Friday, May 24, 2013

ගිරවුන්ට සින්න වුන 21

ආන්ඩුව අසරණ කරන ආයුධයක්.
මිනිහෙක්ට රස්සාවක් කොයි තරම් වටිනවද කියලා දන්නෙ රස්සාවක් නැති වුනාම තමයි. මට ඊයෙ බස් කේදි හමු වුනා නංගියෙක්. ආන්ඩුවෙ තැනක කෝස් එකකට සිලෙක්ට් වෙලා. කම්පියුටර් ප්‍රොගැමින් පැත්ත තමයි එයා කරන්නෙ. ඉතිං කෝස් එක ඉවර වෙලා එතනින් ටේනින් දාල තියෙනවා. ටේනින් දාල තියෙන තැන ඇග්‍රිමන්ට් එකක් ගහලා තියෙලු එයාලයි තැන ට්‍රෙනින් වුනාම තව අවුරුදු දෙකක් එතන වැඩ කරන්න ඕනි කියලා. ආන්ඩුවෙම නයිටා එකෙන් තමයි එතන එයාල ටේනින් දාල තියෙන්නෙ..ටේනින් කාලෙ රුපියල් පන්දාහයි. පස්ස අවුරුද්දකින් පස්ස රුපියල් පාලොස්දාහයි..

ඉතිං දැං ලැබෙන රුපියල් පන්දාහෙන් හාරදහක් යනවා බෝඩිමට..ඉතිරි වියදමට සල්ලි ගෙදරින් ඉල්ල ගන්න ඕනි. උසස් ජාතික පරිඝනක ඩිප්ලෝමාවක් තමයි නංගි හදාරලා තියෙන්නෙ. එයාට ජොබ් හොයාගන්න නැහැලු. අයි ටී වල එයාල වැඩිපුර ඉගෙන ගෙන තියෙන්නෙ ජාවා.. ජාවා විතරක් දැනෙගෙන රස්සා නැහැ කියලා දැනගන්නත් එයාලට තව මාස ගානක් යයි.

මේ මම පෙන්නුවේ රටේ තියෙන රැකියා වියුක්තියේ එක සුට්ටි රූප රාමුවක් විතරයි. කම්පැනි වල ඉතාම දරුණු නීති යටතේ නිවාඩුවක්, නිදහසක් නැතුව රාත්තිරි වෙනකල් වැඩකරන කොල්ලො කෙල්ලො ගොඩාරියක් ඉන්නවා. ඒ අයට තමුන්ගේ ජොබ් එක ඩිමාන්ඩ් කරලා වැටුප් ඉල්ලන්න හැකියාවක් නැහැ. මොකද එයාල නැතිවුනොත් ගන්න ඕනි තරම් මිනිස්සු එලියෙ ඉන්නවා. මෑන්පවර් ක්‍රම වලට කොන්ත්‍රාක් පදනම් වලට සේවකයෝ අයිතිවාසිකම් මොනවද කියලාවත් නොදැන ලංකාව පුරා සේවය කරනවා.

රටේ සමස්ථ වැඩකරන ජනතාව ගත්තොත් එයාල ප්‍රශ්ණ රාශියකමේ අවස්ථාවෙ මුහුන පාලා තියෙනවා. එකපැත්තකින් අපි මේවාට රජයට දොස් කියන්න හොද හේතු වුනාට සමහර පැතිවලින් ප්‍රබල රජයක් තිබුනත් ඇඹරෙන්න වෙන හේතු තමයි තියෙන්නෙ. දැන් ඉංජිනේරු සහ පරිඝනක ක්ෂේත්‍රයට ඉන්දියාවෙන් යොමු වන පිරිස වැඩියි. ඉංදියානු මිනිස්සු ලංකාවෙ අපිට වැඩිය කටු කන්න දක්ෂයි වගේම අපිට වැඩිය අඩු පඩියට රැකියා කරන්නත් ආසයි. ඒ වගේ පස්න වලට කෙලින්ම රජයට උත්තර දෙන්න අමාරුයි.

