Friday, February 7, 2014

කාන්තාවන්ට රැකියා (Jobs For Girls)

පුටු සෙල්ලම
වර්ථමානයේ කාන්තාවන්ට රැකියා ලබාදීම වනාහී කාම සම්පත් ලබාගත හැකි මාර්ගයකි. කුඩා කල සිටම මවගේ පියාගේ සෙවනේ ඔවුන් විසින් නියම කරන ලද වටපිටාවක ජීවත් වන ලාංකික කෙල්ලෝ අවට ලෝකය පුලුල්ව දැකීමේ ආසාවෙන් පෙළෙති. එවැනි කෙල්ලන් හා හාදව ඔවුන්ගෙන් යම් අකටයුතු ප්‍රොෙයා්ජන ගැනීමට කපටි කොල්ලෝ පිරිසක් සැදී සිටිති. එයින් කෙල්ලන්ට අවැඩැක් වෙතැයි බොහෝ පිරිස කීවත් කෙතරම් වටනා මැණිකක් වුව නිවෙසක එකතැන තිබෙන්ට හැරි විට එහි වටනා කම අඩුවන්නා සේ කෙල්ලෝද ගෙයි මුල්ලේ තබා කරකාර බඳිනා තෙක් ගෙදර වැඩට හුරු කිරීම වර්ථමාන සමාජයට ගැලපෙන දෙයක් නොවේ.

හරි හෝ වැරදි කෙල්ලක විසින්, ගැහැනුන්ගේ වැරදි වැඩිපුර සොයන සමාජයේ කුඩා හෝ සන්තෝෂයක් විඳන්ට ආශාවක් ඇත්නම් ඇය විසින් රැකියාවක් කළ යුතු බව මාගේ අදහසයි. එසේ රැකියා නොකලත් හොඳ විවෘතව සිතන මතන ස්වාමියෙක් ලැබීමෙන් ඇයට සැනසීමක් ලැබිය හැකිය. තවමත් ලාංකික අති බහුතර පිරිමියා ආසා කරන්නේ ගෙදර සිට කෑම උයා දෙන,තමුන්ගේ බසට නැමෙන, තනිව තීරණ නොගන්නා, රෙදි සෝදන සාම්ප්‍රදායික ගැහැනියක වන බැවින් බොහෝ රැඩිකල් පිරිිමි තර්කානුකූල ලෝකයේදී ගෑනුන්ගේ නිදහස ප්‍රිය කලත් පුද්ගලික වාසයේදී ආදි කාලීන සංස්කෘතික සීමා අනුව ගෑනු කොටුකර තබන්නට වෙර දරති.

කෝස් තේරීම.


රැකියා යනු පඳුරට ගසන විට වැටෙන තරම් සුලභ දෙයක් නොවේ. එබැවින් රැකියාවෝ ලබාගැන්මට නම් අප විසින් යම් යම් වෘත්තිය කුසලතා ලබාගත යුතුයැ. ඒවා ලබාගනු පිණිස පාඨමාලාදිය රාශියක් ඇත. පාඨමාලා කෙතෙක් තිබුනත් ඒවායින් ලැබෙන සෑම සහතිකයක්ම වැදගත් වන්නේ නැත. එක් එක් ක්ෂේත්‍රවලදී ඒ ඒ ක්ෂේත්‍රයට අදාලව ලැබෙන සහතික වල වටිනාකම තීරණය වේ. උදාහරණ ලෙස ලංකාවේ වෘත්තිය අධ්‍යාපනයේදී...රූපලාවන්‍ය,ගෘහ අලංකරණය,කාර්මික වැඩ, කොන්ඩා සැකසීම ආදිය සඳහා ජාතික වෘත්තිය සුදුසුකම් රාමුවක් හඳුන්වා දී ඇත. ඒ ජාතික වෘත්තිය සුදුසුකම්(National Vocational Qualifications) යනු රටේ පිලිගන්නා සහතිකයකි. එම සහතිකය රජය මගින් නිකුත් කරන එකක් නිසා ජාත්‍යන්තර පිළිගැන්මද වැඩිය. එසේම සිටි ඇන්ඩ් ගිල්ඩ්ස්( City and Guilds) හරහා ලැබෙන සහතික වලද වටිනාකම සාපේක්ෂව වැඩිය.

