Friday, December 21, 2012

පොල් ගසේ කඳුලු(Tears of the Coconut tree)-02


2 කොටස
සමන් කුමාර හිටියෙ පියුමිකා ඉස්කෝලට එනකොට හයේ පන්තියෙ. සමන් කුමාර කාරුවත් වැඩිය ගනන් ගත්ත කෙනෙක් නෙමෙයි. සමන් කුමාරගේ තාත්තා පොල් කඩන මිනිහෙක්. සමන් කුමාරගේ අම්මා කියලා හිතන්න පුලුවං කේඩෑරි නොගැලපෙන වර්ණ සාරියක් ඇඳ ගතපු ගෑනියෙක් එනවා දෙමාපිය රැස්වීම් වලට. අනික් ගුරුවරු ඔක්කොම සමන් ගේ ඒ හැටි හොදක්වත් වැරැද්දක් වත් කියන්නෙ නැහැ. නමුත් පියුමිකා කියනවා සමන් කුමාර හොඳයි හොඳට වැඩ කරගෙන යනවා..අම්මා බයවෙන්න එපා.. සමන් ඉංගිරිසි වලට නම් දක්ශවෙයි කියලා. ඉතිං අම්මා තමුං කවුරුත් ගනන් නොගනිපු එකේ මේ පොඩි වයසක වගේ පේන ඉටි රූපයක් නොවුනත් ලස්සන මිස්... පුතා ගැන හොඳ කිව්වාම ලොකු සතුටක් එනවා. අනේ මගේ කොල්ලා කියලා ඒ මනුස්සයාට හිතෙනවා.

ඉස්කෝල රැස්වීම් වලදි දෙමාපියො ගෙන්වනවා. ඒ තැන්වලදි ලකුනු හොරු ටිකක් ඉන්නවා. ඒ අය කොහොමත් ලකුනු දාගන්නවා. බිස්කට් පැකට් එකට සාරියට. එහෙම නැත්තං අලුත් බ්‍රිෆ් කේස් එකකට ගුරු වෘත්තිය පාවදෙන වෙලාවල් නැතුවාම නෙමෙයි. ඒත් අපේ පියුමිකා මැඩම්ට නං බිස්කට් පැකට් එකක් ගිහිං දෙනවා කියන්නෙ එදා ට පහුවෙනිදා වෙනකල් ඉස්කෝලෙ කබඩ් එකක තියෙන බිස්කට එක ඊළග දවසෙ පන්තිය අතරෙ බෙදිලා යනවා කියන එක..

සමන් කුමාර ලස්සනට ඇන්දෙ නැහැ. ඉස්සර මිනිහා ගාවත් පොරගේ තාත්තගේ ළඟ වගේ ගස් ගඳායි කියලා තමයි මිනිහගේ යාලුවො කිව්වෙ. නමුත් සමන් කුමාරට බොහොම ආදරෙන් අපේ පියුමිකා ටීච කියලා දුන්නා තමුංම රෙදි හෝදගෙන ලස්සනට ඉස්කෝලෙ එන්න කියලා. සමන් කුමාරගේ අම්මා වුනත් සමන්කුමාරට බාල වෙච්චි නංගිට මල්ලිට ආදරෙන් කතා කරාට සමන්ට ඒ තරං ආදරෙන් කතා කරලා තිබුනෙ ම නැහැ. අනික පන්තියට එන ගුරුවරුත් සමන් වගේ අය ළඟට ගන්නත් මොකද්ද වගේ . හරියට අර බණ කතාවක බුදුන් වහන්සේ රන් මසු පොදිය දැක්කාම කියනවා ආනන්ද සර්පයා දුටුවාද කියලා. ඒක අහන් හිටපු ගොවියා මේකනං මොකද්ද දන්නෙ නැහැ කියලා කෙවිටෙන් අල්ලලා නියරෙ පැත්තකින් තියෙනවා. ආන්න ඒ වගේ සමහර ගුරුවරු සමන්ට අතින් පයින් පහරක් දෙන්නවත් ගියේ නැහැ. ගැහුවත් කෝටුවකින් හෝ මොට ආයුදේකින් තමයි.. ගස් නැගලා ගෙඩි කඩන සමන්ගේ තාත්තගේ ඌෂ්නෙ තමුංගෙ අතේ ගෑවෙනවාට ඒ ගුරවරු බය වෙන්න ඇති.

