Monday, December 2, 2013

පසල් තරංග 2

පාසැලේ එවක ප්‍රාථමික අංශයේ සිටි අපි අතර තරංග කැපී පෙනෙන චරිතයක්ද විය. බොහෝ විට හිත හොඳ එකෙකු වූ තරංග තම යහලුවෙක් හොඳින් ගුටිකන විට පහරදෙන්නේ කෙතරම් ලොකු අයියා කෙනෙක් වුවද ඔහු මෝඩයා සේ අත දායි. ඒ නිසාම තරංග තමුන්ගේ ටීම් එකේ චන්ඩියෙකු සේ තබාගන්නට කැමති උන්ද බොහොමයක් විය. නමුත් තරංග ඒ කිසිවෙකුත් සමග පෑහෙන එකකු නොවේ. මේ වලිබර ගතිය නිසාම තරංගගේ කමිසයේ බොත්තම් කාදු ඉරී ගොස් කිහිප වරක්ම පිළිසකර කොට ඇත. ඔහුගේ මුහුනේ හෝ අත්වල සීරුම් කැළැල් ද විය. තරංගගේ කොන්ඩයද සිරගෙට නියම වූ එකෙක්ගේ මෙන් නිතර කොටට කපා තිබෙනු මට මතකය.

ඔහු ලියන කියන පාඩම් වැඩ වලටනම් දක්ෂයකු නොවින. ඔහු උපන්ගෙයි අදක්ෂයෙකැයි සලකා තිබුනි. කුමක් හෝ මල කරුමයකට එකල ප්‍රාථිමික පංතිවල ගුරුවරු අදහස් අතින් පසුගාමී අයවලුන් වූහ. ඔව්හු ළමුන් ඔවුන්ගේ පහසුව තකා වර්ග කොට තිබුනි. දක්ෂ අදක්ෂ,දඟ, අපිරිසිදු ආදී ලෙස ලමුන් වීය. ගමේ වැදගත් තැන්වල ,කඩවල් වල රජයේ සේවක දරුවෝ සහ ගුරුවරුන්ගේ දරුවන් විශේෂ අනුකම්පාවකට ලක් විය. උන්ගේ දෙමාපියන්ගේ බැලීම නිසා දෝ හෝ උන් උගැන්ම සහ ගෙදර වැඩ තරංගලාගේ වැඩට වඩා තත්වයෙන් උසස්ය.

නමුත් ගුරුවරුන්ට තරංග උවමනා වන වෙලාවල්ද තිබේ. එනම් වතු වැඩ සහ බාහිර වැඩයි. මල් වැවිල්ල වැට ගැසීම වත්ත සුද්ද කිරීම ආදී පන්තියෙන් බැහැරව එදා අපේ ඉස්කෝලෙ තිබූ බොහෝ වැඩවලදී තරංග යනු කාගෙන වැඩකරන කඩියෙකි. අපි නම් වැට ගහන්නැයි කිව් විට මුල් ඉන්න සැරට හිටවාලා ඉන් පසු ඒවා ඕනාවට එපාවට කලෝය. නමුත් තරංගට හැම ලීයම ශක්තිමත්ව හරක්ට පනින්න බැරිවෙන්න තියෙන්න ඕනා විය. අපේ පංති කාමර සමහරක දොරවල් හොරු කඩා තිබුනේය. ඒ දොරවල් වලට ඩෙස් හරක් කොට හරක් ඒම වැලැක්වීමට ඩෙස් උඩ ගසා තිබීම ආදියද තරංග මහත් උනන්දුවෙන් කළ රාජකාරි වේ. වැට ගහන්නට ගෙදරින් ඉනි කපං එන්නයැයි ගුරුතුමිය කී විට තරංග පසුදින ම ගොස් හොඳ වයිං ලී ටිකක් කපාගෙන පාන්දරින්ම ඒ ටික කරතියාගෙන කිලෝමීටර ගානක් දුර ගෙවා කන්ද බැසගෙන පාසැලට එයි. කෙල්ලෝ නම් සුට්ටං කෝටු කෑලි කපාගෙන නමට ඒවා රැගෙන එති. “තොපේ මේ කෝටු මක්කටෙයි බං ? මේවයිං ගහන්න ඇහැක්කෙ වැටවල් නෙවෙයි..මේවයිං ඇහැකි බල්ලො එලවන්න. අපේ සීය බල්ලො එලවන එකත් මීට ලොකුයි..“ තරංග කුඩා සිහින් කෝටු ගේන කෙල්ලොන්ට එසේ බනියි. “තොට වගේ කෝටු කපන්න මහ කැලයක් නැහැ අපිට. ඇහැක් ටික තමයි ගෙනාවෙ. උඹට වැඩන් නැහැනෙ කෝටුවල තරම.. ටීචනේ ගේන්න කිව්වෙ කෝටු.‘‘ ..කට සැර කෙල්ලක එසේ උත්තර දෙයි.. තරංගයා නිස්සද්ද වෙයි.

