Tuesday, November 8, 2016

අමද්දියප වියාපාරේ (රැ තෙන්නකෝන් )


දැන් අපේ රටේ අමද්දියප වියාපාරෙ කියන එකක් බොහොම අඬ සැරේට කෙරීගෙන යන බවයි පෙනෙන්නට තිබෙන්නේ. ඒ අහු අස්සේ පටන් ගැනුණු මද්දිය වියාපාරෙ ගෝසාව නම් ඒ තරම් හයියෙන් ඇහෙන්නට නෑ. එහෙත් “පිරුණු කළේ දිය දිය හෙල්ලෙන්නේ නැති, නොපිරුණු ක‍ලේ දිය තිස්සෙම කච කච ගා හෙහල්ලනවාය “ කියන කතාවක් රටේ රටේ තියෙන්නා වාගේ මේ බොහොම සද්දෙට කෙරෙන අමද්දියප වියාපාරෙට වඩා කිසි අඩහැරයක් නැතුව කෙරෙන මද්දිය වියාපාරෙන් හුගක් වැඩ කෙරීගෙන යන බව අවුරුදු පතා මාස්පතා හින්දවෙන රා අරක්කු කල ගණනෙන් බෝතල ගණනෙන් පෙනී යනවා.

මේ අස්සේ අමද්දියප ව්‍යාපාර හමුදාවේ එක බළඇණියක උදවිය මද්දිය වියාපාරෙටත් යටි පිටින් හවුල් වෙන බවක් පෙනෙන්නට තිබෙනවා. මේ අමද්දියප වියාපාරෙක තැබෑරුම් වැසීමේ උස්සවයකට ගිය අපේ රතු මාමා රෑ ගෙදර ආවේ හරි හැටිම අමද්දියප සංගරහ විඳලා සිහසන් නැතුවයි. රෑ එළිවෙන කල් උන්දැට සාත්තු සප්පායම් කළ අපට සිදු වුණේ උන්දෑ ගේ කොළ බොක්කේ පිරී තිබුණු අමද්දියප පල් අරක්කු නැළි හතරක් විතර බස්සා හැරීමයි. එහෙත් ඒ වැඩේට මෝඩ ඇළ ඉඩ මදිවුණු නිසා පාන්දර වන විට මේ අරක්කු කොළ බොක්කෙන් පිට බින්දලා වාන් කටත් බිඳගෙන උතුරා ගියා.

උදේ සීසන් ලැබුනු රතු මාමාගෙන් “ ඇයි මාමණ්ඩියෙ අමද්දියප මංගල්ලෙට ගිහින් ඔහොමත් නොසෑහෙන්න ‍භීවෙ” කියලා අප ඇහුවාම උන්දෑ කීයේ පුදුම කතාවක්. මේ ළඟදී පොරසිද්ද තැබෑරුම් ගණනාවක් වස්වාදැමූ අමද්දියප නායකයකු මුඩුක්කු හයක හොර අරක්කු වෙළඳුන්ට තෑග්ගට දුන් අරක්කු බෝතල තිහ දුසිම් ගණනක් කරන්න හිතාගෙන අමද්දියප පෙර පෙරහැරේ නටන්නටත් එක්ක විළිලජ්ජා දෙක හේදිලා යන කල්ම රතු මාමයි අර අමද්දියප වීරයයි තවත් දෙන්නෙකුයි හින්දෙව්වාලු බෝතල පහ හයක්ම. මේ විදියට බැලුවාම අමද්දියප වියාපාරෙත් ඒ හැටි පාඩු වැඩක් වෙන්නට පිළිවන්කමක් නෑ.

