Tuesday, March 12, 2013

රා..ජපක්ස වැසිකිලිය (king is back toilet)


වේදිකාව ආලෝකමත් වන විට තරුණයෙක් පෙනේ. ඔහු කොමඩයක මලපහ කරමින් සිටී..

තරුණයා :- ඉර නිවපං..මොහොතක් ගතවෙයි. අවුලක් නැහැ හඳ දාපං. මේක නොකරන කවුරුත් නැහැනේ. ඉන්නවද? ඕගොල්ල ඇවිල්ල ඉන්නෙ නාට්ටියක් බලන්ඩ. මම ඇවිල්ලා ඉන්නෙ රඟපාන්ඩ. ප්‍රශ්නෙ තියෙන්නෙ කවුද ඩිරෙක්ටර් වෙන්නෙ? අයියෙ ඔයා කැමතිද? කවුරුත් කැමති කට ඇරගෙන බලාගෙන ඉන්ඩ.. අවුලක් නැහැ. ඩිරෙක්ටර් නැති නාට්ටියක නළුවෙක්. ඒකත් පට්ට නේ. නිකං හම්බ වෙනවනං දෙමල පත්තරෙත් බලන්න කැමති නේ. මම ගමේ කොල්ලෙක් හැදුනෙ කොළඹ.
කොතනින්ද පටන් ගන්නෙ. හරි මේ තමයි මගේ බොස් මන්ත්‍රිතුමා මුලින්ම හදපු ටොයිලට් එක. මේක හදන්න මම ඉපදුන ගේ කඩල තියෙනවා. අපේ තාත්ත තමයි මෙතන වල හාරලා තියෙන්නෙ. ඒකට තාත්තට බොරැල්ලෙ කනත්තෙ රස්සාව හම්බ වුනා. ලොකු උත්සවයක් තියලා ජෝතිපාලව ගෙනල්ලා සින්දු කියලා තමයි මේක ඕපන් කරලා තියෙන්නෙ.
ජෝතිපාල කියන්නෙ හරිම ලස්සන මිනිහෙක් හරියට දෙවි කෙනෙක් වගේ. රෝස පාටයි. මට හීනෙන් වගේ මතකයි. මල් පිබිදුන එක වසන්ත සමයක ඔබ හමුවේවි කියා..

මම පොඩිකාලේ හිතාගෙන හිටියේ අපි සෙල්ලං කරන්ඩ ගන්න සෙල්ලම් කාර් අපිත් එක්කම ලොකු වෙනවා කියලා. ඒත් ජෝතිපාල මහත්තයා ගිය කාර් එක දැකලා ඒක බොරුවක් කියලා හිතුනා.

මේ ටොයිලට් එක හදලා මාස තුනන් මේකෙ වල ඉතුරුවා. වෙන විකල්පයක් තිබ්බෙ නැහැ. අපෙ වත්තෙ අය මේක අපේ තාත්තලා නාපු ඇලට හැරෙව්වා. මේ ඇල අපේ ආච්චිලගේ ගෙවල් ලඟින් පටන් ගන්නෙ. පොඩිකාලේ ආච්චි කියලා තියෙන්නෙ ස්වර්ග රාජ්‍යෙය් දොරටුව බලා යන ඇල කියලා.

කවුද? ආ කපුරුද? කපුරු බණ්ඩාර හොඳ මිනිහා. කපුරු කියලා තමයි කියන්නෙ. කපුරු එහෙනං පත්තු කරලා තියෙලා පලයං.
මෙතනින් ඉස්සිලා බැලුවම දිව්‍ය ලෝකෙ පේනවා. අපේ අම්මා අපිට බත් කැව්වේ ඒ දිව්‍ය ලෝකෙ පෙන්න පෙන්න. සමහර දවස්වලට දිව්‍ය ලෝකෙ ඕෆ් වෙලා.
අපි ලොකුවුනාම දැනගත්තේ ඒ ඛෙත්තාරාම ග්‍රවුන්ඩ් එකේ ලයිට්. අපේ ගෙවල් ළඟින් හැම තිස්සෙම ජයසූරිය මහේල සංගක්කාරලා යනවා.
සංගක්කාර අපේ අයියගේ වයසෙ. සංගා නළුවෙක් වගේ අම්මා මැච් තියෙන දවසට අපිව එක්කගෙන ගිහිල්ලා සිංහ කොඩි විකුනනවා. අපේ ලොකු අයියා ග්‍රවුන්ඩ් එකේ වැඩකරේ. දවසක් අයියා වැඩ කර කර ඉන්න කොට අයියට කලන්තෙ දාල වැටිලා. බලනකොට ඉයන් හීලි ගහපු බෝල් පාරක් වැදිලා. මිනිහා අයියට එයාගේ ග්ලවුස් එක තෑගි දීල තියෙනවා. අපිට ඒක හොඳ ගානකට විකුනගන්න තිබුනා. ඒත් ගිය පාර ගංවතුරට ඒක ඇලට ගහගෙන ගියා. 