රජයක් හෝ දේශපාලනික ආගමික සංවිධානයක් වුනත් මිනිසුන්ට වැඩ දායි වෙන්න නම් පිටින් පෙන්වන දේට වඩා ගැඹුරු දර්ශනයක් ගැඹුරු තැනක් එයාලට තියෙන්න ඕනි. දඩ බඩ ගාල දාන ඇඩ් වලින් විතරක් රටක්, ආගමක් හෝ පක්ෂයක් කරගෙන යන්න නම් පුලුවනි. නමත් එයින් මහජනයාට අත්වෙන සෙතක් නැහැ.

වර්ථමානයේ රජයේ කිසිම පිළිවෙලක් නැති වැඩ ගැන අපි ප්‍රවෘත්ති වලින් දකිනවා. නමුත් ඒ දේවල් වලට විරුද්ධ වෙන පාර්ශව වලට මේ රටේ බලය ලැබුනොත්...?/?? මිට වඩා දෙයක් වෙයි කියලා හිතන්න බැරි තරම්ම ලාමක ටිං ටිං ලා සෙට් එකක් තමයි විපක්ෂයේ විපක්ෂ අදහස් දරන්නන් අතර ඉන්නෙ. විපක්ෂය කියන තනි රූපය බැලුවත් ඒකෙ රැඩිකල් වෙනසක් කරන්න හැකි මනුෂ්‍යෙයක්ට ඉන්නෙ රනිල් වික්‍රමසිංහ විතරයි. රතු සහෝදරයෝ කියන්නෙ එදා වගේම අදත් හැමදේම කඩාකප්පල් කරන ජාතියක්. ආකර්ශණීය වදන් පාර්ලිමේන්තුවෙත් පිටත් දුන්නාට එයාලගේ ප්‍රායෝගික දේශපාලනය ඇවිල්ලා හැමදේම කාබාසිනියා කරන එක.

මං 2007 වර්ශයේදි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලය කියන එකේ මීටිමකට ගියා. මං එතකොට හිටපු ඉන්ස්ටිටියුට් එක ඒකට සම්බන්ධ වෙලා හිටියා. නිවාඩු දවස් කිහිපයක් ඇවිත් යූනියන් එකෙන් ඕකට යවන්න එකෙක් ඇහිදගන්න බැරි වුනා. මාව කෝමහරි වැඩේට සිලෙක්ට් වුනා. මං ඔය පාටට ආස නැතත් ඉතිං මොනවද වෙන්නෙ කියලා දැනගන්න හරි පුලුවන් කියලා හිතං ගියා මිටිමට.

මහ රෑ වෙනකල් තේරුම්ක නැති කතා ඇදගෙන විසදුම් නැතුව තෙල් බෙද බෙද කාලෙ කාල දැම්මා. අවසානෙ මීටිම ඉවර වෙනකොට යන්න බසුත් නැහැ. ඒ කතාකරපු ඔක්කොම පැයකින් විතර කතාකරලා ඉවර කරගන්න තිබුන දේවල්. එක තැනකදි උදුල් කියනවා ලංකාවෙ දැන් කුඩා පාසල් වහන්න කුමන්ත්‍රනයක් තියෙනවා අපි ඒකට විරුද්ධව නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පෙල ගැහෙන්න ඕනි කියලා.

ඉතිං මටත් හිතුනා නිකංම ඉන්න එකේ නිදිමත යන්නත් එක්ක අදහසක් දක්වන්න ඕනි කියලා. දැන් ඔය වහනවා කියන පාසල් බොහොම දුෂ්කර පැති වල තියෙන්නෙ. අම්මලා ලමයි දාන්න යන්නෙ ලොකු ඉස්කෝල වලට. ඔය පාසල් වලට එන්නෙ ලමයි ඉතාම සුලු පිරිසය්. ගොඩක් වැහුනු පාසල් වල ළමයි පනහටත් අඩුයි මුලු ඉස්කෝලෙම. ඒළමයිගෙනුත් ඉස්කෝලෙ ඇවිත් ඉගනගන්න මානසිකත්වය තියෙන්නෙ බොහොම සුවල්ප දෙනාගෙයි. ඉතිං ඒ වගේ පාසල් වහලා ඒ ළමයි ළග පාසල් වලට අනුයුක්ත කරන එකේ වරදක් මම දකින්නෙ නැහැ. ඒකෙ ලොකු කුමන්ත්‍රනයක් නැහැ. පාසල නඩත්තු කරන්න ආන්ඩුව වියදම් කරන මුදල් නිරපරාදේ නාස්ති වෙනවා නම් ඒ පාසැල් වහන එක තමයි වඩා හොඳ..