සමන්ට පියුමිකා ටීච කතාකරනකොට නිකං හිතුනේ සුරංගනාවියක් ළඟට ඇවිත් කතා කරනවා වගේ. සමන්ට සෙල්ලම් කරන්න හිටියෙ යාලුවොවත්..ඉස්කෝලෙ අහම්බෙන් සෙට්වෙන අනුකංපං උපාදාය පිණිස සමන් එක්ක කතා කරන යාලුවොවත් සමන්ට ඒ තරං ආදරෙන් කතා කරලා තිබුනෙ නැහැ. කොටින්ම දානෙ ගෙනියෑපු දවසට පංසලේ හාමුදුරුවො කතා කරනවාටත් වඩා හොඳට අනික් ළමයිට කතාකරනවා වගේම ඉස්තරම් වට සමන් කුමාට පියුමිකා ටීච ආදෙරෙන් කතා කලා. ඒක බොරුවක් නෙමෙයි කියලා සමන්ට තේරුනා. ගෙදර ගියපු ගමන් තිෙයන සංලයිට් හරි බාර් සබන් කෑල්ල හරි උස්සං ගිහින් පහල ඇලෙන් සර්ට් එක කලිසම හෝදගන්න සමන් ඉබේම පෙළඹුනා. ලොකු කොල්ලා සබන් කෑල්ල ඉවරකරනවා කියාල කෑ ගහන්න කුසුමාවතීට හිතුනා. ඒත් කෝල්ලාට මොකක් හෝ මනමාල පිසසුවක් හැදිලා ඇතියැයි ඇය ඔහුට අනුකම්පා කලා..බාල උන් දෙන්නා නිසා ලොකු කොල්ලාට හරියට සැලකීමක් කොරන්නට වෙන්නේ නැති බවත් කුසුමාවතීට වැටහුනා. ඔන්න ඕකගේ සෙල්ලම ටික දවසකින් ඇරිල යයි. මුගෙත් කෝලං..රෑ තිස්ෙස ඉංගිරිසි පාඩං කරනවා මදිවට මූ ක්ලින් සූට් එකෙනුත් ඉංගිරිසි කාරයා වෙන්න යනවා. කුසුමාවතී පොල් සෝමේට කිව්වා.

ඒ අලුත් ටීච හොදයි කියලා මං රස්සාවෙ යන ගමනුත් කස්ටිය කතාවුනා. අනිත් ටීචර්ලා වැඩිය කැමතිත් නැහැල්ලු. ඒ ටීච ගේ ගෙදර ගියාම මට ඒ මනුස්සයො හොඳට සැලකුවා. කන්න බොන්නත් දුන්නා. වැඩිය හෙට්ටුවක් නැහැ. මං සල්ලි ගන්නත් අදි මදි කලා.. ඒත් ඒ මනුස්සයො එහෙම නැහැ. අඩුවට කෙලින්න ගියෙ නැහැ...අර අපේ පොලිස් උන්නැහේල වගේ හැමදේම නිකං කෙලින්න යන්නෙ නැහැ..හරි නම්බුකාර මිනිස්සු.. වැඩිය සද්දයක් බද්දයක් නැතුවාට කිසිම කරදරයක් නැති ගොල්ල ජාතියක්..

සමන් කුමාරට පන්තියෙ අනික් විශයන් වලටත් ලකුනු ආවා වෙනදාට වඩා. සමන්ට ඉංගිරිසි වලට ගොඩක් ලකුනු තිබුනා..සමන් හොඳ පැත්තට වෙනස් වෙලා තිබුනා. දැන් සමන් අනෙක් ළමයි සෙල්ලම් වලටත් ගන්නවා. අපේ ඉංගරිසි ටීච උගන්වපු පංති වල ළමයි ටිකක් වෙනස්. ළමයි කොන් කරලා පැත්තකට දාල තියෙන සිරිත යන්තමින් හරි ඒ පන්ති වලින් ඈත් වෙලා තිබුනා. පියුමිකා හැමෝම ළමයි එක වගේ සැලකුවා. සමහර විට අසරණ දුප්පත් ළමයි ගැන වැඩියෙනුත් එක්ක හොයලා බැලුවා.. ඒ වගේ වෙලාවට කරේ නගින්න එන ළමයින්ට තරවටු කරන්නත් පියුමිකා දැනගෙන හිටියා. පියුමිකා කොළඹ කාලයක් ඉගෙන ගත්ත නිසාද නැත්තං පොඩිකාලෙ ඉදලාම හොස්ටල් වල හිටපු හින්දාද මන්දා වේගයෙන් වැඩ කලා.

