Wednesday, July 18, 2012

පිටදෙනියෙන් ඇලි බලන්න (Waterfalls at Sinharaja)

සිංහරාජෙ හරි ලොකු කැලයක් නෙමෙයි. අතනින් මෙතනින් කඳු කීපයක් උඩ තියෙන කැලෑ පටි කීපයක් තමයි සිංහරාජෙ කියන්නෙ..යාල වගේ මහා විසාල අතරමං වෙන්න තරං අලී පත කැල මෙහෙ නැහැ කියල තමයි මට නං හිතෙන්නෙ..
අපිට සිංහරාජයට ඇතුල් වෙන්න මාර්ග ගණනාවක් තියෙනවා. ඒ මාර්ග වලින් අපි තෝරා ගත්තෙ පිටදෙනිය වන නිවහන. මේ වන නිවහනට ගිහිං බලන්න තැන් ගොඩක් තියෙනවා. දිය ඇලිම තියෙනව පාලහක් විතර. මීට කලිං ඒ ගිං ගඟ හා අවට ඇති ේම පිටදෙනිය අවට බලපු අයිය කෙනෙක් මෙතන විස්තර කියල තියෙනවා.


දැං ඉතිං දෙනියායට ගිහිං පිටදෙනිය වන නිවහනට යන හැටි එතනින් පයිං යන හැටි ආදිය විස්තරත් බුක් කරගන්න ඕනිනං කරන්න ඕනි වැඩ ටිකත් අර ඉහල තියෙන ලිංකු ඔබල බලාගන්න පුලුවනි.


පිටදෙනිය වන නිවහනට යන පාලම..
ඉතිං මේ ඇවිල්ල අපි එක්ක ගියපු බාන්ඩයක් නම් නෙමෙ..ස්විස් පාරක්..තනියම ඇවිත් තිබුනෙ.. මේකි ගහක මොකද්ද ගැටයක් වගේ එකක් දිහා බලල මට ඒක පෙන්නල ඩිඩ් යූ සී ස්නේල් කියල ඇහුවා. මාත් ඉතිං නොදන්න බැරිමරගාතෙ ඕ වට්ස්ද නයිස් ස්නේල් කිව්වා.. මට කලිං මේ සුද්දිව ටෝක් කරන්න පොරක් ගියා. ඌට ටිකක් බයවෙල තිබුනා. ඒත් මට නං සුද්දි මකුලුදැල්,ගොලුබෙල්ලො,මල් හෙම පෙන්නුවා. මං කිව්ව කොළඹ ඉන්නෙ උං මීට වඩා පොඩියි කියලා. ඒයත් කිව්වා ස්විස් වල බයෝ ඩයිවර්සිටියම අඩුය. ගොලු බෙල්ලො මේ තරං සයිස් උං නං නැතිය. කුඩා උන් ඉන්නවාය කියලා.

ස්විස් රටේ ගහ කොල උනත් බලපු බලපු පැත්තෙ එකම වගේය කියලා අපි එක්ක ගිය සැට් එකේ ස්විස් වල ටේනින් එකකට ගිහින් තිබුන යාලුවෙක් කීවා. හැබැයි ඉතිං මුං තමයි ගෑනු නං ගෑනු...එකක් මේ ගෑනු හැට පැන්නත් ටයර් අනංමනං නැතුව සුවිට් ලුක් එකට ඉන්නවා අනික තමයි යකාටවත් බය නැතුව ලංකාවට ඇවිල්ල තනියම ඕනි රෙද්දක් අස්සෙ රිංගල බලනවා.. ඒකට අපේ බඩු.. ඇලක් බලන්න එක්ක යන්නත් වරු ගානක් ටෝක් කරන්න ඕනි..

මං අර කලිං කියපු බ්ලොග එකේ අය යනකොටමේ පාලම තිබිල නෑලු..පස්සෙ තමයි මේක හදල තියෙන්නෙ.. පාලමේ මෙහා පැත්තෙ තමයි වන නිවහනතියෙන්නෙ. අපි ඒකට බඩු උස්සං එන්න ඕනි. මං ඉතිං කටු කන්න ටිකක් පුරුදු කාරය නිසාමං ගත්ත ලාම්පුතෙල් ලීටර දහය. ලාම්පුතෙල් ලීටර දහයත් අරං තව අතක තව බෑග් වගේකුත් අරං.. මහ රෑ නවයට විතර තමයි අපිමේ පාලමෙන් එගොඩ වෙන්න ආවෙ. එතකොට කලිං යන එක්කෙනා ගියාම පස්සෙං යන අපිත් ගැස්සෙනවා... මාර බය හිතෙනවා.

මේ සුද්දි යන්තරෙත් මේකෙං එනකොට බයවෙලා බිරාන්තට්ටු වෙලා ටික වෙලාවක් හිටියා පාලම ගැස්සෙනකොට..


ඌරුබොක්ක නවාතැන..
අපි කලිංම ගියෙ ඌරුබොක්ක පැත්තෙ අපේ සහෝදර සේවක මහත්තැන් කෙනෙකුේග ගෙදර..එහෙ තිබුනා ශක්තිජනක පානයක්. කිතුල් ගස් වලිං ගන්න පානයක්. ඒක බොන් ගමං අපිට කන්න වැව් මාලු බැදල මඤ්ඤොක්කා තම්බල තිබුනා. අපරාදෙ කියන්න බෑ මඤ්ඤොක්කා කන්න හදල තිබුන පොල් සම්බෝලෙ නං පංකාදුයි. පෙට්ටි මිරිස් දාල ගලේ අඹරල හදල තිබුනෙ. ඉතිං ඒව කකා අර ශක්තිජනක පානය බිබි අපි පැයක් දෙකක් ගතකරල බත් ටිකක් කාල කිරිපැනි හෙමත් කාල උගුර ගාවට එනකල් කොටා බාල තමයි පලවෙනි දවසෙ අපි දෙනියායට එන්න පිටත් උනේ.. ඒ තරං වරුසාව කාරිය නැති නිසා කූඩලු කරදරේ සැරට තිබුනෙ නෑ.
ඉතිං මේ තියෙන්නෙ අර සුද්දි වහන්සෙ ඉන්න තැන ඉදං ගත්ත පිංතූරයක්. මේ හරියෙං යන්නෙ ගිං ගඟ සහ එහි ශාඛාවන් තමයි. මට ගූගල් මැප් එකේ තැන පෙන්වන්න විදියක් නෑ. ඒකෙ සර්ච් වෙන්නෙ නැ හරිම ලොකේෂන් එක. සෝක් වතුර ඩිංග නිල් පාටට තියෙනවා. මඩ සුට්ටක් නෑ ආසාවට බේතකට. අපි නෑවෙ දවසට දෙපාර සමාර වෙලාවට.. මේවයි වතුරට මට නං චූ කරන්නත් ලෝබයි. මොකෑ ඉතිං ඒ තරං පිරිසිදු නෙව..
මේ අපි නැවතුන තැන ඉඳලා තියෙනව ටිකක් ගම්මානයක් මැදින් පාරක් කිලෝමීටර හතරක් විතර. අපිට ඒකෙ යන්න ගයිඩ් උන්නැහැ කෙනෙක් ලැබුනා. හම්මේ තියෙන ඇලි කන්දරාව. මේක මොකද්ද අරක මොකද්ද කියල බලාගන්න බැරි තරං දිය ඇලි..ඔක්කොම මෙතන දහයක් විතර මයෙ හිතේ දියඇලි විතරක්. වතුර සී තලයි. පුදුම ආතල් එකක් තියෙන්නෙ. යාලෙ ගියාම අලි බැලිල්ල ඇති වෙන්නෙ නෑ වගේ මෙහෙ ආහම ඇලි බැලිල්ල ඇති වෙන්නෙ නෑ..