උදුල් මොනවා හරි ටිකක් පොතක ලියං එනවා. ඒ ටික තමයි එයා එදා න්‍යාය පත්‍රය විදියට ගන්නෙ. උදුල් මම කියපු අදහස වගේ එකක් එයි කියලා කලිං හිතලා තිබුනෙ නැහැ. උදුල් හිතං හිටියෙ රුහුනෙන් පේරෙන් ජපුරෙන් ඇවිත් ජෙප් අයියලාට කියන හැම එකටම වැදගෙන ඉදලා කියන දෙයක් කොරන්න බලාගෙන ඉන්න මල්ලිලා වගේ අපිත් කට වහං කියන දේ අහන් ඉදිවි කියලා. උදුල් ඉන් පස්සෙ ටිකක් පහු බැහැලා ඔව් අපි ඒ ගැනත් හොයන්න ඕනි තමයි කියලා එයාගේ වැඩ සටහනයි ටෝක් එකයි අකුල ගත්තා.

එතනදි ස්කෝල වහනවා කියලා ගිරවා වගේ කියවනවා මිසක.. ඇයි ඉස්කෝල වැහෙන්නෙ කියන එකට ගැඹුරු දේශපාලනමය හේතුවක් උදුල්ට තිබුනෙ නැහැ. එතනම හිටියා අද ඉන්න සංජිව බන්ඩාරත්, මං හිතන්නෙ. පොරටත් කවුරු හරි බෙදන තෙලක් ආපහු බෙදනවා හැර වෙනසක් ගැන හිතන්න හැකියාවක් නැහැ.

පහු ගිය දවස්වල කාල් ගාන්ත මහත්තයා වැඩ වර්ජන කියන එකත් විරෝධතා කියෙන එකත් තනුක කරන්න එහෙම නැත්තං සැර බාල කරන්න වැඩ පිලිවෙලක් ගෙනිච්චා. ජේ වී පී සහෝදර වරු ලංකාවෙ ශිෂ්‍ය ව්‍යාපාරය කියන එක අද වෙනකොට කාල ඉවරයි, වෘත්තිය සමිති කියන එකත් කාබාසිනියා කරලා ඉවරයි. මම හිතන්නෙ දැන් එයාල විපක්ෂයේ විරෝධතා කියන එකත් කන්න බලාගෙන ඉන්නවා.

වැඩ වර්ජනයක් අසාර්ථක වෙනවා කියන්නෙ ලේසි වැඩක් නෙමෙයි. ඉන් පස්සෙ බේතකට මිනිහෙක් හොයාගන්න ලැබෙන්නෙ නැහැ වැඩ වර්ජනයකට තියා පිකට් එකකටවත්. ජයග්‍රහනයට අයිති කාරයින් ගොඩක් ඉන්නවා නමුත් පරාජයට අයිති කරුවන් අඩුයි කියලා බලංගොඩ මානවයාද කොහේද කියලා තියෙනවා. මිනිස්සු ගොඩක් වෙනදටත් වැඩිය සේවෙට ආපු වැඩවර්ජනය කාල් ගාන්තට නම් බොහොම හොදයි ලු. ඒක සාර්ථකයි කියලත් කිව්වා. සමහර විට වැඩ වර්ජන කියන වචනේ තියෙන උස පවා සමතලා කරලා දාපු නිසා කාල් ගාන්ත කොහෙන්හරි බාරගතපු වැඩේ නම් සාර්ථක ඇති. නමුත් වැඩ කරන ජනතාවගේ පැත්තෙන් නම් මුලු ජනතාවම දෙකේ කොලේට බාල්දු කරලා දැම්මා.

