Friday, April 9, 2021

කොවිඩ් කේක් එක


උඹල එහෙම සාම ල එක්ක සෙල්ලමෙ යන්නේ නැහැ.. උන්ට කොවිඩ් ලු.. 

තරුගේ අම්මා එසේ කියයි. තරු ඒ කොවිඩ් ඇති සාම ලාගේ  දිහාවට යන්නේද යන්න අම්මා ඇස ගසාගෙන සිටින්නීය. සාමලාගේ ලොකු ගෙදර ඉදිරිපිටට මුලින්ම තඩි ඇම්බියුලන්ස් ආවේය. ඉන් පසු සාමලාගේ ගෙදර ඉදිරිපිටට කට්ටිය ඇවිත් කෑම එල්ලා යන්නීය. ඒ කෑම අතර රසවත් කැම ඇතැයි තරු සිතයි.. 


ගේට්ටුවේ එල්ලා තිබූ එක් කේක් පාරස්ලයක් බල්ලෙක් ඩැහැගෙන යනු දුටු තරු බල්ලා එලවා කේක් බෑගය ගෙන නැවත එල්ලූවේය. ඒ සැනින් තරුගේ අම්මාට ඇමතුමකි. 


තරුලයි අම්ම නේද? ඔය. එහා පැත්තෙන් සාමා ගේ පියාය. 


තරු බේරගත් කේක් ගෙඩිය එයාට ගන්න කියන්න. මම කැමරාවෙන් දැක්කා එයා බල්ල කන්න ගිය කේක් ගෙඩිය බේරලා ගේට්ටුව උඩින් එල්ලුවා.. 


අනේ ඕන නෑ. මේ ළමයට මැජික් වගේ බලං ඉන්නවා. සාමලාට මොකද වුනේ කියලා. කවදාවත් ඔයාල ඔහොම ගේට්ටු වහන් ඉදලා නැහැ නෙ. ඔයාලට මොනාහරි ඕනි නම් කියන්න හොදෙයි. අපිට හැකි විදිහට ගෙනත් දෙන්නම්. තරුලයි අම්මා එසේ කීවාය.. 


තරූ......ව්.. තරූ......ව් .. අම්මා තරූට කෑ ගසන්නට විය. 


ඇයි අම්මා බෙරිහන් දෙන්නේ මම මේ ඔයා පිටි පස්සෙ නෙ ඉන්නේ. අම්මා මොනාද දැන් සාමලට දෙන්න ඉන්නේ. ඒ ඇසුන තරුගේ අක්කාද එතැනට ආවේය. 


මොනව දෙන්නද ලමයො. ඒ කට්ටිය ඉල්ලන එකක් නැහැ.. අපිටත්  මේ නැති  බැරිවෙලාව කියලා ඒ මනුස්සයෝ දන්නවා. අන්න තරු අර කේක් ගෙඩිය අරගෙන එන්න. සාමලාගේ ගේට්ටුවේ ඔයා එල්ලු එක.  


ටික වෙලාවක් ගත විය. 


අම්මා මම ගියාම ගේට්ටුවේ එල්ලා තිබුන අනෙක් පාර්සලුත් අරංම යන්න කියලා ඒ අංකල් කිව්වා. ඒ අංකල් හරි හොදයි නේද? තරු ඇසීය.. 


ඔවු පුතේ සාමලා නැත්තං අපිට ඉදලා හිටලා වත් හොද කෑමක් බීමක් කොහෙන්ද? තාත්තට කියන්න එපා. එයාට තරහ යයි.. තරු ගේ අම්මා කීවේය. 


තාත්තට කොහෙ කියන්නද අම්මේ. එයා රට ඉදන් කවදහරි එනකොට මේවා ඉවර වෙයි. එයා කෝල් කරනකොට අපි මේවා හංගලා තියමු. මම අක්කටත් කියන්නම් නොකියා ඉන්න කියලා. තාත්තා දැනගත්තොත් අනුන්ගෙන් කනවා කියල අපිට බනියි නේද? තරු කීවේය. 


ඒ වුනාට පුතේ තාත්තා මෙහෙ උන්න නම් උඹලට ඔය අනුන්ගේ ගේට්ටු ගාවින් කෑම ගන්න ඕන නැහැ නෙ. ඒ මනුස්සයා මොනාහරි කන්න හරි ගෙනත් දෙනවා නෙ. අම්මා කීවේය. 


හරි හරි අම්මේ ආයෙ ඇඩුවා කියලා තාත්තා එදැන් පාත් වෙන් නැහැ නෙ.එන්න මේ කේක් කෑල්ලක් කාල ෆන් එකක් ගන්න. තරු කීවේය.. 


ෆන් එකක්. තරු කොහෙන්ද බන් උඹ ඔය වචන ඇහිද ගන්නේ? ෆන් එකක්. තාත්තා උන්න නම් උඹට ෆන් පෙන්නයි මෙන්න කියලා. තරු මොකද බන් මේ පාන් කපන්නවගේ ලොකු කෑලි කපලා.. 

අම්මා ඇසීය. 


අම්මා ඒක අර ගේට්ටුවේ බඩු එල්ලන්න ආපු අයත් කිව්වේ." කොවිඩ් හැදුනට මුන්ට ෆන් එකක් තියෙන්න එපැයි කියලා බෝතලයකුත් ගේට්ටුවෙන් ඇතුලට දැම්මා දැක්කා..අරුක්කු වෙන්න ඕනි ඒකනම්"  ඒක හොද වචනයක් නරක එකක් නෙමෙයි. නේද අම්මි.. තරු කීවාය.. 