පරිඝනක ක්ෂේත්‍රෙය් දී වුව නානාප්‍රකාර ආකර්ශනීය දැන්වීම් සෑම තැනම තිබුනත් විශාල මුදලක් ඒ පාඨමාලාදිය සඳහා වියදම් වුනත් ඔබ ලබාගන්නා කුශලතාවය අනුව ඔබට ලැබෙන සහතිකය කුමක්වේද එහි වටිනාකම කුමක්දැයි මුලින්ම සිතා බැලිය යුතුය. රැකියාවට ගොස් කලක් ගතවන විට සහතික වල සැබෑ වටිනාකම අඩු වී අත් වල ඇති හැකියාව මත රැකියාවේ ඉදිරිගමන තීරණය වන මුත් මුල්ම රැකියාවක් සොයන අයට නියමිත සහතික තිබීම වැදගත්ය.

ගාමන්ට් කෝස්.(Textile And Apparels)


විජය කුමාරිය එනවිට කුවේනිය කපු කටිමින් සිටියේ ජිල් ගසන්නට නොවේ. ඇය කපු කටිමින් සිටින්ට ඇත්තේ ඇඳුම් ආදිය විවීමට විය හැක. ඒ නයින් බලන කල අපේ ගෑනුන් රෙදි මැසීමට ගාමන්ට් යෑම සමාජයේ මිනිසුන් අවඥාවට ලක් කලද එදා අපෙ ජාතිය ආරම්භ වූවායැයි අදහන පුරාවෘතයේද ගෑනියෙක් රෙදි සකසමින් සිට ඇත. ලංකාවේ ගම්බද ගෑනුන්ට පේෂ කර්ම ක්ෂේත්‍රෙය් රැකියා ලබාදෙන්නට දිවංගත ජනාධිපති ආර් ප්‍රේමදාස මහතා මහත් වෙහෙසක් ගත්තේය. එතුමා එසේ කරන විට අපේ උතුම් ජාතියේ ගෑනු සුද්දන්ට ජංගි මහන්ට යවනවායැයි සමහර උන් දොස් කීවෝය. නමුත් රැකියාවක් නැති එකා වනචර කමෙහි නොයෙදී අනුන් සතු දේ නොගෙන ජංගිය මහලා හෝ ගන්න තුට්ටු දෙක වඩාත් වටී. තැන් තැන්වල එක එක කයි කෙලිමින් කාලය නාස්ති කරන උගත් බුද්ධිමත් බමුණන් මේ රටට කර ඇති සේවයට වඩා විසාල සේවයක් ඒ පේෂකර්මාන්ත වල යෙදුන යුවතියන් විසින් මේ රටට කර ඇත.

පේෂකර්ම ක්ෂේත්‍රය යනු ලෝකයේම දියුනු කර්මාන්තයකි. අප්‍රිකා වනාන්තර වල, ඇමසන් වනාන්තරයේ ආදී පෙදෙස්වල සිටින සුලු ප්‍රමාණයක් වන ගෝත්‍රිකයින් හැර කිසිවෙකු බොහෝ වෙලාවක් ඇඳුන් අඳින්නේ නැතුව ඉන්නේ නැත. ටික වෙලාවක් නැතුව සිටියද උන් පසුව ඇඳුන් අඳී. එබැවින් ඇඳුන් කර්මාන්ත වල රැකියාවෙහි යෙදීම පිටරට යෑමට සහ පිටරටවල පදිංචි වීමට අවස්ථා ලැබිය හැකි වටිනා රක්ෂාවන්ය. පේෂකර්ම හා ඇඟලුම් යන නම කියන විටම සමහර අයට මතක් වන්නේ මහන ළඳුන්ය. එයද වටිනා රැකියාවක් වන නමුත් පේෂකර්මාන්ත හා සම්බන්ධ අටෝ රාශියක් රැකියාවන් ඇත. සමහර රැකියාවන් වල නිරත වූ අය පඩි ලබන්නේ මාසෙට ලක්ෂ ගනනිනි. මේ ලංකාවේ පේෂකර්ම සහ ඇඟලම් ආයතනයේ අඩවියයි. මේ එහි 2014 වසරේ කාලසටහනයි.