පාං දැලි එකතු කොට කළුලෑල්ල කළු කිරීම. ඩෙස් පුටු ඇණ ගසා හදාගැන්ම, වැට ගැසීම, වත්තේ තණකොල අයින් කිරීම. අතු කැපීම ආදි වැඩ ගොඩකට අපේ ඉස්කෝල වල එකල සේවකයෝ නොවීය.ඒවා කරගන්නේ අපිමය. විටක සමහර ගුරුවරුම පැමිණ අපිට ඒවා නිවැරදිව කරන හැටි කියාදෙති. උදැල්ල, පිහිය අල්ලන නිවැරදි ක්‍රම කැත්තෙන් කැපෙන්න නම් ගහන්න ඕන විදිය ආදිය අපේ ම යාලුවන්ගෙන්ද වැඩට සමත් ගුරුවරුන්ගෙන්ද අපි එකල ඉගෙනගතිමු.

තරංග ගේ මට්ටමේ අනික් සගයන්ට වඩා තරංගගේ තිබු එක් වෙනසක් නම් කොන්ඩය තෙත් වෙන්නට තෙල් ගාගෙන ඒමයි. ඉන් පසු ඔහු ඔලුව අත ගා පොත් ඇල්ලූ පසු පොත්වල අකුරු ලියන්නට බැරිය. ඒනිසා ඔහුගේ ලියන පොතේ අකුරු තියෙන්නේද තැන තැනය.

තරංගගේ කොන්ඩයට තෙල් වැඩියැයි එක ගුරුවරියක පැවසීය. තරංග ගේ කොන්ඩයට, ඇය සතුව තිබූ ලමුන්ට තලන කුඩා ‍කෝටුව ගෙනගොස්. “බලනව ලමයො..මේ කෝටුවෙත් තෙල් ගෑවෙන තරමට තෙල්..ගානකට ගාන් එනව. ගාන්න කිව්ව පලියට බෝතලේම ඔලුවෙ හලං එනව. පස්සෙ අතනයි මෙතනයි හැමතැනම තෙල්..“ යැයි ගුරුතුමිය මහා කරුණාවෙන් පැවසීය.

සිද්ධිය සිදු වුනේ මා සය වන වසරේ සිටියදීය. තරංගට තිබුනේ අභ්‍යාස පොත් දෙකකි. ඔහුට ඒ පොත් දෙකේ සියලුම විශයයන් ලිවීමට නොහැක. ඒ නිසා නිතර දෙවේලේ ඔහු ගුරුවරුන්ගෙන් බැනුම් අසයි. ඔහුට කුමක් හෝ හේතුවක් නිසා ලොකු අභාග්‍යක් උදාවන්නට ඇත. එහෙත් ඔහු ඒ කුමක්දැයි මටවත් කිව්වෙ නැත. මා ඔහුට මට ලිවීමට අම්මා වැඩිපුර අරං දී තිබුන පොතක් දුන්නෙමි. එය දීම යනු සත්‍ය වශයෙන්ම විශාල ගේමකි. අපේ අම්මාද පොත් පත් අරං දෙන්නේ නියමිත ප්‍රමාණයට පමණි. කෙසේ හෝ තරංගට තිබෙන අපාසුතාවය දැක මට ඔහුට පොතක් දිය යුතු යැයි සිතුනි. නමුත් එවක අපේ ගෙදර තත්වයද එතරම් හොඳ වූයේ නැත. පොත් පත් කෑම බීම සහ වෙනත් කිසිවක් මඟහැරුනේ නොමැති වුවද ඉගනගන්නා වයසේම දරුවන් 3න් දෙනෙකු සිටි නිවසේ මුදල් පාලනය සරල එකක් වන්නට නැත. මා ඒ පොත ඔහුට දුන්විට ඔහු ඒ පොත මැද පිටුව පෙරළා මුහුනට තබා එහි සුවඳ බැලුවේය.