මේ තියෙන්නෙ දිය ඇලි. මේ දිය ඇලි වල තියෙන ගැම්ම ආයෙම ඉතිං විස්තර කරන් බෑ. ඒකෙ තියෙන ආතල් එක ගන්න නම් ඉතිං ඒ තැන් වලට යන්නම වෙනවා. එක ලඟ තියෙන ඇලි ගාන වැඩි නිසා මොකක් වැඩිපුර ලස්සනද කියලා හිතාගන්න බෑ..
මේ අපි අරං ගිය කෑම. මයියොක්ක කිලො ්ෙදකක් විතර තම්බගෙන. ඉන් පස්සෙ ගම්මිරිස් කුඩු පෙට්ටි මිරිස් ලුනු රතු ලූනු තව පාර්සලේක දාං ගියා. දිය ඇලිවල සීතල දැනෙන කොට අපි ගල් උඩ වාඩිවෙලා කකුල් අතගගා මයියොක්කා කෑවා. කාලෙකිං ඇවිදින නිසා කස්ටියට කකුල් අමාරුව හැදිල තිබුනෙ. ඉතිං මේ මඤ්ඤොක්කා ටික නං වෙලාවෙ හැටියට දෙයියො දැක්ක වගේ.




මේතමයි පලා පොළඟා කියන සතාගේ සමීප ඡායාරූපයක්. මෙතන පලා පොලඟ ගෙ සමීප දසුනක් ගන්න මම පාත්වෙලා කාරිය සැට් වුනා. එතකොට මගේ මිතුරෙක් මාව බය කලා මේ සතා විසකුරු එකෙක්ය මූ කන්නේ ඇඟට පැනලාය කියලා. ඉතිං ඇඟට පැනල කෑවොත් කියන බයට කැමරාව ගැස්සුනා. කැමරාව කියන්නෙ ඉතිං පෝං කැමරාව තමා..






මේ තියෙන්නෙ ගල් ඔරුව කියන තැන. උඩින් එන විසාල ජල දහරාවක් මීටරයක් විතර උඩින් පලල මීටර පාලහක් විස්සක් ගැඹුරු තැනකින් ගලාන යනවා. මේ ගල් දෙබොක්කාව අතරිං ගලායන එකට කියන්නෙ ගල් ඔරුව කියලා. ගල් ඔරුව නම් බය හිතෙන තැනක්.දැං මේක ලඟ තිබුන ගහක් මේක හරහා ඇද වැටිලා. මහ සැර වතුර පාරක්මේ ගල් පොතු දෙක අතරින් පහලට ගලා බහිනවා දැඩි බෑවුමක් යටතේ..
 මේ තියෙන්නෙත් ගල් ඔරුවෙ පිංතූරයක්. මං වීඩියො එකකුත් ගත්තා. ඒත් ඒක දාන්න කලිං කල යුතු එඩිටිං කටයුතු ටික අමාරුයි . අනික ඒක කලිං අයිය කෙනෙක් දාල තිබුනා..
මෙ තියෙන්නෙ මෙදේරිපිටිය හරියෙ තියෙන සූටි පාලමකින් අපේ රථ වාහනය ගන්න ආකාරය. බොහොම පොඩි පාලමක්. හරි අමාරුවෙන් තමයි මෙතනින් වාහනයක් ගන්නෙ.. 


මේ පිටදෙනිය කඳවුරේ ඉඳලා අර ඇලි තියෙන වනාන්තරයට කිලෝමීටර පහක ්විතර තියෙනවා. තේ දලු අදින ටැක්ටරයක අයියා කෙනෙක් අපිට පොඩි ලිෆ්ට් එකක් දුන්නා. එයාටත් තෑන්ක්ස් වෙන්න ඕනි..
ලියනවා නං ගොඩායි. ඒත් ඉතිං ගොඩක් විස්තර අන්තර්ජාලයේ තියෙනවා..සර්ච් කලොත් සිංහලෙන් සහ ඉංගිරිසි වලිං..ඒ නිසා මං මේවායේ තියෙන වටිනාකම ගැන කියන්න යන්නෙ නෑ..


ඒත් ඉතිං මේ පැත්තෙ ඇත්තොන්ගෙ ආර්ථිකේ නම් මේ දවස්වල තේ ගස් නිසා හොඳ වෙලා තියෙන්නෙ. ඩයලොග් ටීවි ඇන්ටනා හැම ගෙදරම. කොහොම උනත් වන සංරක්ෂකයො මොන බයිලාව කිව්වත්. තේ වතු විසින් දිගින් දිගටම සිංහරාජය මායිම් අත්පත් කරගෙන යමින් ඉන්නවා කියල තමයි මට හිතුනෙ. කැලේ මායිමේ යන්තං පර්චස් එකක තේ කෑල්ලක් දා ගත්තම කාලෙකින් ඒ තේ පර්චස් එක අක්කරයක් කරගන්න එක මහ ලොකු දෙයක් නෙමෙ..
 අනික එක එක ටිකට් කවුන්ටර ගොඩනැගිල් ඉදිකරල ඒ තැන් විනාස කරන්න අපේ වනසංරක්ෂකයොත් ලොකු වෙහෙසක් ගන්නවා පෙනුනා. මේ දිය ඇලි බලන්න යන තැනටත් මොකද්ද කවුන්ටරයක් අටවලා ටිකට් දෙන්න හදනවා. මොන දේ කලත් ඒ සංවේදී පරිසරය ගැන තව ටිකක් හිතනවනං හොදයි කියලා  මට අවසාන වශයෙන් හිතුනා..

Saturday, July 14, 2012

පිටකොටුව සවාරිය.

අද හොඳ දවසක්. උදේපාන්දර මගේ යාලුවො වෙච්චි නංගිල දෙන්නෙක් අතරමගදි හමු වුනා. එක්සෑම් එකකට කොළඹ ආපු පහුගිය මාසෙක දවසක මං කටුගෙට ගියා. පරණ දේවල් බලන්න විතරක් නෙමෙ කටුගෙවල් කියන්නෙ මොකද්ද කියන එකත් බලාගන්න. දැකපු ගොඩක් දේවල් ශෝචනීයයි. වර්ගපූර්ණිකාව ගැන බලල ඉතිහාසය ගැන අපේ පුරාණය ගැන දුක්වෙනවා වගේ දුක්වෙන්න තැන් බෝමයක් අපේ කටුගේ අපිට පෙන්නල දෙනවා සහ දීල තියෙනවා. 