සාත්තු සේවය. (Health and Social Care)


මේ කියන සාත්තු සේවය යනු අර ඉස්පිරිතාල වල අපි කන්නට මෙන් නිතර බනින්ට බලාගෙන සිටින ඇටෙන්ඩන්ට් ලා වැනි සාත්තු සේවිකාවන් නොවේ. රෝගීන් සහ ගිලන් අය බලාගන්නට සිටින සාත්තු කරන කරුණාවන්ත කාන්තාවන් සාත්තු සේවිකාවන් ලෙස හැඳින්වේ. මේ සාත්තු සේවිකාවන් පිළිබඳ උපාධි පශ්චාත් උපාධි පාඨමාලා පිටරට තිබේ.නමුත් ලංකාවේ දොස්තර ගොල්ලා මේ අනෙක් අයට වෛද්‍ය දැනුම ලබාදෙනවාට අකමැති නිසා එවැන් පාඨමාලා මෙරට රාජ්‍ය විශ්ව විද්‍යාල වල ව්‍යාප්ත කරනවාට දොස්තර ගොල්ලා විරුද්ධ වෙති. විකිරණ ශිල්පීන්ට,හෙදියන්ට,සහ ඒ වැන් සේවාවන්ට උපාධි දෙන්නට ඇරඹූ පේරාදෙනි සම සෞඛ්‍ය විද්‍යාපීඪයේ වසර 4 උපාධිය වසර 3කට අඩු කොට ඔවුන්ට කරන්නට හැකි හැම නොපනත් කමම කරන්නට තරම් හැකියාවක් ලංකාවේ වෛද්‍ය වෘත්තිකයන්ට තිබේ. වෙනත් රටකනම් වෛද්‍ය වෘත්තිය යනු හුදෙක් තවත් වෘත්තියක් පමණි. ඔවුන්ට ලංකාවේ මෙන් විසේස චර්ම රෝග ලක්ෂන (කැසිලි) පෙන්නුම් කිරීමට ඒ රටවල ඉඩ නැත.

මුදල් ටිකක් වියපැහැදම් කොට හෝ මේ සාත්තු සේවිකා සහ හෙදි පාඨමාලා හැදෑරීමෙන් ලංකාවේ දීම පුද්ගලික රෝහල් වල රැකියාවක් පහසුවෙන්ම සොයාගත හැක. මේ ආකාරයේ සාත්තු සේවිකා පාඨමාලාවලට වැඩි ඉල්ලුමක් දියුනු රටවල තිබේ. සීයලා ආච්චිලා බලාගන්නා එකේ සිට විශාල රෝහල් වල වැදගත් රැකියාවන් දක්වා වූ පරාසයක් වෛද්‍ය ක්ෂේත්‍රෙය් තිබේ. ඒ බොහෝ වෘත්තින්හි ගැහැනුන්ට වඩාත් ආරක්ෂාකාරී ලෙසත් අධික වැටුප් ලැබිය හැකි ලෙසත් සේවය කල හැකිය. පරිඝනක ක්ෂේත්‍රය ගණකාධිකරණ ක්ෂේත්‍ර,ඉංජිනේරු ක්ෂේත්‍ර. ආදියෙහි සමර්ථ කම් පෙන්වා දියුනු රටවලට රිංගා ගැනීමට බොහෝ වෙහෙසක් දැරිය යුතුය. නමුත් සෞඛ්‍ය ක්ෂේත්‍රයක එතරම්ම වෙහෙසකර නොවන පාඨමාලාවක් සහ වසර කිහිපයක පළපුරුද්ද ඇතිනම් ඒ දියුනු රටවල හොද රස්සා වලට යන්නට හැකිකම අපේ රටේ උදවියටද ලැබේ.

ඉංජිනේරු ක්ෂේත්‍රය.