මට තිබූ පොත් ජාතිය තරමක් උසස් එකක් විය. බාගෙදා වැඩ කල පසු ටීචර් හරි වැරදි බලා පොත් යලිත් බෙදන අවස්ථාවේදී මගෙ පොතත් තරංගට මා දී තිබූ පොතත් පැටලුන අවස්ථාවන්ද ිවය. නමුත් කොළයක් පෙරළූ විගස මට මගේ පොත හඳුනා ගන්නට හැකි විය. මා පොත්පත් කැත කරනවාට දැඩිව අකමැතිය. තරංගගෙ අපිරිසිදු කම් කෙතෙක් වුවත් ඔහු පොත් පත් අපිරිසිදු කරගැන්ම ගැන නම් මගේ කිසිදු මනාපයක් නොවීය. ඒ නිසා මා දුන් අභ්‍යාස පොතද මගේ පොත් මෙන් කවරයක් දමා ඉන් අනතුරුව ඔහුට දීමට වගබලා ගත්තෙමි.

ඉන් පසු දිනෙක මා ඔහුට ලිවීමට පෑනක්ද දුනිමි. එකල පෑනක් යනු විශාල දෙයක ්වුවත් බාගෙට ලියූ මගේ පෑනක් ඔහුට දී මම අලුතින් පෑනක් ගත්තෙමි. මේ පොත් පත් දීම පෑන් දීමට අමතරව ඔහුට වැරදෙන ගනන් කියාදීම මට තේරුන කොටස් තරංගට කියා දීම මා නිතරම තරංග වෙනුයෙන් ඉෂ්ඨ කලෙමි. කුමක් හෝ කරුණක් නිසා තරංග පෙර මෙන් කළහාකාරී බව අඩුකොට යම් සන්සුන් ගතියක් දක්වන්නටද විය. නමුත් මේ වෙනස්වීම ගුරුවරුන්ට එතරම් ගානක් නැත. ඔවුන්ට තරංගලා වැනි පහලම ලෑල්ලේ සිටින කොල්ලෝ හන්දියේ මාලු ලෑල්ලේ මැස්සො ඇහිරෙන්නට පැත්තක දමා ඇති කුනු මාලු බඩ කෑලි මෙනි. වටිනාකමක් නැත. වටිනාකමක් තිබුනත් සැලකිල්ලක් නැත.

දසතින් හමන චන්ඩ මාරුතය එක් රුවලකින් නැවතිය නොහැකි වූවා සේ එක් දිනයක තරංග මගේ මිතුරු තනතුරෙන් ඈතට ගසාගෙන යන්නට තීරණය කර සිටියේය. ඔහු විශාල වියරණ වලින් තොරවම “ මචං මං මහණ වෙන්න යනවා. ගොඩක් උන් හිනාවෙන කොට උඹ මට හිනාවුනේ නැහැ. උඹ මට පොත් පෑන් දුන්නා. ටීචර්ලා කියල දුන්නට වැඩිය උඹ කිව්වම දෙයක් තේරෙනව. ඒත් බං අපේ අම්මයි තාත්තයි මට පංසලක් හොයල තියෙන්නෙ. කොළඹ පැත්තෙ එකක්. මං යනෝ බං. ඒත් කවදා හරි උඹ හම්බුනොත් මං ඕන උදව්වක් කොරනව. සත්තයි. “ දැඩි ස්වරයකින් මං යනවා යැයි පටං ගත්තද ඔහු වාක්‍ය අවසාන කරනවිට වචන සැලෙන්නට විය. ඔහුගේ දෑසින් කඳුලු වැටෙන්නට විය.

වෙන උන් ළඟ තියාගන්නට අකමැති තරංග මගේ ඩෙස්ක් එක ළඟ ඩෙස්ක් එකේ සිටීම මට ගැටලුවක් නැතිවිය. එසේම තරංග මට සිටි අනෙක් යාලුවන් සේම යාලුවෙක්ද විය. සමාරවිට මා ශුෂ්ක පරිසරයේ සිටිද්දී මා ද තරංගගේ මට්ටමේ සිටි අයෙක් නිසා වෙන්නට ඇත. මටත් ඔහු යනවා යැයි කි විට ඔහු මෙසේ හැමතැනින්ම දුප්පත් කම නිසා අවමන් විඳිමින් සිටිනවාට වඩා යන එක හොඳ යැයි සිතුනි. එහෙත් මහණ වන්නට යන එක ගැන මට එතරම් පැහැදිලි අදහසක් එදා තිබුනේ නැත. මහන වන්නට පෙර වසර එක දෙකක් පංසලේ සිට පුරුදු විය යුතුයැයිද රාවයක් තිබුනි.