මේ යුගයේ ලංකාවෙ රස්සාවක් හොයාගන්න අමාරුයි. රස්සාව සම්බන්ධ කේස් එක ගොඩක් දරුණු වෙනවා ඉස්සරහාට. මම මුලින්ම ලියපු නංගි ගැන කතාවෙදි ඒ නංගි රුපියල් පාලොස්දාහෙ පඩියකට මැරෙනවා..නමුත විකල්පයක් නැහැ. සමහර විට මම වගේ පේස්බුකියෙයි. බ්ලොග් වලයි ඉදන් දේශපාලනය කරන අයට මේවා නෙපෙනෙන්න පුලුවන්. නමුත් කැත ඇත්ත ඒකයි. ළමයෙක් මල්ලෙක් ඉන්න ගෙදරක මිනිහෙක් ස්ටයික් කරනවා කියන්නෙ ලේසි වැඩක්නෙමෙයි. ඒ මිනිහගේ රස්සාව නැති වුනොත් කන්න බොන්න නැතිවෙන්න එයාට විතරක් නෙමෙයි.

වැඩ වර්ජන කියන්නෙ රස්සා නැතිවෙන්නෙ නැති හරි සුන්දර අත්දැකීමක් යූනියන් කන අයට සහ කාල්ගාන්ත ලාට අනුව. නමුත් ලංකාවෙ වත්මන් වෘත්තිය සමිති ඉතිහාසයන් දෙස බලන විට වැඩෙ හිතන තරම් ලේසි නැහැ. මිනිස්සු උවමනාවටත් වැඩියෙන් රස්සා නැතිව රස්සා කරන උන් දිහා ඉරිසියාවෙන් බලාගෙන ඉන්න වටපිටාවකදි වැඩ වර්ජනය කරන මිනිහා වෙන හේතුවක් පිට හරි දාල අයින් කරලා අලුත් ෆ්රෙෂ් බඩුවක් සේවයට ගන්න මොන ආයතනයක ප්‍රධානියෙක් වුනත් අකමැති වෙන්නෙ නැහැ. එහෙම වෙලාවක පොඩි දේශපාලනික තල්ලුවක් කාරිය තිබෙනවා නම් කම්කරු උසාවි. කම්කරු කොමසාරිස් ආදි තැන්වලින් රිංගලා යත හැකි ලේසියෙන්ම.

මේ කාලෙදි වැඩ වර්ජනයක් කරන්න නම් ප්‍රබල හේතු තියෙන්න ඕනි. රැකියාවලින් දොට්ට දැමීමට සැරසීම. අධික ලෙස සැනෙන් ජීවන බර වැඩිවීම හා ඒ සමානුපාතිකව වැටුප් වැඩි නොවීම. රජයේ සේවයේ නම් වෙලාවට පඩි නොගවීම.ආදි හේතු වැඩවර්ජනයකට ගන්න පුලුවනි. නමුත් එහෙම වුනත් අපි කලින් මේ ගැන පොඩි මුට්ටියක් දාල බලන්න ඕනි කොච්චර මිනිස්සු එයිද කියලා. උදාහරණවිදියට දීපව්‍යාප්ත වැඩවර්ජනයකට කලින් දීපව්‍යාප්ත කෑම පැයේ විරෝධතා ආදිය තිව්වාම අපට පේනවා ඒවාට කොයි තරම් මිනිස්සු එනවාද කියල. කාල්ගාන්ත ලාට ඕනි සටන් දිනින්න නෙමෙයි අනන්න නිසා..ඒවාගේ දේවල් එයාලට අදාල නැහැ.