කටුගෙට ගියාම නංගල දෙන්නෙකුත් ආව කොල වගයක් ලිය ලිය හොඳට පෙට්ටිවල තියෙන දේවල් බල බල මාර ඇඩ් එක. ඉතිං මං කතා කරල ඇහුවා ඔයාල කැම්පස්ද අනං මනං විස්තර. එයාලත් ආඩම්බර ලයින් එකක් දීල මාව ටිකක් චාටර් කරන ගමං විස්තර කිව්වා. පස්සෙ බලල ඉවරවෙලා අර මැරිච්ච සත්තු ගස් තියෙන ස්වාභාවික විද්‍යා එකට යන්න මං හැරිල ආව වටෙන්. ඇවිත් එහෙ මෙහෙ ටිකක් කැරකි කැරකි ඉන්නකොට නංගිල දෙන්න ඉන්නවා ගහක් යට බංකුවක.

ටිකක් කටකාර නංගි මගේ පැත්තට අත වැනුවා මාත් ගියා ගිහිං පොටෝ එකක් අරං දුන්නා ඒ දෙන්නගේ. එයාල කොළඹට ආසන්න කැම්පස් එකක. රිසච් එකකට ඇවිත් තිබුනෙ. ඒ පාර මං ඉතිං ඒ දෙන්නට තේ වතුර එහෙම අරං දුන්නා. අරං දීල අපි තුනම ගියා ස්වාභාවික විද්‍යා කෞතුකාගාරය බලන්න.

ඉතිං ඉන් පස්සෙ දෙගොල්ලන් දෙපසට වෙන්වෙලා ගියා. 
අද හමු වුනාම මං ඇහුවා. ඇයි ඔයාල කෝල් එකක් වත් දුන් නෑ නේ කියලා.
එතකොට නංගිල දෙන්න මූන දෙක බලාගෙන කෝ ඉතිං ඔයා නම්බර් එක දුන්නෙත් නෑනෙ කිව්වා.
පස්සෙ මං එවෙලම නම්බර් එක ඉංගිරිස්සියෙන් කිව්වා. කටකාර නංගි කිව්වා. අපිට සිංහල එක කියන්න කියලා. ඒ පාර සිංහලෙනුත් කිව්වා. මං හිතන්නෙ දිගටම ගෙදර ඉන් කම්මැලි ඇති. දැං සති කීයක්ද කැම්පස් වැහිල්ලට. ගෝල් පේස් යනව කිව්වා. සමාරවිට දැනුත් එතනට වෙලා ඇති. මාර ආතල් ඩබලක්. 

ඉන් පස්සෙ මට මගඇරුන අමතුමක් දීල තිබුනා. මග ඇරුන අමතුම දුන්නට මොකැ මට ඒ දෙන්නගේ නම් දෙකවත් මතක නෑ...ඒ පාර කෝ කරලා නම අහ ගත්තා. පස්සෙ කතා බහ කරල බලන්න ඕනි. සාමාන්‍යයෙන් එහෙම බස්වල අතන මෙතන අහම්බෙන් හමු වෙන අය ආයෙත් අහම්බෙන් හමුවෙන්නෙ ඉතාම කළාතුරකින්. 

පිටකොටු ගමන..

අද වැඩට ආවට ඒ තරං වැඩකුත් නෑ වගේ. පොඩ්ඩක් පිටකොටු පැත්තෙ රවුමක් ගහන්න ඕනි කියල හිතිල බස් එකක නැගල ආව පිටකොටු දිහාට. සමහර අපේ රියදුරු මහත්තුරු සතියෙ දවසටත් මෙහෙ මයි වැඩ නැති වෙලාවට. ගෙවල්වලටයි සමහරු ගමේම ඉන්න අයටත් බඩු ගෙනියන්නෙ මෙහෙන්. ඒ අතර ඉතිං මෙහෙං අඩුවට කෑලි තුනහතරක් අරං ගම දිහා පොඩියක් වැඩි ගානකට විකුනගන්න අයත් ඇති.

මගේ අතබනුව දමාගන්න කවරයක් ගන්න කියල ගියා පලවෙනි හරස් වීදියෙ ට්‍රාන්ස් එකට. ට්‍රාන්ස් ඒෂීයා කියන්ෙන පිටකොටුවෙ අතබනු උපාංග වලට සුපතලම ස්ථානය. එතනින් තමයි ගොඩක් අය තොග වශයෙන් සහ සිල්ලර වශයෙන් අතබනු උපාංග මිලදී ගන්නෙ. තිර, පරිපථ, මතක පත්, රිබන්, ඔකී මෙකී නොකී ගොඩක් දේවල් එතන තියෙනවා බොහොම අඩුවට. ඒත් ඉතිං විය යුතු විදියටම ඇතුලෙ පෝලිම. සහ සෙනඟ. අතබනු කවරෙට ඒ තරං වෙලාවක් මිඩංගු කරන එක පාඩුයි වගේ තේරුන නිසා වෙනත් කඩයකින් මා අතබනුවට කවරයක් මිලදී ගත්තා. ඒ අතබනු කවරය පෙර මා මිලදී ගත් එවන් කවරයට වඩා රුපියල් සීයක්ම අඩුයි..ඒ කියන්නෙ කලිං එක දෙසීයයි මේක සීයයි..

පලවෙනි හරස්වීදිය හරියෙ එනකොට වැහි කලුවක් වගේ තිබුන අහසෙ. ඒකද නැත්තං වෙන හේතුවක්ද දන්නෙ නෑ පේමන්ට් එකේ හිටපු අය බඩු අරං ඇතුලට දිව්වා. සමහරු එවෙලම ඒ බඩු ටික අකුලගෙන ඇතුලෙන් තියනව දැක්කා. සමහර විට පදික වෙළඳාම තහනම් නිසා පොලිසිය එනකොට එහෙම ඇතුලට දුවනවාද දන්නෙත් නැහැ. දැන් පිටකොටුවෙ පාරවල් වල ඉස්සර තරං පදික වෙළදාම නෑ. එක අතකින් හොඳයි. ඒත් ඉතිං පිටකොටුවෙ හරස්වීදි තියෙන්නෙ මිනිස්සුන්ට පයිං ඇවිදල බඩුවක් ගන්න තියෙන තැන. වාහන වලට ඔතන කොහොමත් හැෙරන්න බැහැ.

ඒක අරං අතබනුව උජාරුවට ඒක ඇතුලෙ දාගෙන පොඩියක් මළු කඩයකට ගියා. හප්පා මළුවල ගනන්. රුපියල් දාහට අඩුවෙන් මල්ලක් දැක්කෙම නෑ. ඒ පාර මලු ගන්න අදහස පොඩියක් හිතේ තියාගෙන තව මොනව හරි බලාකියා ගන්න ඕනි කියල දෙවනි හරස්වීදිය පැත්තට ආවා. දෙවනි හරස් වීදියෙ කොනේ(මේන් ස්ට්‍රිට් එකට කිට්ටුව) එකදවසක් උන්නා මවුලානා කියල වඩේ ඔන්ලයින් වඩේ කාරයෙක්. මිනිහයි වඩේ එවෙලමයි හදන්නෙ. එදා සම්බෝලෙකුත් එක්ක වඩේ දෙකක් කෑව ඉස්සො වඩේ එලම කිරියට තිබුනා. මිනිහ ඒක විකුනන්නෙ වෙන තැන්වල නෑ මවුලානා මාක් වඩේ කියලා.. ම් හු අද වඩේ කාරයා නෑ..මිනිහ සැටඩේ ලීව් එකක් දාල වෙන්න ඇති. 

