ටියගෙන් වතුර බෝතල් කලෙක්ට් කරලා ඒවා ගිහින් දෙන්නයි කතාව...කොයි තරං මැටි අදහසක්ද? රුපියල් 50ට මිල නියම කරපු බෝතලේ කම්පැනි එකෙන් රුපියල් 20ට ගත හැකි තොගේට් කම්පැනියෙන් ගත්තෝතින්..ඉිතං සල්ලි එකතුකරලා ඒ සල්ලි වලිං වැඩ කරන්නෙ නැතුව මේ වගේ සෝබන පිංකම් වලිං වෙන්නෙ සල්ලි නාස්තියක් විතරයි..

      Delete
  7. පුද්ගලික රක්ෂණ ආවරණ මුදල් රජයේ රෝහල් වෙත ද ලබා දීම ඉතාම කාලෝචිත යෝජනාවකි.

    ReplyDelete
  8. මමත් දැන් අවුරුදු 3ක් තිස්සෙ මහරගම පිලිකා රෝහලත් එක්ක ඔට්ටුවෙනවා. මගේ දරුවා ඉතාමත් හොදින් ප්‍රතිකාරවලට මුහුණදීලා තියෙනවා. ඒ වගේම හොදට ඉස්සරහටත් වෙන්න කියලා මම උදේ හවස දෙවියන්ගෙන් ඉල්ලා සිටිනවා.තව මාස 7කින් මගේ කොල්ලගෙ ප්‍රතිකාර ක්‍රම ඉවරවෙන්නයි තියෙන්නෙ ඉතින් මේ ලිපියට ලේසියෙන්ම යන්න දෙන්න බෑ. මේකට හොද පිලිතුරක් අවශ්ය වෙනවා.

    ඔව් ඔබ කියනදේට මම අත උස්සලා එකගවෙනවා රජය ගෙනයන නිදහස් සෞඛයය සේවාව මේ වෙලාවෙ අපට හරිම හයියක්.මම සියලුම බෙහෙත් පිටින් රැගෙන ආපු නිසා මට රු ලක්ෂ 30ක් පමණ වැයවුණත් මෙම ප්‍රතිකාර ක්‍රමයම ඉන්දියාවෙ කරන්න කෝටි එකකුත්, සිංගප්පූරුවෙ කලානම් කෝටි 2කුත්, ඕස්ට්‍රේලියාවෙ කලානම් කෝටි 4-5කුත් වැයවන බව මම සොයා බලපු නිසා දන්නවා. මට වියදම් වුනාට ඔච්චර මුදලක් වෙනත් කිසිම අම්මෙකුට තාත්තෙකුට ලංකාවෙ බෙහෙත් කරානම් එදිනෙදා වියහියදම් සහ දරුවගෙ පෝෂණයට හැර මහා ලොකු වියදමක් යන්න විදියක් නෑ.මගේ බ්ලෝග් එකේ මම ලියන්න හිතන් ඉන්න චරිතයක් ඉන්නවා රාජාංගනේ ඉදලා එන රංජි අයියා. එයා එක බෙහෙත් පෙත්තක් පිටින් ගත්තෙ නෑ. එක ටෙස්ට් එකක් පිටින් කලේ නෑ අගේට කෙල්ලගෙ බෙහෙත් ටික කරගත්තා තමන්ගෙ බිරිදත් නැතුව. ඉතින් අපි හැම සිංපිඩියටම ආණ්ඩුවට රටට බනින්න කලින් හිතන්න ඕන රජයක් අපි වෙනුවෙන් කොච්චර වියදම් කරනවද කියලා.(ඒක නිසාම ඇටමිදුළු බද්ධකිරීමකදී හැර වෙනත් අවස්තාවලදී සල්ලි එහෙම ඉල්ලනවනම් පොඩ්ඩක් අහලා බලන්න මොකද හැම අම්ම තාත්තම නැතිවුනත් දරුවාගේ රෝගය තමන්ගෙ කම්මැලිකමට හරවගන්න පොරවලුත් ඕනතරම් ලංකාවෙ ඉන්නවා )