ඉංජිනේරු ක්ෂේත්‍රය තුල කාන්තාවන්ට ලංකාවේදී නිසි තැනක් ලැබිලා නැත. බොහෝ විට ඉංජිනේරු වරයා යනු ගෑනියෙක් නොව පිරිමියෙකැයි යන මතයක්ද නිර්මාණය වී තිබේ. ඕනෑම ඉංජිනේරු විද්‍යාවක් ගැහැනුන්ටද හැදෑරිය හැකිය. මහා විශාල පශ්චාත් උපාධි උපාධි මට්ටමේ සිට කාර්මික සහකාරි ආදී තනතුරු වලද කාන්තාවන්ට නිරතවීමේ හැකියාව යුරෝපා රටවල සහ අමරිකානු රටවල තිබේ. ලංකාවේ නම් පවතින ආකාරයට සහකාර ඉංජිනේරුවරියන්, ප්‍රමාණ සමීක්ෂකවරියන්, සැලසුම් නිර්මාණකාරියන් වැනි තැන්වල ගෑනුන් සිටියාට මේසන් බාස්ලා,සහායකලා. වඩු බාස්ලා, මෝටර් මැකැනික්ලා,විදුලි කාර්මිකලා අතර නම ගෑනු දකින්නට නැත. ගෑනුන් අතර ලංකාවේ රැකියා හිග වීමට මේ ස්ත්‍රි පුරුෂ භාවය අනුව සමහර රැකියා වෙනස් වීමද බලපා ඇත.

සිවිල් ඉංජිනේරු වැනි ක්ෂේත්‍රයක සහකාර ඉංජිනේරු වරියක් ලෙස පත්වීමට අවශ්‍ය වන්නේ වසර දෙක තුනක ඩිප්ලෝමාවක් සහ පළපුරුද්ද පමණි. ඒ අනුව එවන් තත්වයක් ලබාගන්නට හැකි ස්ත්‍රියක් නිබඳවම මසකට විශාල පඩි පැකට්ටුවකට හිමිකම් කියයි. ගණිත අංශයට අකමැති ගණිතය පේන්න බැරි අයට නම් ඉංජිනේරු ක්ෂේත්‍රය එතරම්ම දිරවන්නක් නොවේ. උසස් පෙළ ගණිතය හෝ විද්‍යාව කල ගැහැනු දරුවන් කෙලින්ම බුග් ගාලා රැකියා සොයන්න යන්නේ නැතිව හොඳ සාමාර්ථ තිබේ නම් දෙමාපියන්ට කාරණා පැහැදිලි කොට මේ වැනි ඉංජිනේරු පාඨමාලාදියට යොමු විය හැකිනම් ඔවුන්ට හොඳ රැකියාවක් ලබාගන්නට හැකියාව ලැබේ.

මා දන්නා එවැනි සහෝදරියන් කිහිප දෙනෙක් රුපියල් ලක්ෂ කිහිපයක් වියදම් කොට දස අතේ ණය වී එවැනි පාඨමාලා හැදෑරුවද ඔවුන්ට පසු කලෙක ඒ වියදම් කල මුදල මාස හය හතකින් හොයාගන්නට හැකි තරම් මුදලක් අතගාගන්ට ලැබුනි. ඉගනීම යනු රැකියාවම නොවුනත් අප වැනි දුප්පත් රටවලදී ආතල් එකට ඉගනගන්නට සැලැස්වීමට තරම් මුදලක් අප දෙමාපියන්ට නැතිය. එනිසා අපි කරන්නට යෙදෙන කුමක් හෝ පාඨමාලාවක් අවසානයේ අපිට කුමක් වන්නේද? මීට පෙර පාඨමාලා කරපු උන් ඇත්නම් උන්ට කුමක් වී ඇතිදැයි සලකා බැලීම වටිනා වැඩකි.