ටික දුරක් ගියාම හමුවුනා තුවා බෙස්සීට් කොට්ට උර හෝල් සේල් තියෙන කඩයක්. මේක දෙවන හරස් වීදියෙ මැද හරියට වෙන්න තියෙන්නෙ. හෝල් සේල් ප්‍රයිස්ම වගේ අපිට සිල්ලරටත් ගන්න පුලුවනි. ඉතිං මට හෙට අනිද්ද ගොඩක් වෙලාවට චාරිකාවක් දුර ගමනක් යෙදෙන ලකුනු තියෙනවා. තියෙන බෙස් සීට් තුවා ටිකක් පරණයි. අනික ඒවයි පොෂ් ලුක් එකත් අඩුයි. ඒක නිසා දෙකක් ගත්තා. බෙස් සීට් එක තුන්සිය පනහයි. ඇඟ පිහිදාන තුවාය රුපියල් දෙසීයයි. මේ තුවාය හැර වෙනත් තුවා තිබුනා ඒත් ලස්සන උනාට පිහිදෑවෙන් නැත්තං පොල් කොටන්නයැ. ඉතිං මේ පාටම ගත්තා.

 ඉස්සර හොස්ටල් ඉන්නකොට අපේ ඇඳට වෙන එවුං එනකොට අපි කියන්නෙ ආවට කමක් නෑ බෙස්සීට් එකේ අයිස් කීං ගානව හෙම නෙවෙයි කියලා..ඒකෙ තේරුම තේරුං අරං පිස්සුද බං මං ඔටෝචූන් ඩිසේබල් කරල ඉන්නෙ කියනවා..සමහරු..
තව ටික දුරක් දෙවනි හරස්වීදිය දිගේ වටපිට බල බල වැනි වැනි එනකොට තුන්සිය පනායි කිය කිය සෙරෙප්පු විකුනනවා. දෙලර් පාට බඩු වගයක්. මේ ළඟදි දවසක අපේ බෝඩිමෙ යාලුවෙක් නමසිය පනහට ගත්ත කිව්ව එකටත් වඩා ගැම්මක් තියෙන ලයින් එකක් තිබුනෙ. ඒ නැතත් ගෙදර ගිහිං අයියට හරි පංගරාත්තු කරල ලකුනු ටිකක් දාගන්න එකනෙව කියල ගත්ත සල්ලි සල්ලි කියල බලන්නෙ නැතුව තුන්සිය පනහෙ සෙරෙප්පු ජොඩුවක්.

මේ පිංතූරවලින් පෙන්නුම් කරන්නෙ ඒ ගත්ත සෙරෙප්පු ජෝඩුව තමයි. ටිකක් කදිමෙට තියෙනවා නේ. තුන්දාස් පන්සියක් දීල ගත්තත් දාන්නෙ මහපොලොවෙ නෙව. නැතුව ඕක දාං අපි දිවිය ලෝකෙ යන්නයැ. ලාබෙට හිතන්න පුරුදු වෙන එකත් ආතල් වැඩේ. මං ඕක පුරුදු උනේ අපේ අම්ම එක්ක පොලේ ගිහිං.. පණුවො ඉන්න වම්බටු වලට මැහි තෙල් ගහන්නෙ නෑ කියල කවුද ලංකාවෙ ආචාර්ය මහාචාර්ය මහත්තයෙක් ගන්නෙම පනුවො ඉන්න එලෝලු තමයිලු.. ඉතිං අම්ම පොලේ ගිහිං ගේන එලවලු සුද්දකරනකොට පනුවො හමුවෙන සමහර වතාවන් වල අපේ අම්මා පනු එලවලු අඩුවට රැගෙන ඒමේ ආනිසංස විස්තර කරන්නෙ එහෙමයි..

තව ටිකක් දුර යනකොට ටී ෂර්ට් තියෙනවා දෙසිය පනහට. එතනින් අපේ රියදුරු උන්නැහෙ දවසක් රුපියල් තුන්සිය පනහට මරු ටී ෂර්ට් එකක් ගත්තා. මාත් හිටියා. මටත් ගන්න කියල වදේ ඒ වෙලාවෙ.  මං හිතුවෙ ඒක වැඩක් නෑ බාලයි කියලා. ඒත් පොර තාමත් මාස ගානක් වෙලත් සෝක් එකට ඒක අඳිනවා. ඒකනං ඇත්තටම පිටරට ලොට් එකක් වෙන්න ඇති. ඒ ඩිසයින් එක මං වෙනතැනක දැක්කෙත් නෑ. අද තිබුන ඒව දෙසිය පනහයි..මෙලෝ කොලිටියක් නං නෑ වගේ..ඒත් ඉතිං ඒ තරම්ම අවුලක් ඇත්තෙත් නෑ. පැක් කරපු ටී ෂර්ට්ස් වගයක්.. ගත්තා එකක් ඔන්න ඔහෙ බෝඩිමෙ ඉඳන් කඩේට යන්නවත් ඇඳං යන්න බැරියැ කියලා.. 

දැං ඉතිං මලු දෙක තුනක් අතේ..තාත්ත වගේ පේනව ඇති කියල හිතුනා. ඒ ටී ෂර්ට් අරං එනකොට ලාස්සන මුස්ලිම් ගැනු ලමයි දෙන්නෙක් එක්ක තාත්ත කෙනෙක්. එක ළමයෙක් ෂල්වාර් එකක් ගැන මොකද්ද කියනවා. තාත්තා ඒකට එකඟ වෙන්නෙ නැ වගේ. ඉතිං අර ළමයත් කියෝනවා. තාත්ත ඒ පාර මොකද්ද තදින් කිව්වම අර ගෑල්ලමය හැරිල නිකං හිටියා. ඒ මනුස්සයට සල්ලි නැතුව ඇති ඒ ලමය ඉල්ලපු එක අරං දෙන්න. මට හිතුනා. පියකරු එකම කුරුලෑවක් වත් නැති දිගටි මූනක්. බාගෙට සාරි පොටකින් වැහිල. තාත්තා බැනපු නිසා යාම්තම් අමනාප කළු වලාවක් ඇගේ මුහුනෙ තැවරිලා තිබුනා..

මෙච්චර ගත්ත බම්බු පොටෝ අරගත්තා. කෝ බං ඒක? කස්ටිය හිතයි. ඇත්තටම පොටෝ එකකට ලස්සන මුඩ් එකක්. ඒත් ඉතිං ආයි වතාවක් පොටෝ ගන්න මගේ ඔලුව බෙල්ල උඩ ඉතිරි වෙලා තියෙන්නෙ එපැයි. ඒ නිසා පොටෝ ගන්න ගියෙ නෑ..