    ඊලග ප්‍රශ්නය ඇයි මට ලක්ෂ තිහක් විතර වියදම් වුනේ කියන එක. ඔය කොච්චර බහුජාතික මර උගුල්,හූරා කෑම් වගේ බයිලා ගැහුවට ලංකාවෙ රජයට හම්බවෙන බෙහෙත් හරිම බාලයි. හොද බෙහෙත් කොහොමහරි යුරෝප් රටවලින් ගෙන්නලාම දෙන්න ඕන මේ වගේ දරුණු ලෙඩකදි. ඉතින් මම ලෝකෙ පීරලා හොදම බෙහෙත් මගේ කොල්ලට දුන්නා. ඒ කියන්නෙ ඒ බෙහෙත් දුන්නාම වෙන්නෙ මොකද කියලා ප්‍රෙඩික්ට් කරන්න පුලුවන්. ඒත් SPC,MSD බෙහෙත්වලින් වෙනදේ ප්‍රෙඩික්ට් කරන්න බෑ. මම දන්න පොඩි එවුන් නැතිවුනා සහ ආබාධිත වුනා ආණ්ඩුවෙන් දෙන බෙහෙත් නිසා. ඒවාට මුකුත් ලෙඩ ඩොක්ටර්ස්ලට අදින්නත් බෑ. මොකද ඒවා රෙකම්න්ඩ් කරලා තියෙන්නෙත් ඒ අයගෙම ලොකු අය නිසා. ඉතින් මම කියන්නෙ සෙලින්කෝ යන්න ඕනෙ නෑ ලෙඩ හොද කරගන්න සහ හොදම බෙහෙත් කරගන්න. මහරගමිනුත් පුලුවන්. ඒත් හිගාකාලා හරි බෙහෙත් දෙන්න යුරෝපියන් ස්ටෑන්ඩඩ් එකෙන් ගත්තු.

    ඊලග එක රජයේ රස්සා කරන අයට තියෙන රක්ෂණාවරණය. ඔය අග්‍රහාර කියන්නෙ.ඒක ගන්න ගියාම යකෝ ලෙඩෙන් මලානම් හොදයි කියලා හිතෙන තරම් වැඩ කන්දරාවක් තියෙනවා. ඒවා හදලා තියෙන්නෙ කවදාවත් වන්දි මුදල් නොදෙමි කියන පරමාර්තෙන් මිසක් දෙනවා කියන පරමාර්තයෙන් නොවෙයි. අනික වන්දිනම් ඉතාම අඩු අගයන් ඒවා රටේ ලෝකෙ තත්වෙ බලලා වැඩිකල යුතුමයි.
    තව ගොඩක් තියනව කියන්න. මගේ බ්ලෝගෙ හැදුවෙම ඒ ටික කියන්න. ඉතින් ඒකෙනම් පස්සෙ වෙලාවක කියන්නම්. මොකද ලන්ච් අවර් එක ඉවරවෙන්න යන්නෙ.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ඔයාගේ බ්ලොග් එක ආරම්භ වීමට හොඳම කාලයයි මේ. අමිලගේ පොස්ට් එකට කමෙන්ට් කරන්න කලින් මේකට කමෙන්ට් කරන්න මගේ හිත බල කළා. මේ වගේ ඇත්තටම අත්දැකීම් වලට මුහුණ දීපු අය, ඒවා බෙදා ගැනීම හරිම වටිනවා. වටින්නේ ඒ වගේ ප්‍රශ්නෙකට ඉදිරියේදී මුහුණ දෙන කෙනෙකුට ඉතිං කොහොම හරි වෙලාවක් හොයා ගන්න. ඒක සේවයක් කියලයි මම කියන්නේ. ඔයාගේ පුතාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා. පියෙක් හැටියට මට ඒ දුක තේරෙනවා.

      Delete
    2. ඩිලාන්, ඔබේ පුතාට ඉක්මන් සුව පතනව! බහුජන හිතාය, බහුජන සුඛාය කියල ඔබේ අත්දැකීම් බෙදාගමු. මොකද ඒ දේවල් අනිවාර්‍යෙන්ම තව කෙනෙකුට වැදගත් වෙයි.

      Delete
    3. ඔබ කියන බෙහෙත් වල තත්වය ගැන කතාව මමත් අසා තිබෙනවා.. එය ගැන මිනිස්සු දැනුවත් වෙනවා නම් ඇත්තටම හොදයි..රජයේ රෝහල්වලින් බෙහෙත් ගන්න හැමෝම සල්ලි නැතිම අය නෙමෙයි..සමාර අය ලොකු ලෙඩක් හැදුනාම රජයේ රෝහල වඩාත් විශ්වාසවන්තයි කියන මතයේ ඉන්නවා.. ඉතිං ඒ වගේ වෙලාවක දොස්තර මහත්වරුන්ට අගවන්න පුලුවන් නම් බෙහෙත් පිටින් ගෙනත් දෙන්න හැකියාවක් තියෙනවා කියලා..ඒ වෙලාවෙදි දොස්තරලා බෙහෙත් ලියලා දෙනවා පිටින් ගන්න..