තරංග මහන වෙන්නට ගියා යනු පාසලේ හැමටම විශාල විහිළුවක් විය. ගමනේ, කතාවේ පමණක් නොව ඔහුගේ හැසිරීමේ පවා කිසිදු අවස්ථාවක සංවරකමක් නොතිබුනු තරංග චීවරයක් දරා සිටින අයුරු මට මනසින් මවාගන්නටත් බැරි වූ චිත්‍රයකි. මට කලින්ම කියා දින කීපයකින් පාසලේ අනික් අය තරංග යන බව දැනගත්තේය. පාසලෙන් නික්මුනු ඔහු සිල් රැක්කාද? සිවුරු හැරියාද මා දන්නේ නැත.

රූප පෙට්ටියේ පුවත් පත්වල අන්තර්ජාලයේ මහත අසංවර පෙනුමැති හැඩි දැඩි සාදුලා සංවරව බණ දෙසන විට මට නිබඳවම තරංග මතක් වේ. සියලු ගිහි සැප අතැර මාලිගා, ගැහැනු, වස්තුව හැරදා පැමිණි සිද්ධාර්ථ පසු කලෙක සත්‍ය වටහාගෙන ලෝකයට සත්‍ය පෙන්වා දුනි. අතු පැළක සිට දුප්පත් කමින් මිරිකී සිටි තරංග සත්‍ය ලෝකයට එකතු වෙන්නට බැරි නිසා වෙනමම සත්‍යක් සොයාගෙන ගියේය.

5 comments:

  1. අන්තිම මොහොතේ සංවේදීබවක් හිතට දැනුණු නිසා කියන්න ගිය එකත් අමතක කරලා දැම්මා.

    ReplyDelete
  2. මෙහෙම මගේත් යාළුවො ඉඳල තියෙනවා. බොහොම අපූරු ජීවිත අත්දැකීමක් .

    ReplyDelete
  3. ගොඩක් දේවල් ලියන්ට හිතට ආවා කියවගෙන යනකොට.
    ගුරුවරුන්ට බනින්ට හිතුණා...
    අමිල ලමයෙක් විදියට කලදේ අගය කරන්ට හිතුවා...

    ඒ හැමදෙයක්ම අමතක උණා අන්තිම කොටස දැක්කාම. හරිම සංවේදියි. කතාවේ පලමුවෙනි කොටස මේ තරම් රසවත් විදියට මට දැනුනේ නෑ. මේ විදියේ අවසානයක් තියෙයි කියලා හිතුවෙත් නෑ.

    //අතු පැළක සිට දුප්පත් කමින් මිරිකී සිටි තරංග සත්‍ය ලෝකයට එකතු වෙන්නට බැරි නිසා වෙනමම සත්‍යක් සොයාගෙන ගියේය. //

    ඔහු ඒ සත්‍යය සොයා ගත්තායැයි සිතමු.


    ReplyDelete
  4. මේ විදිහ ළමයි මට මතකයි පන්ති වල හිටියා... ගුරුවරු අත ඇරලා දාපු ළමයි... ඉගෙන ගන්නත් බැරි, ලස්සනත් නැති, ක්‍රීඩා වලට දක්ෂ ත් නැති, සල්ලි ත් නැති ළමයි.

    ගොඩක් ගුරුවරු කැමති ඉගෙන ගන්න දක්ෂ ළමයින්ට.
    ඒත් ඒක ගුරුවරුන්ගේ අදක්ෂ බව කියල මට තේරුම් ගියේ පස්සේ.

    ReplyDelete
  5. මහත අසංවර පෙනුමැති හැඩි දැඩි සාදුලා සංවරව බණ දෙසන විට ............. Nice One Amila :)

    ReplyDelete

නූතන පටාචාරාවත

විසිතුරු බඩුව ඇය කිසිවිට නැහැ සැලුනේ.. බියකරු වනය බිය නැහැ ඇය වෙත දැනුනේ.. සිය සැමි නැතිය එන මග දරු අහිමි වුනේ.. නැති විය සිහිය ...