කවුද පුච්චි. ඒත් ආං පුච්චි 83 කලබල වලටවත් වත්තෙන් ගියෙ නැති එකම ගෑනි.83 දිව්‍ය ලෝකෙ උඩින් වැඩියෙන්ම හෙලිකොප්ටර් ගිය දවස. මමයි ප්‍රභාකරනුයි හරි හරනුයි සෙල්ලං කර කර හිටියේ. ප්‍රභාකරන් කිව්වෙ පුච්චිගේ පුතා. මිනිස්සු දුවනවා. අම්මා අපිව ගේ ඇතුලට ගත්තා. පුච්චි බීලා හිටියේ හොඳ සිංහලෙන් කුනුහරුප කියලා ආපු උන්ව එලවාගත්තා. හැබැයි පුච්චි ටොයිලට් එකට ආවත් ඒ ටිකම තමයි. එලෝ ගන්න අමාරුයි. 83 තාත්තා කනත්තෙ වැඩකරපු නිසා හොඳට වැඩ තිබ්බා. අපි ඒ දවස් ටිකේ තමයි හොඳට කෑවේ. ප්‍රභාකරනුයි, හරිහරනුයි තමයි වත්තේ පලවෙනියට කැම්පස් ගියේ. උන් දැන් කැනඩා වල. 

(තරුණයා නිශ්ෂබ්ධව සිටී)
තව ටිකකින් මන්ත්‍රිතුමා එයි. මෙතෙන්ට හොඳට ස්ටේජ් එක පේනවා. පෙලපාලියෙ මුලින්ම යන්නෙ අපි ආදරේට කියන්නෙ නාගීතා අක්කා. මෙතන වැදගත් මහත්වරු ඉන්න නිසා ටිකක් වැදගත් වචන පාවිච්චි කරන්න එපැයි. නාගිතා කියන්නෙ නපුංසකයෙක්. දවසක් එයා බීලා වැඩිවෙලා පෙලපාලිය ඇල ගාවට ම ගෙනිච්චා. යන්ඩ තිබ්බෙ ග්‍රවුනඩ් එක ළඟට. ඔක්කොම බැන්නා. නාගීතා අක්කා හිනාවුනා විතරයි.

කවුද? සෝමසිරිද? මොකක්ද? ඇලට අල්ලපං. සෝමසිරි එකම දෙයයි කියන්නෙ...................ගහපං. මිනියක් මරපං. හිරේ පලයං. මනුස්සයෙක් වෙයං බං. ඒත් වත්තෙන් හිරේ ගිය නැති එකම මිනිහා. ගෑනි රට. පුතා කොහෙද දන්නෙ නැහැ.
ඕගොල්ලන්ට මෙහෙම හිතෙන්ඩ බැරිද? වතුවල ටොයිලට් තියෙන්නෙ.කොහොමද කොමොඩ් එකක් ආවෙ. හොඳ ප්‍රශ්ණයක්. ෆස්ලානා මුලින්ම වත්තට ආවා. එයාගේ අම්මට මේ කොමඩ් එක නැතුව බැරිවුනා. උඩින් ආවා නියෝගයක්. කොමොඩ් එකක් ආවා.

ඒ එක්කම තවත් ප්‍රශ්න ආවා. කොමොඩ් එකේ ඉඳගන්න මිනිස්සු නැගිටින්න වෙලා ගියා. ප්‍රශ්ණ..ප්‍රශ්ණ...ප්‍රශ්ණ..ප්‍රශ්ණ..මම ෆස්ලානා ව බැන්දා..
ඕගොල්ලන්ට ප්‍රශ්ණයක් නැද්ද ඇයි මම මේකෙ මෙච්චර වෙලා ඉන්නෙ. මේකයි මම මන්ත්‍රිතුමාට පලවෙනි පාරට වෙඩි තියන්න කෙනෙක් ට්‍රයි කරේ මේකෙ ඉඳලා. මන්ත්‍රිතුමා ළඟට ජොබ් එකට ගියාට පස්සෙ මම හැමදාම මෙතන.
මන්ත්‍රිතුමා ආපු හැමදාම කිව්වෙ එකම කතාව. සාමාන්‍යෙයන් එකම දේ ඇහැව්වම එපා වෙනවා නේ. ඒත් මිනිස්සු ඒ කතාව අහන්න හැමදාම එනවා.