බෑග් එකකුත් ඕනි. ඒත් ඉතිං බෑග් කඩ තියෙන්නෙ මල්වත්ත පාරෙ කොනේ. ඒවට ගියත් හෙට්ටු කරන්නයි මිල අඩු කරන්නයි. උංගෙ බන අහන්නයි මාර වාතෙ. ඔහොම හිත හිත එනකොට දෙවැනි හරස් වීදිෙය මෙහා කොන හරියෙ තිබුනා බෑග් තොග කඩයක්. පොඩියක් ඔලුව දාල වටපිට බෑග් අතගාල එහෙම මම හිමීට ඉන්න අයිය කෙනෙක්ට බෑග් එක පෙන්නල. අරින් එකක් ගන්න පුලුවං වෙයිද කියල අහිංසක ඇඩ් එකක් දාල ඇහුවා. ඒකෙ මිල අටසිය පනහයි. මං මේ බෑග් එක වගේම එකක් එක්දාස් නවසීයට කලිං කඩෙ තියෙනව දැක්කා. ඇත්තටම මේ බෑග් එකේ තොග මිල මේක වෙන්නම ඕනි. මොකද පෙටා වල මේ වගේ බෑග් එකක් අඩු කරන්න පුලුවං උපරිම ගානත් මේ වගේ..

ඉතිං අර කඩේ ඩයල් එක ටිකක් එහෙ මෙහෙ අනික් කස්ටමර්ලට බඩු දෙනකම් මං බලාගෙන හිටියා. පස්සෙ විනාඩි දෙකක් විතර ගියාම පොර මේකනේ කියලා ඇතුලෙන් අර බෑග් එකේම හොඳ එකක් ගෙනාවා. 
ඇත්තටම මේකෙ තියෙන මැහුං සිපර් එහෙම මාස හයක් යනකොට කැඩෙයි. ඒත් ඉතිං දිනපතා පාවිච්චියට නෙමෙයි නෙව. තව ටිප් එකක් යන්න හදනෙකොට තව එකක් ගන්න බැරියැ.. කොහොම උනත් ඔය අතර කඩේට ආපු ටිකක් හයිකාර වොයිස් එකක් තියෙන එකෙක් ඇහුවා මල්ලී මේව එකක් දෙනවද කියල සද්දෙන්. ඌට කඩේ කැෂියර් හිටිය එකාම. නෑ කෑලි හයට අඩුවෙන් දෙන් නෑ කියල එලෙව්වා. ලොකු ලයින් එකත් සමහර වෙලාවට අවාසි වෙනවා මට හිතුනා.. 

සමහර පත්තර කාරයොන්ට ලියන්න දේවල් නැතිඋනාම පිටකොටුවෙ සිද්දවෙන නොයෙකුත් දුරාචාර ගැන ලියනවා. මොකද පත්තර කන්තෝරු ගොඩකට පිටකොටුව ළඟ නිසා. මං දැන් අවුරුදු ගානක් තිස්සෙ පිටකොටුවෙ ගිහිං කොම්පියුටර් බඩු, රෙදි පෙරෙදි, සපත්තු, විදුලි උපකරණ වගේ ගොඩක් දේවල් මිලදී ගෙන තියෙනවා. ඒ මිනිස්සුන්ගෙ කියල විශේෂ කපටිකමක්. විෂේශ නැහැදිච්ච කමක් මටනම් පෙනිල නෑ. සාමාන්‍යයෙන් ඉතිං පිටකොටුවෙන් බඩු ගන්නවනං පොඩියක් ඇවිදලා බලන්න ඕනි මිලදි ගන්න කලිං.. ඒක ඉතිං මොන ටවුං එකෙං බඩු ගත්තත් තියෙන තියෙරියක් නේ...

Thursday, July 12, 2012

නිමිති දෙකක්.

එය සැප රියකි..ජීප් රිය වර්ගයට අයත් නවීනතම අංග වලින් පිරුණ එකකි. එහි දෙදෙනෙකු වන අතර එක අයෙක් අවුරුදු තිහකට ආසන්නයේ නව යොවුන් තරුණියකි. අනෙකා මැදි වයස ඉක්මවූ නිතර සිනාසෙන්නට බලාසිටින මූනක් දමාගත් රියදුරෙකි.

දැන් රථය ක්‍රීඩාංගනයක් අසල රිය පෙළක ට්‍රැෆික් වලට හිරවී ඇත. වායුසමන තත්වය නිසා දෙදෙනාටම දහදිය නොනැගේ.

වයස තිහකට ආසන්න නව යොවුන් දැරිය මුලින්ම කට ඇරියාය.

මේ අමරෙ අංකල් මේ ග්‍රවුන්ඩ් එකේ අපේ අයියල මෙහෙ හිටපු කාලෙ මැචස් ගහනවා. දැං එයාල ඔසී වල එහෙ සෙල්ලං කරන්න වෙලාවක් නෑ. ඉස්සර මං මේ වටේ තාප්ප අයිනට වෙලා කෙල්ලො එක්ක අයිස් ක්‍රී්ම කනවා. බයිට් වෙන්න කොල්ලෙක් හමු වුනොත් දත ගලවනවා නැති වෙන්න. ඉස්සර මං මීටත් වඩා ලක්ෂණයිලු..”රාක්ෂි ඔයා දැන් පොඩ්ඩක් ඇදිල ගිහිල්ල” සමහර යාලුවො කියනවා. අමර අංකල් මොකද කියන්නෙ මං වයසට ගිහිල්ලද?

අමරපාල :- අද ට්‍රැෆික් නේ. නෝන තාම ඇදිල ගිහින් නෑ. අනික ඇදිල යන්න නෝන නයෙක්යැ.

රාක්ෂි :- අන්න අමර අංකල් ආයෙත් මට අර පරණ කිඩ්නිය දානවා. ඔය නෝන එපා. රාක්ෂි කිව්හම ඇති.
අමරෙ අංකල් ක්‍රිකට් ගහල නැද්ද?

අමරපාල :- මෙහෙමයි රාක්ෂි මැඩම්. මම කොළඹ ආ කාලෙ ඉස්සලේලම ලොරි හේදුවෙ. එතකොට අපිට පොඩ්ඩ වැරදුන ගමන් කියන්නෙ. මේ අලිබෙට්ටෙන් එල්ලෙ ගහපු අමරපාලල කොහෙද බං වාහන ගැන දන්නෙ කියලා. අපිත් එල්ලෙ ගැහුවා.
මට ඔය එල්ලෙ ගහපු කෙරුවාවල් නං දැං මතක නෑ. පොල්ල අල්ලගත්තම දෑත බදල බෝලෙට දීල ඊලඟ කණුවට දුවනවා. මේ ක්‍රිකට් වගේ ටුක්ක ටුක්ක ඉන්නෙ නෑ එල්ලෙ වලදි. බෝලයක් දාන්න දුවන තරම්. මටනං මාලිංගය ගැන දුකයි. රාක්ෂි මැඩම් අම්මප..

හිහි හිහි

රාක්ෂි :- මොකද අමරපාල අංකල් එකපාර මාලිංග ගැන දුකයි කියල හිනා වෙන්නෙ.

අමරපාල :- නෑ මැඩම් ඒක නරක කතාවක් මට පොඩ්ඩක් මතක් උණා..ඒක ඕන් නෑ..

රාක්ෂි :- අනේ මේ ..අමරෙ අංකල් අපිට නරක කතා කියන්නෙම නෑනෙ./? නෙක්ස්ට් ආත්මෙ මෛත්‍රි වෙන්න ක්‍රෙඩිට් කලෙක්ට් කරනවද මන්ද අර සිරිවර්ධන වගේ..