රූපලාවන්‍ය ක්ෂේත්‍රය. (Hairdressing and Beauty Therapy)

තමුන්ගේ රූපය ගැන සෑහිමකට පත්වෙන ගෑනියෙක් ඉන්නවා නම් ඒ ඉතාම කළාතුරකිනි. බොහෝ ගෑනු තමුන්ගේ රූපය ගැන සිටින්නේ කුමක් හෝ හිත් අමනාපයකිනි. ගැහැනුන්ගේ නිතරම පවතින මේ රූප මදය නිසා වසර දාස් ගානක සිට ගෑනු සිය රුව ලක්ෂනට තබාගන්නට වැර වෑයම් කරති. මේ රූපය සැකසීමද ආවට ගියාට කල හැකි දෙයක් නොවේ. එයට මනා කුශලතාවයක්ද නිර්මාණ හැකියාවක්ද තිබිය යුතුය. රූපලාවන්‍යය හුරුවූ අයෙක්ට මනාලියන් හැඩගැන්වීම, කාන්තා සැලෝන් වල රාජකාරි කිරීම. නිවසේ සිටම කුඩාවට ස්වයං රැකියාවක් ලෙස සැලුන් පටන් ගැනීම වැනි දේ කල හැකිය. මේ රූපලාවන්‍ය ක්ෂේත්‍රයද නවීන විෂය කරුණු වලින් සහ නවීන භාවිතාවන්ගෙන් නිතර අලුත් වෙන එකකි. නිසි අධ්‍යනයකින් ආසාවකින් මේ රූපලාවන්‍යය කලාව ප්‍රගුණ කරන්නේ නම් ඒ කාන්තාවන්ට අතට තරමක මුදලක් මෙන්ම මානසික සතුටද නිබඳවම ලැබේ.

මා හොඳින් දන්නා එක්තරා යුවතියක් රූපයෙහි මනා හැඩයත්‍ සතුව ඇති යහ ගුනයත් ඇති සුන්දර ලක්ෂන දුටුවන් කටින් පැණි වැටෙන තරම ලක්ෂන එකියකි. ඇයට රූපලාවන්‍ය දැනුම තිබුනත් ඇය වැඩිදුර ඉගෙනගන්නට ජාතික වෘත්තිය සුදුසකම් පාඨමාලාවට(NVQ) ඇතුලත් වී එයට ගියාය. නමුත් ඇයට එම පාඨමාලාව හදාරන්නට ලැබුන සහෝදර ශිෂ්‍යාවන් බොහොමයක් තාරුණ්‍යයට හොටක් යටතේ යොවුන් සේනාංක නැමැති වැඩපිලිවෙලවල් හරහා අහසින් පාත්වුනාක් මෙන් ඒ පාඨමාලාවට වැටුනු අය වූයේය. ඒ රූප හැඩ කිරීමේ කලාව ගැන මෙලෝ දැනුමක් වත් පුරුද්දක් වත් ආසාවක්වත් නැති අය වූ බව ඇය කීවාය. ඉතිං එවැනි අය ඒ වටිනා පාඨමාලාවන් වලට අහසින් පාත්කර ඔවුන් ඒවා ඉගෙන ගත්තත් එයින් වැඩක් නම් වන්නේ නැත. අත් වලින් කරන ශිල්පයක නිපුන වීමට නම් ඒ කෙරෙහි යම් තරමක හෝ ආශාවක් තිබිය යුතුය.

රූපලාවන්‍යයද නිසි පළපුරුද්ද සහ කුසලතාවය සහතිකව ඇත්නම් ඔස්ත්‍රේලියාව නවෂීලන්තය ආදී රටවලට වෘත්තිකයෙක් ලෙසම පැනගන්නට තරම් වාසනාව සහිත වෘත්තියක් වේ. පැන්නත් නැතත් නිසි ලෙස පුරුදු පුහුනු රූපලාවන්‍ය ශිල්පිනියන්ට විශාල ආදායමක් ලැබීමට කවර පසුබිමකදී වුව අවස්ථාවක් ලැබේ.