කවුද? සේනාරත්නද? බෑ බං. තව පැයකින් විතර වරෙන්. වත්තෙ එකම රජයේ සේවකයා මන්ත්‍රිතුමා පස්සෙන් යනවා උසස්විමක් ගන්න.සුදාරිට හැමතිස්සෙම බනිනවා. සුදාරි මම ඔයාට කියලා තියෙනවා එනකොට ළමයට කිරි එකක් හදාගෙන එන්න කියලා. මම මෙතනින් යන්ඩ. එතකොට මන්ත්‍රිතුමා හිතයි මං පැනලා ගියා කියලා. එතකොට කවුද මගේ ප්‍රෙමාෂන් එක හදලා දෙන්නෙ. හැමදාම එකම සිද්ධිය. උසස්වීම් නැහැ. 

මම කොතනද කිය කිය හිටියේ. ආ මන්ත්‍රිතුමාගේ කතාව.
අවසර හාමුදුරුවනේ මට දැන් වැඩිය නැවෙන්න බැහැ. මොකද මේ කොන්දෙ අමාරුවක් තියෙනවා. ආ හ්...සිංහල බෙහෙත් අහන්නෙ නැහැ හාමුදරුවනේ. ඩොක්ටර් කිව්වා මසාජ් කරන්ඩ කියලා. ඒ නිසා ඒ නිසා ගැසට් කොරලා කෙල්ලො ටිකක් ගත්තා ජයවේවා හාමුදුරුවනේ ජය වේවා.
ශෝකාකූල ආ...අවසර ගන්න ඕනෙ …..

ඔක්කෝගෙන්ම අවසරයි. මම දන්නවා මේ දුවලා පුතාලා ඇවිල්ලා ඉන්නෙ සංගීත සංසන්දනේ බලන්ඩ කියලා. ඒත් දුවේ පුතේ මම මේක කියන්ඩම ඕනෙ. ඉස්සර ඔය කපුරු බන්ඩාරලගෙ ලඟින් යන්ඩ බෑ. හරී ගඳයි.
ඔය හරියෙ ටොයිලට් පේලිය හැදුවේ කවුද? මරණයක් වුනාම කතා පවත්වන්නෙ කවුද?

කෙල්ලෙක් කොටහලු වුනාම පෙජා ශාලාව නොමිලේ දුන්නෙ කවුද? ඒ නිසා මේ පාරත් මටම දියං. මිනිස්සු කියනවා අපිට හිතක් පපුවක් නැහැල්ලු. හින්දි ෆිල්ම් එකක් කොල්ලො කෙල්ලො බේරගන්නෙ කොයි වෙලාවටද? ..ආ..අන්න අපේ...ලබා උපන්..ටෙලිනාට්ටියේ නිලිය......තලතාට තේරුනා... අන්තිමට අන්තිම සටන ආවෙ නැහැ. අදාට අපි අපේ පපුව පෙන්නනවා...උඹලා දන්නවද අර පපුවෙ මස් රාත්තල ඉල්ලපු කතාව. දන්නෑ. එහෙනං අහගනිං. ඒ කාලේ වැනීසියෙ හිටියා බස්නස් කොරන හාදයෙක්. දැන් කාලේ වගේ නෙමෙයි කාර් බාර් නැහැ.

හරි දුෂ්කරයි ජීවිතේ. ඉතින් මිනිහට ඕනි වුනා කුමාරියක් කසාද බඳින්ඩ. මිනිහ ගත්තා ස්වීප් එකක්. ඇදුනා මුල් තෑග්ග..ආ...ඒ චන්දන..
උඹට රස්සාවක් නෑනේ. උඹ හරක් බලාගන්න කැමතිද? බෑ..කව්බෝයි කෙනෙක් වෙන්න කැමතිද?
පුලුවන් ...යකෝ දෙකම එකයි..
දෙනවා දෙකක්..කියන දේ කොරපං..

දැන් බලපං තලතා රඟපාන නාට්ටියේ කොල්ලා කොච්චර දත කනවද තලතා දිනා ගන්න. ලේසි නෑ. කුමාරියක් බඳින්න ඕනි නං.. මහන්සි වෙන්න ඕනි..කිසි දෙයක් දොරකඩට එන්නෙ නැහැ.....අපි මහන මැෂින් දුන්නම කියනවා. මහන්ඩ දන්නෑ කියලා. මහන්ඩ ඉගැන්නුවම කියනවා රෙදි නෑ කියලා. රෙදි දුන්නම කියනවා. ඇඳුම් විකුනන්න තැනක් නෑ කියලා..
අද කාලේ හොඳම බිස්නස් එක ඇඳුම් විකුනන එක. අපේ මිනිස්සු කන්ඩ වියදං කරනවාට වඩා වියදං කරනවා ඇඳුං ගන්ඩ. මේ මම ඇඳං ඉන්න ජාතික ඇඳුම ගොඩක් ලාභයි. කවුද ලාභ ඇඳුම් අඳින්න කැමති. කවුරුත් නැහැ. 