වස්වන වස්වන එක එක පෙරසිද්ද තැබෑරුමට අප්පොරසිද්ද තැබෑරුම් පහ බැගින් විවුරුත වෙන නිසා මේ එළිපිට කෙරෙන අමද්දියප වියාපාරෙන් ඒ හැටි පාඩුවක් වෙන්නේ නෑ. ඇරත් මේ ආවරණ තැබෑරුම් විවුරුත කරන්නෙත් අමද්‍යප වීරයන් ම නිසා ඒකට තොරණ හේවිසි, පාවාඩ, මල් මාලා ආදී ඕනෑ කරන්නෙත් නෑ. පොරසිද්ද තැබෑරුම්වල තිබෙන පල් අමු අරක්කුව මිනිස්සුන්ගේ පානයට සුදුසු නැති නිසා මේ හොර තැබෑරුම්කාරයන් ඒවා මිනිසුන් හට දෙන්නේ ගම්මිරිස් මුල් කසාය, පින්න මුල් කසාය, කුනුදිය බාල්දි කසයා වගේ එකකින් බාල කර විස මරාලයි. ඒ අතින් බැලුවාම අමද්දියප විජ්ජාව රජයේ අමද්දියප විජ්ජාවට වඩා සැනසිලි දායකයි.

මේ අතරතුරේ කෝපි අවදියේ මහා අමද්දියප සේනාපතියකු වී සිටි අපේ මහ අධිකාරම් තුමාගේ රජය එදා පොරසිද්දියේ කල අමද්දියප වියාපාරේ දැන් පෝරිසාද රජ්ජුරුවන්ගේ මස් කෑම වාගේ රහසින් කරගෙන යන බවක් පෙනෙන්නෙ. අමද්දියප වීරයන් දන්නවාට වඩා බණ දහම දන්නා අපේ මහ අදිකාරම්තුමා හොඳ හැටි තේරුම් ගෙන තිබෙනවා තැබෑරුම් වස්සනවාට වඩා කටවල් වස්වන එක හොඳ බව. වස්වන කට ආයේ අරක්කුවට විතරක් වස්සවන්නේ මොකටද කියලා හිතූ අපේ නිදහස් ආණ්ඩුව දේසපාලන ගෝසා, නැති බැරිකම් කියා කෑ ගහනගෝසා ආදී කොයි එකටත් එක්ක කටවල් වස්සවන්නට පටන්ගෙන තිබෙන බවයි පෙනෙන්නෙ. දරුණු විස නො මැරූ අමු අරක්කු ඇරගෙන ඒවාට ඒවාට නොඑ‍ක් පොරමාණෙට පල් දියර හාමු කරලා ගිනි වතුර පදමට ආවාම බෝතලවල අහුරා තැබෑරුම්වලටත් ඒ තැන් මගින් හොර අරක්කු ගබඩාවලටත් යැවීම තමා ඒ අමද්දියප වියාපාරෙ. මේ ගිනි වතුර අරක්කු ටික දවසක් බීගෙන යන කොට මිනිසුන් ගේ කටවල් විතරක් නෙවෙයි ඇස් කන් නාස් ආදිය ද ආයේ නෑරෙන හැටියට වැහිලා යන බව ඒ රජ මහ අමද්දියප වීරයන් දන්නවා. තමන්ගේ සියලු ආරස්සා සංවිදානේ රජයට පවරා රජය අදහාගෙන හිටලා පුරුදු වූ රට වැසියා “ දැන් ඇත්තේ නිදහස් රජයක්ය,” කියන එකක් ගැන කල්පනාවක් නොකොට වෙනදා පුරුද්දට මේ ඇට්ටකුනා කරපු විස අරක්කු බොනවා. එයින් ඔහුගේ කට වැහෙන එක කියන්න ඕනෑ යැ?