මේ දැන් ආන්ඩුව මුක්කු ගහගෙන ආර්ථිකය ඇද්දට ආර්ථිකය මුක්කුවෙන් ඇදගන්න බැරි දවසක් තව අවුරුද්දක් දෙකක් ඇතුලත එනවා. එදාට රජයේ සේවකයින් දැඩි ලෙස පීඩනයට පත්වේවි. මිනිස්සුන්ට තෙල් මිල දරාගන්නබැරිම තැනට යාවි. ගොඩක් මිනිස්සු විපක්ෂයෙන්ම ඉල්ලාවි උද්ගෝෂන සංවිධානය කරන්න කියලා. ආන්න ඒ දවසට කරන්න තමයි වැඩවර්ජන වගේ මහාර්ඝ දේවල් තියෙන්න ඕනි. එහෙම නැතුව විදුලි බිල වගේ එක දෙයක් වෙනුවෙන් ජොබ් එක රිස්ක් එකට දානවා කියන්නෙ ඒ මනුස්සයා තනි මෝඩයෙක්.

සංවිධානාත්මක අතින් විපක්ෂ්‍ය තවම දුර්වලයි. මිනිස්සුන්ට විපක්ෂය කෙරහි විශ්වාසයක් නැහැ. ලොකු තැනක් මාධ්‍ය හරහා හදාගන්න පවා විපක්ෂය සමත් නැහැ. ඉතිං මේ වගේ වටපිටාවකදි මිනිස්සු විපක්ෂය තමුන්ගේ ගැලවුම් කාරයා විදියට දකින්නෙ නැහැ.කොච්චර වුනත් අපි ස්ටයික් එකකට ගිහින් ජොබ් එක නැතිවුනොත් යූනියන් එකෙන්.. ඒ පක්ෂවලින් අපිව ගොඩදාල දෙයි කියන ෂුවර් එක තියෙන්න ඕනි. නමුත් රතු පක්ෂය හෝ කොළ පක්ෂය අද තියෙන තැන ඉදන් අපිට එහෙම විශ්වාසයක් ගොඩනගා ගන්න අමාරුයි.

හැමදේම හරියට හදාගෙන අපිට ස්ටයික් කරන්න බැහැ. නමුත් බැලූ බැල්මට ලොකුවට පේන වැරදිත් එක්ක තියෙන ස්ටයික් වලට සහභාගි වෙනවා කියන්නෙ මද්දුම බන්ඩාර කලා වගේ වැඩක්. අඩු තරමෙ ලොකු බන්ඩාර හැංගෙන්න හරි දිව්ව ජීවිතය බේරගන්න. නමුත් මද්දුම බන්ඩාර වීරයා නේ..එයා යනවා එනු සටනට ගනු කඩුව කෝ මනමේ කියාගෙන.

12 comments:

  1. ගොඩක් උන්ට තේරෙන්නේ නැති යතාර්ථය තමයි ඉතින් ඔය.සමහර උන් බුකියේ ප්‍රොෆයිල් පින්තුරෙටත් දමන හිටියා ඔකේ පින්තුරේ.ඒ උනාට උන්ද මන්දා කලින්ම වැඩට ගියේ

    ReplyDelete
  2. ///මම හිතන්නෙ දැන් එයාල විපක්ෂයේ විරෝධතා කියන එකත් කන්න බලාගෙන ඉන්නවා. ///

    වැදගත්ම දේ අමිල මේ මතු කරලා තියෙන්නේ..අද වෙද්දී මේ මිනිස්සු ටික හැසිරෙන්නේ සම්පූර්ණ බල තෘෂ්ණාවෙන්..හරි හමන් බලයක් ගොඩ නැගෙන එකට වල කපන්නේත් මේ මිනිස්සුම තමයි..

    ඔක්කොටම කළින් මේ මිනිස්සු ටික තොලෙන්චි වෙලා යන්න ඕනේ..නැතුව බැහැ..මේ මිනිස්සු ඉන්න ඉන්න වෙන්නේ විපක්ෂය කියන දේ තව විහිළුවක් වෙන එක පමණයි..

    හරි හමන් විකල්පයක් හදා ගන්න බැහැ මෙවැනි පිරිසක් ඉන්න කම්...

    ReplyDelete
  3. සහතික ඇත්ත.මේ විදියට හඩක් නඟන්න විතරයි පුළුවන්.කවදා මේ මිනිස්සු අසරණ මිනිසුන් ගැන හිතයිද?ටික දෙනෙක් සිංගපුරුවේ ජිවන රටාවක යනවා බහුතරය සෝමාලි ජිවන රටාවක් ගෙවනවා.