අපි හරියට අනවශ්‍ය වියදම් කරන ජාතියක්. අපි ඉතුරු කරන්ඩ පුරුදු වෙලා නැහැ. ඉතුරු කිරීම පොඩි කාලෙදිම අම්මලා තාත්තලා කියලා දෙන්න ඕනෙ. අපේ අතට ලැබෙන ගානෙන් අරපිරිමැස්මෙන් ජීවත්වෙලා අනාගතයට යමක් ඉතුරු කරගන්න ඕනෙ. එහෙමයි දියුනු රටවල් දියුනු වෙලා තියෙන්නෙ..
අද අපේ රටේ පෝලියෝ නෑ. ගොඩක් ලෙඩ ජාති අහුවෙලා තියෙනවා. ඒත් දියවැඩියාව වැඩිවෙලා තියෙනවා. අපි අනවශ්‍ය කෑමක් කන්නෙ. අපි ලමයින්ට පුරුදු කරන්න ඕන පලතුරු එලවලු ටිකක් වැඩිපුර කන්ඩ.
මට පේනවා කොල්ලන්ට කෙල්ලන්ට මගේ කතාව එපා වෙනවා වගේ..

හරි හරි සංගීතෙ බලපං. ස්ටාර් කොලුවො ටිකක් සිංදු කියනවා. මගෙත් එක්කම කියමු පුලුවන් නං ගහලා ගනිං..පුලුවන්නං ගහලා ගනිං..පුලුවන් නං.. මේ පාරත් මටම දීපාල්ලා..ජයවේවා..ජය වේවා..

පුච්චි බීලා කියනවා සංගීතයක් ඉවර වුනාමත් හරි වැඩියෙන්ම තියෙන්නෙ මොනවද ...ප්‍රීති..ප්‍රීති..

ඇලට එහායින් ලස්සන පිට්ටනියක් හදලා. අපේ වත්තෙ කොල්ලො ලස්සන ලී පාලමක් හැදුවා..එහා පැත්තට යන්න. එහා පැත්තට ගිය හැමපාරකම කොල්ලො ආවෙ ගුටි කාලා. මීට දවස් හතරකට ඉස්සෙල්ලා මගේ දුව යශෝදරා ජමීලියා. තවත් ලමයි වගයක් එක්ක එහා පැත්තට යන්න හදලා තියෙනවා. ලී පාලමෙන් මගක් දුරට යනකොටම පාලම කඩාගෙන වැටිලා. ඇලේ මඩේ හිරවෙලා හිටපු ජමීලියා බේරගන්න යනකොට එයා මැරිලා. ඇයි?

මගේ දුවම ඒත් මම එයාව වඩාගෙන ඉස්පිරිතාලෙට දිව්වා. මිනිස්සු අහනවා ඇයි මැරිච්චි ලමයෙක් වඩාගෙන දුවන්නෙ. තාත්තලා එහෙම තමයි.
මගේ තාත්තා එයාගේ ජීවිතේ මුල්ම වතාවට නොමිලේ මිනී වලක් හාරලා. තව පොඩි වෙලාවකින් යශෝදරා ස්වර්ග රාජ්‍යය බලායයි. වයස අවුරුදු 8කින් මැරෙන්ඩ එයා මොකද්ද කරලා තියෙන වැරැද්ද?

අද ඇල ශුද්ධ කරලා..මන්ත්‍රිතුමා පිට්ටනිය විවෘත කරනවා. තව දහස් ගානක් ඇල ශුද්ධ කරලා. මන්ත්‍රිතුමා පිට්ටනිය විවෘත කරනවා. තව දහස් ගානක් ඇලවල් ශුද්ධ කරයි. පිට්ටනි හදයි. කොල්ලො ලී පාලම් හදයි ඇයට ඇය.
අද මගේ ජීවිතේ මුල්ම වතාවට බුලට් නැති පිස්ටල් එකක් ලැබිලා. මෙතන පලවනියටම හිටපු මිනිහට වගේ. ඕගොල්ලන්ට මම කියන්නෑ..නැගිටලා ඒවා ගෙනල්ලා දෙන්ඩ කියලා. මොකද දැන් පරක්කු වැඩියි. 