මා පරිඝනක කෝස් සහ වාණිජ්‍ය පාඨමාලා ගැන එතරම් කතාකරන්නේ නැත්තේ ලංකාවේ වාණිජ්‍ය විශය ධාරාව හදාරා සහ වාණිජ්‍යය පාඨමාලා හදාරා විශාල පිරිසක් දැනට රැකියා නැතුව උඩබලාගෙන සිටින බැවිනි. පරිඝනක ක්ෂේත්‍රෙය් උපාධියද ලත් ගෑනු කිසිම අදාලත්වයක් නැති තැන්වල ඉතා අඩු පඩියට රැකියාගතව සිටිනවා මම දැක ඇත. ඒ ඔවුන්ගේ ආකල්පමය ගැටලුවක් නිසා විය හැක. නමුත් අපිට ලබාගන්නට බැරි තරම් දරුණු හීන ගැන හීන මවන්නේ නැතුව හීනය මදක් වෙනස්කොට දෑතේ වැඩක් ඉගෙන ගැන්මට හිත හදා ගත හැකි නම් ගෑනු ලමුන්ට වුව වසර කිහිපයකින් කැමති මිනිහා විවාහ කොට ගෙන සතුටින් සිටිය හැකි විමුක්තිදායක වටපිටාවක් ඇතිකරගත හැකිය.

11 comments:

  1. වටිනා ලිපියක්. තම ශ්‍රමයෙන් තම පවුල් නගාසිටුවීමට මෙන්ම රටේ දියුණුවටද හේතුවන දෙයක් තමයි රැකියා. දැන් මං බොහෝ කාන්තාවන් රැකියා හෝ ස්වයං රැකියා කරනවා. වුර්තීය සුදුසුකම් තියෙනවා නම් රැකියාවක් සොයන එක අමාරු නැහැ.

    ඔය කණ නොවෙයි යෝදියේ මේ කණ
    කාන්තාවකගේ වැඩක් නිසා සිදුවූ විපතක්.

    ReplyDelete
  2. //සමාජයේ කුඩා හෝ සන්තෝෂයක් විඳන්ට ආශාවක් ඇත්නම් ඇය විසින් රැකියාවක් කළ යුතු බව මාගේ අදහසයි. //
    එකඟයි. තමන්ට යම් තරමක හරි ස්වාධීනත්වයක් තියෙනවා එතකොට. අඩු ගානේ අම්ම තාත්තට තමන්ගේ මහන්සියෙන් හම්බ කරලා සළකන්න හරි පුළුවන්.

    අමිල කිව් හැටියට ම ඉංජිනේරු සහ පරිගණක ක්ෂේත්‍ර වල කාන්තා නියෝජනය සාපේක්ෂව අඩුයි. ගෑනු ළමයින්ගේ පුද්ගලික රුචිකත්වය උසස් පෙළ ගණිතය වෙනුවට ජීව විද්‍යාව කරන එක කියල මම දැකල තියෙනවා. මේක සමහර විට සමාජ ආකල්ප මතත් රඳනවා. මම ඇස් දෙකෙන් දැකල තියෙනවා අපේ ඉස්කෝලේ හිටි දක්ෂම ළමයෙක් උසස් පෙළ ගණිතය කරනවා කිව්වම මිස් කෙනෙක් "අනේ ගෑනු දරුවෙක්ට පුලුවන්ද ඉංජිනේරු කම් කරන්න - ඊට වඩා හොඳ නැද්ද ඔයා දොස්තර නෝනා කෙනෙක් වෙන එක" කියල කිව්ව හැටි. ඒ ළමය නම් හොඳ වෙලාවට එයාට කැමති ගණිතයම කරලා කටුබැද්දේ බැච් ටොප් හිටන් උනා. මට උනත් සමහර අය කියල තියෙනවා කෙල්ලොන්ට මැත්ස් බෑ කියල. මාත් ඉතින් ඒවා ගණන් ගත්තේ නෑ :D - අම්ම තාත්තගේ සපෝට් එක තිබුණු නිසා. ඒත් හැම ළමයම එච්චර ස්වාධීන නැහැ, සහ හැම දෙමව්පියන්ම එච්චර supportive නැහැ. සමාජයේ ආකල්ප වෙනසක් තමයි වෙන්න ඕනේ...මේ ක්ෂේත්‍රයේ ගෑනු ළමයින්ට role models අඩු කම ලොකු පාඩුවක්.