    ReplyDelete
  4. අද වෘත්තීය සමිති කියන දේත් වැඩවර්ජන කියන දෙයත් වරෝධතා කියන දෙයත් සම්පූණයෙන් ම දහෑල්ලු වෙලා තියෙන්නෙ. ඒකට වැඩිපුරම වගකියන්න ඕනා ඔය කියන කාල් ගාන්ත ලාගෙ පක්ෂෙ. පැහැදිලිවම ඒ අයට පැහැදිලි අරමුණක් නැති නිසා සහ කොච්චචර හංගා ගන්න හැදුවත් යටි අරමුණු එළියට පෙනෙන නිසත් තමයි මේවා අසාර්ථක වෙන්නෙ. අන්තිමට මේ දේවල් වලින් වෙන්නෙ සැබෑ අවශ්‍යතාවයකදී මිනිස්සුන්ට වෘත්තීය ඉල්ලීම් දිනාගන්න බැරි වෙන එකයි

    ReplyDelete
  5. මුලින් දේශපාලන පක්‍ෂයකට අයිතිවෙලා ඊලඟට ශිෂ්‍ය ව්‍යාපරයේ හෝ කම්කරු ව්‍යාපාරෙැය් හෝ යෙදෙන අය අනිවා මුල් තැන දෙන්නේ පක්‍ෂේටයි.

    උදුල්,
    ලාල්,
    සිරිනාල්
    සහ අනෙකුත් ලොල් ලා ත්
    එහෙම තමයි වැඩ කලේ/කරන්නේ.

    ReplyDelete
  6. "දැන් ඔය වහනවා කියන පාසල් බොහොම දුෂ්කර පැති වල තියෙන්නෙ. අම්මලා ලමයි දාන්න යන්නෙ ලොකු ඉස්කෝල වලට. ඔය පාසල් වලට එන්නෙ ලමයි ඉතාම සුලු පිරිසය්. ගොඩක් වැහුනු පාසල් වල ළමයි පනහටත් අඩුයි මුලු ඉස්කෝලෙම. ඒළමයිගෙනුත් ඉස්කෝලෙ ඇවිත් ඉගනගන්න මානසිකත්වය තියෙන්නෙ බොහොම සුවල්ප දෙනාගෙයි. ඉතිං ඒ වගේ පාසල් වහලා ඒ ළමයි ළග පාසල් වලට අනුයුක්ත කරන එකේ වරදක් මම දකින්නෙ නැහැ. ඒකෙ ලොකු කුමන්ත්‍රනයක් නැහැ. පාසල නඩත්තු කරන්න ආන්ඩුව වියදම් කරන මුදල් නිරපරාදේ නාස්ති වෙනවා නම් ඒ පාසැල් වහන එක තමයි හොඳ"

    ඔයත් කවූරු හරි කියපු එකක් ගිරවා වගේ කියවනවා ඇරෙන්න වෙන දෙයක් නැහැ.

    ඔයා හිතුවද ඒ කුඩා පාසල් වල ඉතුරු වෙලා ඉන්න පනස් දෙනා ඇයි නගරේ පාසල් වලට යන්නේ නැත්තේ කියලා. ඇයි එයාලාට නගරේ පාසල් වලට යන්න බැරි කියලා. කිලෝ මීටර් කීපයක් දුරින් තියෙන පාසලටවත් එයාලව යවා ගන්න බැරි තරම් දෙමව්පියන්ගේ ආර්ථිකේ දුර්වල ලමයි කියලා ඔයා දන්නවද?

    ඔයා කියන්නේ ඒ ලමයි පනස් දෙනා ඉස්කෝලේ නොගියට කමක් නෑ කියලාද? ඔයා කොහොමද දැන ගත්තේ ඔය කුඩා පාසල් වල ඉන්න ලමයින්ගෙන් වැඩි දෙනෙකුට ඉගෙන ගන්න මානසිකත්වය නෑ කියලා. පර්යේෂණයක් කරාද? එහෙම නැත්නම් ඔයාත් ඔය කවුරු හරි කියපු එකක් ගිරවා වගේ කියවනවද?