      Delete
  9. මේ ලිපිය හරිම කාලෝචිත එකක් අමිල. ජනතාව සහය දක්වන්න කැමති තැනකට ඒ අරමුදල් එක්රැස් කරලා, මේවායේ තත්වය නගා සිටුවන්න කවුරුන් හෝ මුලිකත්වය ගනීවි මේ වගේ ලිපි නිසා. අර උඩින් කමෙන්ට් කරලා තියෙන ඩිලාන් අකලංක වගේ කෙනෙක් ගැන හරි දැන ගන්න ලැබුණේ මේ ලිපිය නිසා. අනිත් දේ තමයි ඔයාගේ මවගේ ප්‍රශ්නයේදී ඔයා ඒ දිහා බලපු මැදහත් භාවය අගේ කරන්න ඕනේ. වෙනත් අය ඒවා පුද්ගලික කරගෙන මුළු සෞක්‍ය සේවයටම දෙස් දෙවොල් තියනවා.

    ReplyDelete
    Replies
    1. සෞඛ්‍ය සේවාව ගැන අමිහිරි පුද්ගලික අත්දැකිම් මටත් තිබෙනවා..හැබැයි ඒවායෙදි රජයේ සහ පුද්ගලික කියලා නම් වෙනසක් දකිනවා අඩුයි..අනික අපි හැමදාම නරකම ඉස්මතු කරලා බැන බැන ඉදලා වැඩක් නැහැ.. ඉන්න හොද කිහිප දෙනා හරි ඒ මට්ටමේ තියාගන්න ඒ අය ගැන අඩුතරමෙ කතාවෙන්න හරි ඕනි.. කියලයි මට නම් හිතෙන්නෙ..

      Delete
  10. ඉස්සරනං ලංකාවෙ මහ රෝහල්වල ගෙවන වාට්ටු තිබ්බ. ඒත් දැන් ඒව නැද්ද කොහෙද. අනික් පැත්තෙන් මොන ආකාරයක හරි ගෙවන ක්‍රමයක් කොයිතරං සද්භාවෙන් ගෙනාවත් ජෙප්පොන් ප්‍රමුඛ විපක්ෂෙ සපෝට් එකෙන් ඒක යකෙක් කියල ජනතාවට පෙන්නල ඇමති එක්කම ගෙදර යන්න වෙන ඒක් තමා වෙන්නෙ. ඒකයි කරුමෙ.

    ReplyDelete
    Replies
    1. ජයවර්ධනපුර රෝහල නම් ගෙවන විදියට තියෙන්නෙ මම හිතන්නෙ..ඒකෙ ගාස්තුවත් සාමාන්‍ය වැසියෙක්ට වුනත් දරාගන්න පුලුවන්.. එහෙම ගෙවන වාට්ටු සංකල්පය වුනත් හොද එකක්... ගෙවන්න පුලුවන් හැකියාව තියෙන මනුෂ්‍යයාට නිකං බෙහෙත් කරන එක තේරුමක් නැහැ නෙව..

      Delete
  11. රජයේ රෝහල්වලට අවශ්‍ය ප්‍රතිපාදන රජය විසින් ලබාදිය යුතුයි. ඒකට තමයි අපි රජයට බදු ගෙවන්නේ. රජයේ ප්‍රතිපත්ති වල නිදහස් සෞඛ්‍ය සේවය කියන එක නොතිබුනානම් ඒක වෙනම දෙයක් නමුත් එය ඇති නිසා අනිවාර්්‍යෙයන්ම රජය පහසුකම් සැපයියි යුතුයි. එය දානපතියන් විසින් කල යුතු නැහැ. වෙන්නේ ඒ ප්‍රතිපාදන වලට වෙන් කරන මුදල් යටිමඩි ගසා ගැනීමයි. නැතිනම් අවශ්‍ය තරම් ප්‍රතිපාදන වෙන් නොකිරීමයි.

    රෝහලක වාට්ටුවක් හදලා ඒක විවෘත කරන්න කරන වියදමෙන් තවත් වාට්ටුවක් සෑදිය හැකියි. නැතිනම් අනවශ්‍ය සංදර්ශන වලට වෙන් කරන මුදල් වලින් මේ පහසුකම් ලේසියෙන්ම සැපයියි හැකියි.

    ReplyDelete

නූතන පටාචාරාවත

විසිතුරු බඩුව ඇය කිසිවිට නැහැ සැලුනේ.. බියකරු වනය බිය නැහැ ඇය වෙත දැනුනේ.. සිය සැමි නැතිය එන මග දරු අහිමි වුනේ.. නැති විය සිහිය ...