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ අයට ලංකාවෙ මොඩල්ස් පිටිපස්සෙ යනවාට වඩා හොදයි පිටරට මොඩල් පිටිපස්සෙ යන එක..මොකද ලංකාවෙ මොඩල්ස් වල පෙන්වන චරිතයට වඩා වෙනස් ක්‍රම වලින ්තමයි ඉස්සරහට ඇවිත් තියෙන්නෙ ජනප්‍රිය අය ගැන සලකා බැලුවාම.

      Delete
  3. ඇත්තෙන්ම ඉතා වැදගත් ලිපියක්...!

    අමිල චතුරංගට "ශ්‍රී ලංකා කාන්තා රත්න" ගෞරව නාමය පිරිනැමිය යුතු යැයි යෝජනා කරමි.

    ReplyDelete
  4. වැදගත් ලිපියක් සහෝ. ඇත්තටම ගැහැණු රැකියා සහ පිරිමි රැකියා කියල බෙදීමක් ඇතිකරන එක වැරදියි. නිසි කුසලතා සහ උනන්දුව පමණයි අවශ්‍ය.

    ReplyDelete
    Replies
    1. ඔය රැකියා අතර බෙදීමක් තිබෙන එක කාන්තාවන්ට අඩු වැටුප් ලැබෙන්නටත් හේතු වෙනවා. ඒ නිසාම කාන්තාවන් සහ පිරිමින් යන දෙපාර්ශවයම රැකියා කරන පරිඝනක යෙදවුම් සහායක වැනි තනතුරු වල නිරත ගෑනු ලමයින්ට අඩු වැටුපක් ලැබෙන්න ඒක හේතු වාසනා වෙලා තිබෙනවා.

      Delete
  5. කාන්තාවන් රැකියාවක් කර ස්වාධීන විය යුතුයැයි මම ද තරයේ විශ්වාස කරමි.එතකොට ස්වාමි පුරුෂයාට ඕනෑ හැටියට නටන්ඩ ලැබෙන්නේ නැත.ඔහුගේ අඩම්තේට්ටම් ඉවසාගෙන ඔහුගෙන් කා බී ඉන්න වෙන්නේ නැත.

    කෙසේ උවද මොන ජාතියේ කෝස් කර සුදුසුකම් සපුරා ගත්තද ආයතනයේ ලොක්කාට හෝ දේසපාළුවෙකුට රෙද්ද උස්සා දීමේ සුදුසුකම නැත්නම් ලංකාවේ නිසි රැකියාවක් ලබා ගැනීම පහසු නැත.

    ReplyDelete
    Replies
    1. මා ඔය ගැන කලින් ලිපියකින්ද කියා තිබෙනවා. සැබැවින්ම රැකියා සොයා දෙනවාය, ආයතනයක උසස් වීම් දෙනවාය, තව පහසුකම් දෙනවාය කියලා ලොකු මහත්වරුන් ගැහැනුන් යහනට ගත්තාට බොහෝ ගැහැනුන්ට එහෙම නිදාගැනීමෙන් ලැබෙන්නෙ අවසානෙ නරක නමක් විතරයි.. ඉතාම කළාතුරකින් අවස්ථාවක එසේ කපටි ස්ත්‍රියකට තැනක් ලැබෙනවා වෙන්න පුලුවනි. නමුත් ඒක ඉතාම දුර්ලභයි.. මා නම් කියන්නේ එවන් විටෙක සිහිණුවනින් කටයුතු කලේ නැත්නම් යම් තැනකට ගියත් ඇයට සමාජගත වීමේදී විවධාකාර ගැටලු ඇතිවෙනවා. මම මේ ලිංගික අල්ලස් දීමෙන් රැකියා ගැනීම ගැනම වෙනම ලිපියක් ලියලා තිබෙනවා. දැන් හොයන්න අමාරුයි ඒක.

      Delete
  6. ඇත්ත. තාක්ෂණික අංශයට යොමු වෙන කාන්තාවන් ප්‍රමාණය වැඩි කිරීම හොඳ ආයෝජනයක්

    ReplyDelete
  7. ගොඩක් වැදගත් ලිපියක් අයියේ ,, නියමයි,,

    ReplyDelete
  8. nice work click and see http://tiny.cc/tpz5ax

    ReplyDelete