අමරපාල :- ආ ඉතිං රාක්ෂි මැඩං ඉල්ලනවනං දෙන්නං.

ඔය අපි කොල්ල සන්දියෙදි සෙල්ලං කොරාම ගෙවල්වල ඔය බම්බු උහං යන්නෙ නෑ. ළඟ ගෙදරක දා යනවා. වෙන්න ඕනි විදියටම ඒ ගෙදර හිටිය කළු පාට හඳ වගේ ලස්සන මූනක් තියෙන ගැටිස්සියක්. මාත් එක්ක එල්ලෙ ගහන්න ආ සෝමදාසය දවසක් කිව්වා මේකි මහ රෑ දෙගොඩහරි ඇලට ගිහිං පහල වක්කලම ගාවින් බැහැල ඇදුං නැතුව නානවා කියලා. මූ දවසක් කොහේද තොයිලයක් බලල එනකොට මේක දැකල ඒ තොවිලෙත් බලාගෙන ඇවිල්ල. අපරාදෙ කියන්න බෑ හරක දැක්ක හැමදේම මට කියනවා.

රාක්ෂි :- ඒක මොකද ඉතිං බාත්රූම් වගේ ඇති නේ ඇදුං ඕනියැ නාන්න?

අමරපාල :- හෙහෙ හෙහෙ... ඕන් ඉතිං පහල වක්කලමෙ ඔය කාරනාව බලන්න මාත් දවසක් නින්ද යන්නැති දෙගොඩහරි ජාමෙක ගියා. ආව බඩ්ඩ. රෙද්ද ගලවල පඳුරකට විසික් කරල පැන්න ඇලට. දැන්න නානව ඕසෙට. ඔන්න ඉතිං ගියාට මේ අර බයිස්කෝප්ප වල වගේ ලොකු ලයිට් දාල එහෙම අරහෙම පේන්නෙ නෑ. යන් තං දාර කෑලි එහෙං මෙහෙං පේනවා. එකත් ඉතිං හරි විනෝදෙ. මටත් ඉතිං නිකංම එන්න හිතුනෙ නෑ.

කෙල්ල ඇදුමක් අරං ආවෙ නෑ. මෙහායින් ගලෝපු රෙද්ද තිබුනා. මං ඕක ගත්තා. අරං කැලේට ගිහිං ගහක් උඩ දැම්මා. දාල හොරෙං බලාන් හිටියා ගහක අත්තක් උඩට වෙලා. කෙල්ල ආව ඇලෙන් ගොඩ ඇවිල්ල බැලුව රෙද්ද නෑ. පස්සෙ මේකි පිම්මෙ දිව්වා ගෙදෙට්ට. මං ඒක බලන්න තව ටිකක් ඈතට ඇදෙනකොට අත්ත කඩං වැටුන් නැතෑ බිමට. කුනුහබ්බයක් කියවුනා. ඒ සද්දෙට කෙල්ල හැරිල බලල ආයෙම දිව්වා.

රාක්ෂි :- අම්මෝ අමරෙ අංකල් එක්ක ගමනක් යන්නත් බයයි නේ. ෂික්.. කරපු වැඩ..

අමරපාල :- මේකනේ රාක්ෂි මැඩං ඒක ගෙත් නම ඇවිල්ල සොපි. මං පස්සෙ දොහක අර රෙද්ද කැලෙං ගෙනත් ඒකිලයි ගෙදර වැලේ දැම්මා. සොපිත් හෙන චලිතෙ ඒ දවස්වල. දවසක් මේකි මාවත් වරුවක් විතර වතුරෙ තිව්ව නේ මගේ සරම අරං ගිහිල්ල. අනිවාර්යෙං මේකිම හරි නැත්තං මේකි උගන්නපු වෙන එකියක් හරි තමයි වැඩේ කොරල තියෙන්නෙ. අමුඩ කෙටිය පිටිං පාරෙ යන්න ඇහැක. මං ඉතිං සරං කොටයක් යාලුවෙක්ගෙං ඉල්ලල ඌ ගෙදර ගිහිං සරං කොටයක් අරං එනකල් වතුරෙ.

හැබැයි ඉන් පස්සෙං පහු මේ සොපි නෙමෙ හෙලුවෙං වතුරට බැහැල තියෙන්නෙ මං දන් හැටියට. ගොඩක් කල් යනකල් මයෙ මූනට හම්බුනත් හිනාවක්වත් නැතුව නටන කේතලේ වගේ මූනක් දාං ගියේ. දැංනං ඒකට මිනිබිරියොත් ඇති. හොහ හොහ හොහ හොහ..

දුර ගමනක් වූ හෙයින් රථය වේගයෙන් ඇදෙන්නට විය. පිරිවෙන් යන සංඝයා වහන්සේලා පේලියක් පාර අයිනේ සංසුන් ගමනින් යයි.

රාක්ෂි :- අංකල් දන්නවද අපේ ඔසී ඉන්න අයිය පොඩිකාලෙ මේ සාදුලාට සාදු අංකල් කියලා සාදුගෙන් හොඳටම බැනුං ඇහුවනේ.
දවසක් සාදුල පේලියක් පාත්තර අරං අපේ ගෙවල් පැත්තට ආවා. ඉතිං අපේ ගේට් එක ඉස්සරහින් යන වද කියල බලන්න කියලා , මමී පොඩි අයියට කියල තිබුනෙ.

ඉතිං පොඩි අයිය බලං ඉඳල අර සාදුල ටික අපේ ගේ ඉස්සරහට ආව විතරයි මෙයා කෑ ගැහුවලු. මා මී. මේ සාදු අංකල්ලා පෝලිම ගේට් එක ළඟට ආවා කියලා. ඉතිං අර සාදුලාට හොඳටම ලැජ්ජ හිතෙන්න ඇති. අපේ අම්මා ඇවිත් ඉක්මනට අයියගේ කට වැහුවලු. පස්සෙ අම්මා පන්සලට ගිහාම හාමුදුරුවො අම්මාට හොඳට බැනලා තිබුනා. ළමයි එඩියුකේටඩ් උනාට මදිලු. කියලා.

අමරපාල :- හපෝ ඕව නං මටත් වෙලා තියෙනවා. ඉස්සර අපේ ගම මැද පාර ගලනවා පොඩි වැස්සකට. ඉතිං හාමුදුරුවො දානෙට එන්නෙ පයිං නේ. හාමුදුරුවො අපි වගේ වතුර උඩිං එන්නෙ නෑ. වටෙං එන්නෙ. දවසක් දනකට වැඩලා මට ලැබුනා අර කැවිලි පෙවිලි ටිකයි දන් සැට් ටිකයි අරං යන්න. ඉතිං මට වතුර ගලපු එකෙ උඩිං යන්න බැරිකමක් නෑනෙව. අනික මගේ අතේ දන් සැටුයි අනං මනං මලුයි ගොඩයි නෙව. මතක විදියට හාමුදුරු තුන්නමකගේ බඩු. මං කිව්වා හාමුදුරුවනේ ඔහෙල උඩහ පාරෙං යන්න මං මේ පහල වතුරෙං හිමීට වඩින්නං කියලා. ලොකු හාමුදුරුවො හිනාවෙලා කාරිය...හා එහෙනං අමරපාල උපාසක වතුරෙංම වඩිනවකෝ කියලා කිව්වා

සැප රිය නගරයක් ආසන්නයට එන්නට විය. අලංකාර පුවරුවක් සහිත පීසා හට්ටුවක දර්ශනයක් ඈත සිටම පෙනෙයි. අමරෙ අංකල් අපි නවත්තමුද පීස එකක් කන්න..