පසුබිම් හඬ:- ඒ වරෙන් එලියට. පර බල්ලා තෝ අපිට මෙහෙමද කරන්නෙ. (වේගවත් අඩි ශබ්ධ ඇසෙයි)
තරුණයා :- ජීවිතේ කියන්නෙ නාට්ටියක් නෙමෙයි.
තරුණයා එක එල්ලේ බලා සිටී. තිරය සෙමෙන් වැසේ.
අවසානය.

17 comments:

  1. අද කාලෙ ඇත්ත පැත්තක්. නියමයි බං

    ReplyDelete
  2. නියමම නියමයි අමිලයෝ...පට්ට ..
    +++++++++++++++++++++++++++

    ReplyDelete
  3. තිරය වැහෙනකල් විතරයි මේ හැම දේම..

    ReplyDelete
  4. අපේ සමාජයේ තවත් පැති කඩක යතාර්තය පෙන්වන ලිපියක්.. කතාවක්. මගෙන් සුබ පැතුම්. නියමයි.

    ReplyDelete
  5. One of the best Sinhala blog posts I have seen. Just great.

    ReplyDelete
  6. 'Applause'..'Applause'..'Applause'...'Applause'

    ReplyDelete
  7. කැළණි පාලම අහසින් වැටුණු මිනිස්සු නාට්‍ය සෙට් එකේ ඊලග කොටස වගේ ....

    ReplyDelete
  8. +++++++++++++++++++++ superb!

    ReplyDelete
  9. සුපර්බ් අමිලයා.... වෙන වචන නැත.
    මං ආසම මේ කෑල්ලට
    "කවුද? සෝමසිරිද? මොකක්ද? ඇලට අල්ලපං." :)

    ReplyDelete
    Replies
    1. තව පොඩ්ඩක් කියනවනං ඒ වගේ කෑලි වලින් උඹ හිතා හෝ නොහිතා කරන්නෙ මරු වැඩක්. අර ඩ්‍රාමා වල භාවිතා වෙන දුරස්තීකරණ රීතියේ අනිත් පැත්ත වගේ. සාමාන්‍යයෙන් දුරස්තීකරණයෙදි කරන්නෙ නාට්‍යය ඇතුලට බැහැලා ඒක සැබෑව කරගෙන ඉන්න ප්‍රේක්ෂකයට එකපාරට ඔයවගේ පොඩි කෑල්ලක් දාල මතක් කරල දෙනවනෙ මේක හැබෑව නෙමේ නාට්‍යයක් කියලා. (ඔය ඉතිං මං දන්න තරමට)

      දැන් උඹේ නාට්‍යයේ එකා කතාව කියෝගෙන යද්දි අපිට අමතක වෙනවා මේක නාට්‍යයක් කියලා. මොකද ඌ කියන්නෙ අමු ඇත්ත කතන්දර ටිකක්. ඉතින් ඔය ඇත්තෙ ගිලිලා මේක කියෝන උන්ට
      "කවුද? සෝමසිරිද? මොකක්ද? ඇලට අල්ලපං."
      වගේ කෑල්ලක් දාපු ගමන් මතක්වෙනවා මේක නාට්‍යයක් නේද කියලා... :)

      Delete
    2. උඩ කමෙන්ට් එකේ මොකද්ද අවුලක් තියෙනවා වගේ බං...... ඕනෙ මගුලක්.

      Delete
    3. කට්ටිය සෙට් වෙලා කරමුද නාට්‍යක් . . අමිල, චාමි මොකෝ කියන්නේ?

      Delete
  10. ෆස්ලානා මුලින්ම වත්තට ආවා. එයාගේ අම්මට මේ කොමඩ් එක නැතුව බැරිවුනා. උඩින් ආවා නියෝගයක්. කොමොඩ් එකක් ආවා. ප්‍රශ්ණ..ප්‍රශ්ණ...ප්‍රශ්ණ..ප්‍රශ්ණ..මම ෆස්ලානා ව බැන්දා..

    මම නම් ආසම මේ ටිකට..

    මගේ ජීවිතේ එක වැදගත්ම සිද්ධියන් සිද්ධ වුනේ අමිල විස්තර කරන මේ ඉසව්වෙදී. උඹ ආයෙත් මාව හිර කලා. නියමයි අමිලයා..ඇත්තටම කිව්වොත් උඹට පිස්සු. :-)

    ReplyDelete
  11. කට්ටිය සෙට් වෙලා කරමුද නාට්‍යක් . . අමිල, චාමි මොකෝ කියන්නේ?

    ReplyDelete