පියුමිකාට අනික් ගුරුවරු බෑ බෑ කියලා අදින පොත මාස හයෙන් කරන්න පුලුවන් කම තිබුනා. ඉතිං වේගය නිසා ළමයිට කෝලං කරන්න වෙන විච්චූරන කරන්න වෙලාව මදි. පොඩියක් මිස් වෙලා පිස්සුවක් කෙලලා තිබුනොත් පාඩමෙන් අනික් ළමයි ගන්න ආතල් එක තමුන්ට මිස් වෙනවා. ඒ නිසා කස්ටිය අමුතු ජීවයකින් වැඩ කරන්න හුරු වුනා.

සමන් කුමාරටත් ටිකක් තේරුනා ඇත්තටම ළමයි කියන්නෙ කලිං දැකපු යක්කු ජාතියෙක් නෙමෙයි කියලා...ඉස්සර සමන් වගේ අයට සෙට්වෙලා කොල්ලෝ ගුටි ගහනවා..ඒ ඇයි කියන්න දන්නෙ නැහැ..ඒත් වලියක් ගියොත් කොහේ හරි සමන් වගේ ටිකක් නරක වගේ ළමයි ගුටිකනවා...ඒත් දැන් සමන් පිළිවෙලකට ඉන්න නිසා ඒ ළමයි වුනත් ටිකක් බයයිි..මොකද පියුමිකා ටීච හෙම සමන්ගෙ පැත්ත ගනී කියලත් ළමයිට හිතුනා..සෙල්ලම් වලදිත් වෙනත් වැඩ වලදිත් සමන්ට ඉස්සරහට එන්න ලැබුනෙ කලිං වගේ දරුනු විදියෙ කැපිලි කෙටිලි ටිකක් අඩු වුන නිසා...හැමෝම ඉස්කෝලෙ නිකං ඉගන ගත්තට සමහරුන්ට සැලකිලි වැඩියි..විශේෂයෙන්ම ගුරුවරුන්ගෙ ලමයි නිකං සලකන්නෙ බොහොම හොද ලමයි විදියට..ඒ අය වැරදි කරත් ඒවා යට යනවා සුටුස් ගාලා..

පියුමිකා සමන් කුමාරට ඇත්තටම කැමති වුනේ සමන් හරිම කෙලින් නිසාත් වේගවත් නිසාත් තමා. සමන්ට වැඩිය දෙයක් කියන්න ඕනි නැහැ..ඇගෙව්වාම එයා ඒක කරනවා. සමන් කාලයක් අකුරු වැරදි විදියට ලියපු නිසා සමන්ගේ ඉංගිරිසි අකුරු කැතවෙලා තිබුනා. ඉන් පස්සෙ සමන්ට කිව්වාම ඇගිලි වලින් හෙමිහිට පැන්සල අල්ලලා පිටපත් ලියන් එන්න කියලා සමන් ඒක ලියාගෙන ඇවිත් ටීචට පිටපත් පෙන්වන්න බලං ඉන්නවා. ටීච ඉතිං වැරදි තිබුනත් ටිකාක් එහෙන් මෙහෙන් හදලා කියලා දීල ලස්සන හරියක් දානවා. ඒ හරිය වැටෙන්නත් කලිං සමන්ගේ මුහුනට හඳ පායලා එනවා. පුතා මේ ජී අකුරු ලියවෙනකොට ඒක රූලෙන් යට ගියොත් හොඳයි... මේ බී අකුර සිම්පල් ලියනකොට එකපාර බාල්දි කොක්ක වගේ ලියන්න එපා. ගාන්ට ගන්න මේන්න මෙහෙම. සමන් හෙමීට ලියන්න මේ අවසාන හරියෙදි කලබල වෙලා තියෙනවා නේ.. සමන් ඒ ටීච කියන ටික අකුරක් නෑර අහගෙන ඉන්නවා.

සමන්ට ඉස්සර ආදරේට කතා කරන්නෙ ආච්චි විතරයි. ඒත් දැන් ආච්චිලයි දිහා යන්න වෙලාවක් නැහැ ඉස්සර වගේ.. අම්මට මල්ලියි නංගියි බලාගන්න තියෙනවා. ඉතිං සමන් පියුමිකා ටීචට බොහෝම කැමැත්තෙන් හිටියා. පන්තියෙ කොණක හැංගිලා හිටපු සමන්ව හරියට අත්තෙන් බිමට වැටිලා කොළ අස්සෙ හැංගිලා ඉන්නෙ ලේන් පැටියෙක් අරගෙන වතුර පොවල අත්ත උඩින් තියනවා වෙග් පියුමිකා විසින් නියම තැනට උස්සලා තිවුවා. ජීවිතය ගැන ඒ ළමා මනසේ තිබුන නීරස කළු යතාර්ථය ඈත් කරලා බලාපොරොත්තු දල්වන්න පියුමිකා සමත් වුනා. අපිට කිසිවක් කරන්න බැහැ..අපිට සමාජය සලකන්නෙ ්නැහැ කියලා සමාජයට දික් වෙන එක ඇඟිල්ලක් පියුමිකා විසින් බොහොම සෙමෙන් වෙනත් අතකට යොමු කලා.