මේ රටේ අමද්දියප වියාපාරෙ සිදුවෙන්නට ඉඩ ඇරලා පිට රටේ ඇවිදීමට වැඩ වදාළ අපේ මහ අදිකාරම් තුමා වැඩ කරන්නේ ඒ පිළිවෙළට ද? ලක්වැසියා වෙනුවෙන් බුරුමයේ පෙනී සිටිනා ‍බවුද්ද මහෝපාසක ලංකා තානාපති තුමා අපේ මහ අදිකාරම වෙනුයෙන් පැවැත්වූයේ කොක්ටේල් ද ද මොන ටේල්ද මා දන්නේ නෑ, ඔන්න ඔහොම නමක් ඇති සැලැකිල්ලෙකි. ඒකට මද්දිය සංගරහය කියන බව මේ ලංකාදීප පත්තරෙන් මා ඉගෙන ගත්තා. ඉතින් බලමු බුරුම විහාරයක් ළඟ දී සිගරැට්ටුවක් නූරන තරමට දමනෙ වෙච්ච අපේ ම‍හෝපාස මහ නිලමේ තිමු ගියේ ඒ වගේ සිල්වත් බවුද්ද මහෝපාසක තුමකු විසින් පවත්වන ලද මද්දිය මංගල්යකටයි. ඇයි බුදුනුත් දවසක් දා හාමුදුරු කෙනෙකුගෙන් ඇහුවා නොවැ. “උන්නාන්සේ හිතා ගෙන ඉන්නෙ මා සික්කා පද පමුණුවන්නේ මටත් එක්කය කියලා ද “ කියා ඒ වගේ අපේ මහ අදිකාරම් තුමාටත් අහන්නට පිළිවන් “ අපි අමද්දියප වියාපාර කරන්නේ අපිටත් එක්කද? “ කියාලා අපේ රතු මාමා ගේ පශු පශ්චාත් අමද්දියප ගෝසාව ඇහිලා එතනට පැමුණුණු ටිකිරි මාමා දෙසන්නට පටන් ගත්තා දිගට හරහට, අනේ ඇත්තට මා ඒ වෙලාවේදී සිටියෙ කනේ ඇඟිල්ල ගසාගෙනයි. උන්දෑගේ දේසනාවෙ අග හරියෙන් ටිකක් මෙන්න මෙහෙමයි. 


මේ අමද්දියප වීරයන් කියන ... .. න් දන්නේ නෑ උන් කරන්නේ මොනම ආගමක වත් නැති පිස්සු වැඩක් බව. හොර හරක් මැරීම, සිය දිවි නසා ගැනීම, ගෑනු දරුවන් හට වද හිංසා පැමිණවීම. කට්ට කයිරාටික කම, ආදී ජන සමාජය නැති කරන ඇඳ මකුණන් වැනි දහසක් දුසිරිත් ඉහ වසා බෝවෙද්දී අරක්කු කඩයක් රා මඩුවක් වැස්සීමේ තේරුම මොකද්ද? මුන් කියනවා සියලුම පව්වලට මුල සුරාව ය කියාලා. එහෙත් බුදුන් වදාරනවා ඒ සියල්ලට මුල අවිජ්ජාව ය කියන එක. ඉතින් කොයි එකද අපි බාරගන්නෙ, මුන් කියන එකද ? එහෙම නැත් නම් බුදුන් වදාරන එක ද? බුදුන් හටත් ‍වඩා බුදු ඇස පෑදුණ මුං බුදු තාත්තලා ද ඒ පුතාගේ කීම අහක දමා මේ බුදු තාත්තලා කියන එක අහන්න.? එහෙත් කොයි රුසියාට ද කොයි අමද්දියප වීරයාට ද කොයි පැවිද්දා ට ද පිළිවන් බුදු වදන අමුතු කරන්නට? බුදුන් කී ලෙසකට පිළිපැදලා අන්ත දෙකට නොගොහින් සිටිනා එක නේද බුද්ධාගම් කාරයෝ කරන්නට ඕනෑ? එහෙම නැති ව නිකම්ම බුදුතාත්තලා වෙන්න හැදුවාට වැඩේ හරි යයි ද? මොකද්ද‍ බොල රත්තො , ඔය වැඩේ තේරුම? ඕක හරියට අතීසාරෙට අමුඩ ගැසිල්ල වාගේ එකක් නේද? ඒ මදිවාට රජයේ තවත් අමද්දියප වීර උස්සවේ. දැන් මානුස්සයෙකුට සැකක් බියක් නැති ව බොන්නට තියෙන්නේ පිටරටකින් එන බීමක් විතරයි. ඒ වායිනුත් හොඳම එක තමා විස්කි කියන ජාතිය. ගහේ බඩු ළඟට හොඳම එක තමා ඒ. ඉතින් ඒකත් මිනිහාට සුළුපටු මුදලකට ඇරගෙන බොන්නට ඉඩ තුබුයේ නෑ. මේ අමු අරක්කු රජය මොකක් දෝ එකකින් රේගුවේ රැඳී තිබුණු විස්කි බෝතල ගණනකට ම රජයේ මුලාදෑනීන් කලා යයි කියන නිග්ගරහය ඇහුවාම කවුරු ද අපට හිනා නොවෙන්නො? ඔන්න ඔහොම වැඩවලට තමා බල්ලා පිදුරු කන්නෙත් නෑ කන එකෙකුට දෙන්නෙත් නෑ කියන කතාව කියන්නෙ. හැබෑටම විස්කි බෝතල චීන පටස් ගැහිල්ලේ තේරුම මොකද?