අමරපාල :- මැඩම් කන්න. මං ආස නෑ පීස වලට. සබ්මැරියන් නම් හොදයි. මස් කෑලි ටික හරි තියෙනවා.

රාක්ෂි :- එහෙම් බෑනෙ අපි දෙන්නටම හරි යන තැනකින් නවත්තමු.

වාහනය ඉදිරියට ඇදෙන්නට විය.

අමරපාල :- අනේ මන්ද නෝනා. පොඩි සයිස් මස් කැලිටිකකුයි. ඒ අස්සෙ යටිං සෙවල වගේකුයි. ඊටත් යටිං පාං පල් වෙච්චි වගේ ටිකකුයි. මටනං දිරවන්නේ නෑ පීස. අනිත් එක ලුනුත් වැඩියි. ඕවයි. හැබැයි අර මහත්තය අරං දෙන සබ්මරයින් නං හොදා. බනිස පලල මැදට මස් පුරවල.. ඒත් ඉතිං කොයි දෙමල තිබුනත් බත් ඩිංගක් කනෝ තරං රසයක් නෑනෙ.

රාක්ෂි :- අමරෙ අංකල් ඔය පීස ඉතාලි කෑමක්, එහෙ තියෙනවා හොඳ කෑම වර්ග. ඒ රටවල කෑම හරිම වෙනස්. ඒ වගේම රසයි. මෙහෙ පීස එච්චර හොඳ නෑ තමයි. මෙහෙ අපිට ගෙදරට ගෙන් ගන්න පුලුවං පීස විතරනේ. එහෙදි ගොඩක් කෑම අපිට ගෙදරටම ගෙන්න ගන්න පුලුවං.

අමරපාල :- දවසක් මං ඉස්සර කාර් වැඩකරන කාලෙ මහත්තයෙක් තමුසෙ කන්න ආස මොනවද කියලා ඇහුවා. මං කිව්වා මහත්තය මං නං පුංචි සන්දියෙ ඉඳන් තලප ගිලින්න තමයි ආස කියලා. ඉතිං මේ මහත්තයත් තලප අහල තිබුනට කාල නෑ. අපි දෙන්න කොළඹ දෙක කරං තලප හෙව්ව හම්බ උනෙ 
නෑ නෙ.

රාක්ෂි :- . අංකල් තලප රසයිද? මං දන්නෙත් නැනෙ. යාලුවෙක් නං කිව්වා ඒක කටේ ඇලෙනවා පාප්ප වගේ කියලා.

අමරපාල :- හිහි හිහි..ඇයි රාක්ෂි මැඩමො ඒක කටේ ඇලෙන්න ඒක කන දෙයක්යැ. පොඩි ගුලියක් හදල හොදේදෙ පොඟවං ගිලිනව අැර..

ඉස්සර අපේ ආත්ත උන්න දවස්වල අපි නිවාඩු දවසට ආත්තලයි ගෙදර යනවා. ආත්ත ඉතිං අපේ ඉන්න පුංචි ඌරු පැටවු ටික වගේ පුංචි සනුහරේටම තඩි මුට්ටි මෝලක දාල තලප හදනවා. තලප හදන්නෙ කුරක්කන් පිටි වලිං. කොහෙන් හරි තලාගතපු වල් මසක් කාරිය තිබුනොත් නං ඉතිං කියල වැඩක් නැ. ඒ නැතත් සීය කොහෙං හරි වැව් මාලු ටිකක් හරි ගෙනත ්තියෙනවා. අපි පොඩි එවුං රොත්තය ිආත්තල ගෙදර ඉස්සර.

අපේ සීය කොහෙන් හරි මාලුවක් මසක් කාසි දීල අරං ආවට මොකද මස් මාලු කටේ තියන් නෑ. ඒත් හොදි නං කනවා. ඉතිං අපි සීයගෙං අහනවා සීයෙ මස් හේදිලා නේ හොදි හැදෙන්නෙ එතකොට පව් නැද්ද කියලා? සීය කියනවා තොපි දන්න කෙංගෙඩිය.. මස් වලට වතුර වෙනම දාල තමයි හොදි හදන්නෙ. ඒ වෙනම වතුර ඩිංගක් කැවුනට මස් කැවෙන්නෙ නැනෙව.. කියල උත්තර දෙනවා

හැමෝටම බෙලෙක් තැටිය ගානෙ තියනවා. ලොකු තලප ගුලියක් ලැබෙනවා. ඉන් පස්සෙ අර මස් හරි මාලු හොදි හරි ටික වත් කර කර යනවා ආත්තම ඇවිත් පිඟන් ටිකට. අපි ඉතිං පිළිකන්නෙ. වාඩිවෙල දානෙට වැඩ්ඩපු හාමුදුරු ටික වගේ ඉන්නවා. පරිප්පු හොදි ටිකකුත් හදනවා. ඉතිං බඩවල් පිම්බෙන්න කාල පිලේ ම දැපල කයි ගගහ ඉඳල. ඒකෙම බුදියල උදේ තමයි ගෙවල් වල යන්නෙ.

රාක්ෂි :- අමරෙ අංකල්ට මාර කතා තොගයක් තියෙනව නේ. අමරෙ අංකල් දැං තලප ගන්න තැනක් ඇත්තෙම නැද්ද?

අමරපාල :- මං දන්න තැනක නං තාම නෑ..තිබුනත් ඉතිං අර වගේ උණු උනුවෙං..අත බාගෙට පිච්චි පිච්චි නැවුං හොදි ඩිංගක් එක්ක තලපයක් ගිලිනව වගේ තියේයැ?
 

Sunday, July 8, 2012

හුරේ මට කොළඹ බස් එක මිස් උනා.

මං ගියා බකමූණ කියන පලාතෙ මල ගෙදරකට. එහෙට යන්නෙ දඹුල්ලෙන් හැරිල කිලෝමීටර විසිපහක් විතර අලි ඉන්න කැල මැදින්. 
අපි යනකොට දඹුල්ල පහු වෙලා කැලේ අලියෙක් දැක්කා. ඌ තනි අලියෙක්ලු..ඒත් අපිට ගහන්න පැන්නෙ නෑ..උගේ පාඩුවෙ පාර අයිනෙ හිටියා. අපි ගියා.
 මේ පිංතූරයෙන් පේන්නෙ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානෙ ඉදිරිපිට කඩමැස්සෙ ලාස්සනට තියෙල උඩිං තඩි සී එෆ් එල් එකක් දාල පෙනුමට තියෙන ගෝවා..මේ ගෝවා මෙතන පන්සීයක් (කිලෝ බාගයක්) රුපියල් අසූවයි.. ඒත් මේ ගෝවාම ආර්ථික මධ්‍යස්ථානෙ ඇතුලෙ හෝල්සේල්(තොග) මිල කිලෝව රුපියල් විස්සයි. නයි අරින්න ඕනි නෑ මේ ලියන අද දවසට කලිං දවසෙ රෑ මලගෙදරට කන්නෙ දෙන්න ගෝව ගන්න ගිය අපිට ලැබුනු මිල ගනන්.. කිලෝව රුපියල් විස්ස වෙන්නෙ ගොවියට යන ගාන නෙමෙ..සාමාන්‍යන් වැඩිම උනොත් ගොවියාට හෝ ඒ එලවලු රැගෙන ආ අනෙක් අතරමැදියාට කිලෝවට රුපියල් පහලොවක් ලැබෙන්න ඇති..