ඒ අම්මේ අපිටත් කොවිඩ් හැදුනොත් මෙහෙම කට්ටිය ඇවිත් කේක් දෙයිද? මම දැක්කා එයාලට ගොඩක් කෑම බීම ලැබුනා. ඒ ඇන්ටි නම් බඩු එල්ලනකල් බලා ඉදලා ඉක්මන්ටම ගේට්ටුවෙන් ඒවා ගලව ගත්තා. අම්මේ අපිත් හදාගමුද කොවිඩ්.. කෑම හරි ලැබෙනවා නේ. තරු කියන්නට විය. 


දරුවෝ.. ඕ ජරා ලෙඩේ ඩුබයි වල තාත්තට හැදුන වෙලාවේ ඔවැයි දැක්ක නේද? තාත්තා විදපු දුක. පස්සෙත් හුස්ම ගන්න අමාරු කිව්ව නේද? දැන් මේ ළමයට කේක් කෑල්ලක් දැක්කම ලෙඩ හදාගන්න යනවා කේක් කන්න. ඇත්තටම උඹඨ පිස්සුද තරු. 


ඒම නෙමෙ අම්මෙ. දැන් ඉතින් අපි දවස් කීයක් පොල්සම්බලුයි බතුයි කෑවද? අම්ම පාරේ වැඩට ගියාම අම්මත් කැත වෙනවා. දැන් අම්මා කලුත් වෙලා. කුලී වැඩට ගිහින්ම. ඉතින් අම්මි මටයි අක්කිටයි ඔයාටයි කට්ටිය කෑම ගෙනත් දෙනවා නම් අපිට සති දෙකක් හරි හොදට කන්න පුලුවන් නේ අම්මා.. හිතන්ඩකෝ.. තරු කීවාය.. 


ඉතින් තරුවො අපි මලොත් ඕකෙන්.. අක්කා කියන්නට විය. 


මොනාද ලොකු ඔය කියවන්නේ.. අම්මා සැර විය. 


ළමයි මැරෙන් නැහැ අක්කෙ. ළමයි සීයට දසම දෙකයි මැරෙන්නේ. ඇරත් අපේ අම්මා දැන් වැඩට ගිහින් එයගේ ඇගත් ෆිට්.. මේ ඉන්නේ ආනෝල්ඩ් වගේ අපේ අම්මි දැන් කුලි වැඩට ගිහින් .. තරු හිනාවෙවී අයෝමය පුරුෂයකු මෙන් අත් හදා පෙන්වමින් කිව්වාය. 


ඖ ඖ ආනෝල්ඩ් වගේ ඉන්නවා මගෙ කට.. සාමල ට කොච්චර ලැබුනත් අර ආන්ඩුවෙන් දෙන පාර්සලෙත් ගනීවි ඕකුන්.. නිකං ලැබෙනව නම් කවුද එපා කියන්නේ.. අම්මා කීවාය. 


ඉතින් ඒකනේ අම්මි කිව්වේ..අපිත් හදාගමු ඕක. ආණ්ඩුවේ පාර්සලයයි. ගමේ අයගේ කෑමයි බීමයි.. අම්මට රස්සාවට යන්න ්නි නැහැ සති දෙකක්. අපේ තාත්තිගේ පැත්තේ කට්ටිය අපිට කන්න ගෙනත් දෙයි. රස රස ඒවා.. තරුගේ අදහස කොවිඩ් හදාගැනීම වාසි දායක බවය. 


ඔවු ඔවු තරු ගෙ බාප්පලා ටික ගෙනත් දුන්න නේ අපිට මේන්න කියලා කෑම බීම. තාත්ති ලෙඩ වෙලා එහේ දුක් විදිනවා කිව්වාම උඹලා කන බොන විදිහවත් ඇහුවද? බොරුවට තාත්තට නම් කතා කරලා තිබුනා. ඒ ආවොත් මොනාහරි ගන්න බලාගෙන වෙන්න ඕනි. බාප්පල දෙයි මෙන්න කියලා කෑම කොවිඩ් හැදුනොත් ඔන්න නිකා ඉදින් තරු. 


තරුවෝ. පාන් කන්න වගේ කන්නැතුව ඩිංගක් අස්කරලා තියහං බන් කේක් කෑල්ල..අනික් පාර්සලේ බලහං මොනාද කියලා. අම්මා කියන්නට විය. 


අම්මි ඒකේ සීනි පිටි පරිප්පු වගේ දේවල් ටිකක්..ආ කිරිපිටි එකකුත් තියේ. අම්මෝ අවුරුද්දකින් විතර පිටි බොන්න පුලුවන්.. අම්මා මම ගිහින් කේතලේ ලිපේ තියන්නම් හාද? තරු අසන්නට විය.. 


ඈ බන් තරු.. වෙනදට උඹට කේතලේ තියහන් කිව්වම දාහක් වැඩ. දැන් කිරිපිටි එක දැක්කම ඒකට දුවන්න හදනවා. අම්මා බොරුවට බැන්නාය. 


මෙහෙ වරෙන්.. මම ලිපේ තියලෙ ත් එකක් හදා දෙන්නම් උඹ කාහන් මේක වාඩිවෙලා. 

දරුවෝ. වාසියක් බලාගෙනවත් ඔය කරුම ලෙඩ හදාගන්න හිතන්නව්ත එපා. උඹලාට කන්න බොන්න හිග වුනාට නැති වුනෙ නැහැ නෙ. ඔය කරුම අදහස අතෑරගනින් තරුවො. අම්මා කීවාය.. 


1 comment:

  1. චතු රන්ග මාර්ක් එක නෑ.
    සාමගෙ තත්තා තරුගෙ අම්මට කොවිඩ් කෑම දීල ..... වගේ

    ReplyDelete