මේ අමු අරක්කුව නොබී ඒ හොඳ විස්කි ටිකක් කලාතුරකින් වත් ඉඩක් පෑදුණු වෙලාවේ අඩු මුදලකට ඇරගෙන මානුස්සයෙකුට බොන්නට ඉඩ දුන්නා නම් ඇතිවන පාඩුව මොකක් ද? බොන මිනිහාත් අඩු මුදලට හොඳ දෙය ඇරගෙන බොනවා. රජයටත් ඒකෙන් කීයක් හරි ලැබෙනවා. කාටත් ඒකෙන් හොඳක් මිස නරකක් සිදු වන්නේ නෑ. ඒ ඔක්කොම තියෙද්දි රජයේ නිලදාරීන් කලේ මක්කා ද? දුප්පතකු අඩු මුදලට හොඳ දෙයක් ලබාගන්නවා උහුළන්නට බැරි ඉරිසියාව පිරිමසාගන්නට අර වටිනා දේ වනසා දැමුවා. මෙහෙම ඉරිසියාකාර කුඩු කේඩු මිනිසුන් ලොකු කම් කරන රටේ නොවැ හැබෑටම අපත් සිටින්නේ. ? සී සී අනේ හැබෑටම මට ‍හෙම බලයක් තිබුණා නම් කරන්නේ ඒ විස්කි බෝතල වරායේ කොටු තාප්පේ ගහන වෙලාවේ දී අමු අරක්කු බෝතල ටික්ක ඇන්න ගොහිල්ලා ඒවා එක එක ඒ උදවිය ගෙ ඔළුවෙ ගහන එකයි. බලමු පරිස්සමට තුබූ යකඩෙ ඈලියාවට හිටිය වගේ මහජනයා ගේ යහපතට සුබ සිද්දියට තිබාගත් රජය මහජනයාට විපතට හිටි හැටි! !

දැන් ඉතින් කරන්නට තියෙන්නෙ මද්දිය ඕනෑ කරන උදවිය එකතු වෙලා වෙන වෙනම ජනපද පිහිටුවා ගැනීමයි. ඒ ජනපදවලට අමද්දියප වියාපාර කාරයන් වැද්ද නො ගෙන මැලේරියා මදුරුවන් දුරු කරන්නා වාගේ උන් පළවන්නට ඕනෑ. ඉරිසියා, කොරෝද, මද, මාන, තණ්හා ආදියෙන් බරිත වෙවී සුරාව පමණක් දුරු කරවීමෙන් මිනිසුන් දැන්ම නිවන් දක්වන්නට හදන මේ බුදු තාත්තලට නිවන පැත්තෙන් අඩවියක් පිහිටුවා ගන්නට කියන්න ඕනෑ. ඒ අයගේ හිතේ ඒ අය පමණයි බණ දහම දන්නෙ කියා, තමන් අදහන ආගම හැමෝටම බලෙන් ගැන්නීමට හිතීම තදබල වරදයි. හැමෝටම ඇත්තේ එක තාත්තයි හැමෝටම ඇති විය යුතු එක ආගමයි කියන මිනිසුන්ගේ කාලෙ ගෙවුනෙ බුදුන් උපදින්නටත් ඉස්සර වෙලායි.

ටිකිරි මාමා මේ විදියට දේසනාව කරගෙන යන කොට රතු මාමා අමද්දියප මංගල රුදාව ටිකක් බාල වුනු බව පෙන්නා හේන පැත්තට ගිය නිසා මාත් ඒ පැත්තට ගියා.

1950 දශකයේ ලංකාදීපයේ පළ වූ රැ තෙන්නකෝන් මහතාගේ ලිපියකි.

2 comments:

  1. නීත්‍යානුකූල මතට තිත යනු නීතිවිරෝධී තිතට මත ය.

    ReplyDelete