    ReplyDelete
    Replies
    1. ඔයා කියන්නේ ඒ ලමයි පනස් දෙනා ඉස්කෝලේ නොගියට කමක් නෑ කියලාද?

      අපි නිතර දකින දෙයක් තමයි ලංකාවෙ ලමයි ඉස්කෝලෙට ගෙඩාක් දුර ඉදලා බස්වල යන දර්ශනය. ඉතිං ඒ වගේ දුරින් තියන පාසලක කලින් පාසලට වඩා සම්පත් අතින් ගුණාත්මක අතින් හොද වෙන්න පුලුවන්. ගමේ ඉස්කෝලෙ ඉන්න හැම විෂයම උගන්වන ගුරුවරයාට වඩා ටිකක් ලොකු ලෝකයක් බස් කේ ගිහින් පයිං ගොඩක් දුර ගිහින් ඉගන ගන්න ඉස්කෝලෙදි ඒ ලමයාට දකින්න පුලුවන් වෙයි...

      ඔයා කොහොමද දැන ගත්තේ ඔය කුඩා පාසල් වල ඉන්න ලමයින්ගෙන් වැඩි දෙනෙකුට ඉගෙන ගන්න මානසිකත්වය නෑ කියලා. පර්යේෂණයක් කරාද?

      ලංකාවෙ සාමාණ්‍ය පෙල විභාගයේදි ගණිතය අසමත් වෙන ළමයි වැඩිපුර ඉන්නෙ ඔය වගේ කුඩා පාසැල් වල. ඒකට හේතුවකුත් තියෙනවා. දුෂ්කර පාසැල් වලට යන්න දක්ෂ ගුරුවරු කැමති නැහැ. සමහර වෙලාවට ඕ ලෙවල් ගනන් වලට සී එක තියෙන කෙනෙක් ඈත දුෂ්කර පාසලක ගණිතය උගන්වන වෙලාවල් තියෙන්න පුලුවනි. (එහම තියෙන පාසැල් කිහිපයක්ම මම දන්නවා..) දුස්කර පාසැල් වල ලමයිට ගෙදර ඇවිත් ටියුෂන් යන්න බැහැ. කම්පියටර ගහන්න ලැබෙන් නැහැ.. එයාල ආපු වෙලාවෙ ඉදලා ගොයිතැන් වැඩ..වෙනත් වැඩවල යෙදෙන්න ඕනි.. ඉතිං එයාල පොඩි කාලෙදිම මහ මිනිස්සු වෙලා ඉවරයි. ඒ වගේ අයට ඉස්කෝලෙ පේන්නෙ මහ ඇණයක් විදියට.. මේවගේ කාරණා වලට මට ලිංක් දාන්න බැහැ.. මේවා තියෙන පොත් හොයාගන්න විදියකුත් නැහැ.. ඒ නිසා මං කියන දේවල් වල වටිනකම් නැතුව ඇති..ඒක මට ගැටලුවක් නැහැ..

      එහෙම නැත්නම් ඔයාත් ඔය කවුරු හරි කියපු එකක් ගිරවා වගේ කියවනවද?
      සාමාන්‍යෙයන් මම කාරුවත් කියාපු දෙයක් ආයෙත් ලියන්නෙ නැහැ.

      Delete
    2. කලාමැදිරියා
      //ඔයා කියන්නේ ඒ ලමයි පනස් දෙනා ඉස්කෝලේ නොගියට කමක් නෑ කියලාද? ඔයා කොහොමද දැන ගත්තේ ඔය කුඩා පාසල් වල ඉන්න ලමයින්ගෙන් වැඩි දෙනෙකුට ඉගෙන ගන්න මානසිකත්වය නෑ කියලා. පර්යේෂණයක් කරාද?//
      පොඩ්ඩක් එලියට ආවනං ඇත්ත තේරෙයි. උදාහරණයක් විදියට මම 7-13 ගිය පාසල වටේ තියන පාසල් 10-15ක තත්වය ඕක තමයි‍. අමුතුවෙන් පරීක්ෂණ ඕන නෑ.