10 comments:

  1. මේක මට නං සුරගනා කතාවක් වගේ.... හි හි

    ReplyDelete
  2. නියමෙට ලියල තියනවා.අරය කිව්ව වගේ සුරංගනා කතාවක් වගේ.http://sinhapedia.blogspot.com/

    ReplyDelete
  3. සුරංගනා කතාවක් වෙන්නෙ නැහැ මේවා. අතිශෝක්ති කිහිපයක් හැරුණු විට. අත්දැකීමෙන් සැබෑක් යැයි කිවහැකි කතාවකි.

    පන්තියේ සිටින බොහෝ දුර්වල දරුවන් දුර්වල වීමට හේතුව ඔවුන් කිසිවකුගේ නිසි අවධානය නොමැති වීමයි.

    අතිදක්ෂ ඇට්ටරයෝ මෙන්ම කොන්වූ මැටි දරුවන් ද එකම පන්තියක දා ඔවුනට උගන්වන්න යැයි කීම තරම් අපහසු කටයුත්තක් මේ ලොව තුල නම් නොමැති තරම්ය.

    ReplyDelete
  4. මේක කොහොමටවත් සුරංගනා කතාවක් නම් නෙවෙයි, මෙහෙම දේවල් ඕන තරම් වෙනවා.

    කැකිරාව පැත්තෙ වහන්න නියමිතව තිබුණ පොඩි ඉස්කෝලෙක ගුරුවරයෙක් 2010 5'ශිෂ්‍යත්ව විභාගයේ දි ළමයි 12 දෙනෙක් ගෙන් 11 දෙනෙක්ම සමත් කරනවා, සුදුසුකම් නොලබන දරුවාටත් සමත් වෙන්න අවශ්‍ය වෙන්න ළකුණු 11ක පමණයි.
    2011 වසරේ ළමයි 28කින් 14ක් සමත් වෙනවා, සියළුම ළමයි ළකුණු 100 ට වඩා ළකුණු ගන්නවා,

    මෙයින් පැහැදිළි වෙන්නෙ ළමයි අදක්ෂ නොවන බවයි.

    මා කියනා ‍"තෙන්නකෝන්" නමැති ගුරුවරයාත් මේ කතාවේ එන පියුමිකා ටීච ත් වැනි ගුරුවරුන් ඕනෑම දරුවෙකුගේ දක්ෂතා මතුකරගෙන ඔවුන්ගේ මග හෙළි පෙහෙළි කර දීමට සමත්.
    ගුරුවරයා යනු සුවිශේෂ පුද්ගලයෙක්, හේ අධ්‍යාපන සුදුසුකම්,උපාධිය හෝ පුහුණුව මත පමණක් පත්කිරීම සුසුසු නොවේ. ගුරුවරයකු තුළ තිබිය යුතු පෞරෂය සිත් ඇදගන්නා සුළු බව(ආකර්ෂණිය බව) වැනි අතිරේක සාධක කෙරෙහි ද පත්වීම ලබා දීමට පෙර සලකා බැලිය යුතුයි. බන්ධනාගාර නිලධාරියෙකුට හෝ නිලධාරිනියකට තිබිය යුතු පෞරෂයකට හා පෙනුමකට හිමිකම් කියන අයවලුන් ද කම්මැලිකාර නිකමුන් ද ගුරුවරුන් ලෙස වැටුප් ලැබීමේ ඛේදවාචකය අප අත්විද ඇත්තෙමු.

    ReplyDelete
    Replies
    1. කතාව තරම්ම හොඳ කමෙන්ට් එකක්.....

      Delete
  5. ඉතා හොඳ උත්සාහයක් අගෙයි ජයම වේවා

    ReplyDelete
  6. මචන් හොදටම හොදයි බන්..ලස්සනට ලියල
    තියෙනවා..දිගටම ලියන්න...

    ReplyDelete
  7. දිගටම ලියමු. ආසයි මේ වගේ දේවල් අහන්න. දකින්න.

    ReplyDelete
  8. කථාව පොඩ්ඩක් අතිශෝක්තියට බර වුනත්, දෙවි දේවතාවුන් වගේ අදහන්නට පුළුවන් ගුරුවර ගුරුවරියන් නැත්තේ නොවේ. ඒ හැමෝටම උපහාර වේවා !

    ReplyDelete