      Delete
  7. හොඳ ලිපියක්, හැබැයි අන්තිම උපමාව නම් මෝඩ උපමාවක් !

    මද්දුම බණ්ඩාරට මරණයට මූන දීම හැර වෙන විකල්පයක් තිබ්බාද? හැංගුනයි කියලා ලොකු බණ්ඩාර බේරුනාද?

    ReplyDelete
  8. මිනිස්සු බනිනවා රනිල්ගේ කොන්ද පන නැහැ කියලා එත් හරියට ඇස් ඇරලා බැලුවොත් මහින්ද මුළු රටේම කොන්ද කඩලා තියෙන්නේ. පාර්ලිමේන්තුවට අද මොකද්ද තියන බලේ ? නීති පද්ධතිය සම්පුර්නෙයෙන් අතට අර ගෙන පොලීසය ජෝකර් ලා කරලා තියෙන්නේ ජනමාධ්‍ය මහින්දගේ අප්පගේ බුදලේ වගේ පාවිචිචි කරන්නේ රටේ හිටපු ප්‍රබල දේශපාලකයන්ව කටු කන බලු පැටව් කරලා, මහින්දගේ පුතා රගර් විනුසුරු වරයෙක්ට පහරදුන්නා දෙනෝ දාහක් බලන් ඉද්දි හරිනම් එවෙලම ජිවත් කාලයටම තරග තහනමක් දෙන්න ඕනි නමුත් සිද්දිය ගැන හොයන්න පත් කරපු විනය කමිටුව ඉල්ලා අස්වුනා මේවට අඩන්නද හිනා වෙන්නද කියලා හිතා ගන්න බැ වමටත් නැති දකුණටත් නැති කාලකන්නි ආණ්ඩුවක් මේක මෙව්වා ගැන ලියන්න ගියොත් ලේ පුච්චාගෙන වෙන්නේ ඊට පස්සේ සුදු වැන් ඒකෙන ගිහින් රබර් කැලේකින් මලමිනියක් වෙලා නැගිටින්න වෙන්නේ. ආණ්ඩුවේ රස්සාවකට ටෙන්ඩර් එකකට මොකක් හරි පොඩි වාසියකට මේ මුළු රටම උගස්‌ තියන්න එපා

    ReplyDelete
  9. ආර්ථිකය ගැන නම් බය වෙන්න දෙයක් නැහැ.මොකද අපේ බුද්ධිමත් ජනතාවගේ ආර්ථික දැනුම හරිම ඉහලයි.මොකාද චන්දයකදී පක්ෂයක ආර්ථික වැඩ පිළිවෙල හොයල බලන එකා.මේ ආණ්ඩුව ආර්ථිකය බින්දුවට අරන් ගියත් දේශප්‍රේමය(මේක බොහොම තක්කඩි අවස්ථාවාදී රැවටිල්ලක් ) සීයට තියන් යන නිසා බය වෙන්න කිසිම දෙයක් නැහැ.බඩ ගින්නේ මලත් තම්බිය ඇමරිකන් කාරය නොර්වේ යක්කු බැරිනම් ජයලලිතව හරි මතක් කරන් ලේ රත් කරන් ඉන්න හැටි ආණ්ඩුව විසින් ජනතාව නමැති තමන් පාලනය කරන හරක් පට්ටියට පුරුදු කරලා තියෙන්නේ.මුන් හොඳ හීලෑ හරක් !

    ReplyDelete
  10. @“සේවකයෝ අයිතිවාසිකම් මොනවද කියලාවත් නොදැන ලංකාව පුරා සේවය කරනවා.“ - එක අතකට ඒක හොදයි.තව සමහරු අයිතිවාසිකම් මොනවද කියල හොදටම දැන දැන ඒවා කිසි දෙයක් නොලැබ සේවය කරනවා.එතකොට දැනෙන පීඩනය,වේදනාව වැඩියි.මොකුත් නොදැනම ඉන්න එක වඩා හොදයි.

    ReplyDelete