මලගෙදර ගිහිං රෑට කෑවා. තේවතුර බිබී බිස්කට් කකා කයි ගගහ උන්නා. ඕම් කූට්ටං තිබුනෙ නෑ. කලිං ගහපු අය සෙට් එකක් පොඩි වලියක් දාගෙන. උදේම කොළඹ ආවොත් හොඳයි කියලා එන්න පිටත් වුනා රෑ දෙකට විතර. රෑ දෙකට අපි පාරට ආවෙ දෙක හමාරට තුනට විතර දියබෙදුමෙන් බකමූණ හරහා කොළඹ එන රෑ ලංගම බස් එක බලාගෙන...

අපිට මලගෙදරට යන්න පිනා චෑන්ස් වෑන් එකක් ලැබුනට එන්න වුනේ බස් එකේ. ඉතිං බස් එක ආවෙ නෑ. ඊළඟට අපි කලේ වෙන හෝල්ට් එකකට ආවා ඒ කියන්නෙ මලගෙදර ගාව ඉඳල බකමූණ ටවුන එකට ආව අර දියබෙදුම පාරෙ බස් එක නැති නිසා.

ඉතිං තව බස් තියේවිය කියලා අපි බලාගෙන උන්නා. උදෑසන නිසා දෑස රිදුනා පාර බලා ඉඳල ගොඩක්ම. තව දෙයක් අපි එතකොට ඒ රාත්‍රියට මිනිට්ටුවක්වත් නිදාගෙන තිබුනෙ නෑ..

වෙන බස් ආවෙත් නෑ. ලොරි යක් ආවා කස්ටිය වැඩි නිසා දාගෙන ගියේ නෑ. ඒක ලොරි කිව්වට ලොරියක්ම නෙමෙ. ඩිමෝ බට්ට එකක්.

ඒකෙ යන්න බැරි උනා. උදෙ හතරට විතර ආව කට කපලා ගඩොල් පටවපු ටිපර් එකක්. ඒකෙ යන්නත් බෑ. මොකෝ ගඩොල් උඩ නැගල එන ගමං නිදිමත වෙලා වැටෙන්න ගියොත් අල්ලගන්නවත් එකක් නෑ නිසා. පොලු තිබුන තිබුන ඉස්සරහ හරියෙ වවුලො වගේ කීප දෙනෙක් අමාරුවෙන් එල්ලිලා උන්නා..

අපි ටික වෙලාවක් යනකොට දැක්කා ඈතින් බස් එකක් නවත්තනව. එතන ටිකක් සෙනගත් හිටිය බස්සෙක එන්න කලිං. පස්සෙ බලනකොට ඒ  පොලොන්නරුවෙ  ලොකු මීටිමකට යන්න ඉන්න මිනිස්සු. ඒ මිනිස්සු බස් එකක් එනකල් ඉඳල තියෙන්නෙ උදේ තියෙන මීටිමකට යන්න. ඒක ආන්ඩුවෙ චන්ද වැඩක් කියල ගොඩක් අය කිව්වා..

ඒත් ඒ සෙනඟ අදින්න ආපු සී ටී බී බස් එකේ උදේ හතරට විතර මහ පාන්දරත් මැදිං බංකු දාල වාඩිවෙලා යන්න තරං සෙනඟ හිටියා..

පොලොන්නරුව සහ අවටින් ලංගම බස් 48ක් දාලලු පොලොන්නරුවෙ මීටිමට සෙනඟ අදින්න. ඒක ආන්ඩුවෙ පූර්ව මැතිවරණ ප්‍රචාරක ප්‍රෝඩාවක් වෙන්න ඇති කියල තමයි මිනිස්සු කිව්වෙ..එතකොට ඒ බස් අර මීටිමට සෙනඟ අදින්න ගතපු නිසා තමයි උදේ පාන්දර අපිට බස් නැතුව ඉන්න වුනේ..කියල තමයි ගොඩ දෙනෙක්ගෙ අදහස උනේ.

ඉතිං මාත් එක්ක හන්දියෙ තව මාත් එක්ක ආපු යාලුෙවා දෙන්නෙක් හිටියා. දෙකේ ඉඳලා පහ හය වෙනකල් ගෑනු දරුවො දෙන්නකුත් උන්නා. ඒ අය උදේ කොළඹ පන්ති යන අය.. තව ඉතිං කුරුණෑගල පංතියන ළමයිතුත් හිටියා..ඒ අයත් බකමූනෙන් ආවෙ හය හමාරට ආපු බස් එකේ..උදේ පන්තියකට වෙන්න ඇති උදෙන් යන්න ඉන්න ඇත්තෙ..නැත්තං සීට් අල්ලගන්න උදෙං නැගිටල කස්ට කාගෙන යන්න ඕනි කියලා හිතන්න ඇති..

තව අයිය කෙනෙක් හිටියා එතන. එයා හමුදාවෙ. එයාට නං අද මෙක ලියන වෙලාවෙත් පනිෂ්මන්ට් ලැබිලා ඇති. වෙලාවට කෑම්ප් එකට යන්න බැරි උනාට.. තව ඉතිං ඉරිදා දවසක් උනත් නොයෙකුත් රාජකාරි වලට යන මිනිස්සු අතරමං වෙලා හීතල උදේ පාන්දර පාරේ බෝක්කු කඳන් උඩ බස් හෝල්ට් වල වාඩිවෙලා හිටියා පැය හතර හමාරක් ඊළඟට යන්න ආපු බස් එක එනකල්..

කලියෙං දෙක හමාර යන බස් එක විතරක් නෙමෙ..මං දැනගත් විදියට ඒ පාරෙන් බකමූනෙ සිට දඹුල්ලට යන ගොඩක් මිනිස්සු පාරෙ අතරමං වෙලා උන්නා...පිට පිට බස් තුනක් ම නැහැලු..

ආන්ඩුවට බනින්නවත් තිබුනා අර මං රැස්වීමට යන්න ගිහිපු බස් එකේ නගින්න පොරකාපු සෙනග දැක්කෙ නැත්තං..අවාසනාවට ඒ බස්එකේ සීට් එකක් අල්ලගන්න පොරකන ජනතාව ඇස්ගෙඩි දෙකෙන්ම දැක්කා. උදේ පාන්දර තුනට විතර නැගිටලා සුදු ඇඳුම්,සාරි වලිං සැරසිලා.. ඒ අය මොකක් හරි අද උදේ තියෙන උත්සවයකට යන්න ඇති.. 

කොහොම හරි අර උදේ පාන්දර කොළඹ බස් එකට හිටපු තිහක් විතර සෙනඟට වඩා සෙනඟක් හිටිය බකමූන හන්දියෙන් පොලොන්නරුවෙ රැස්වීමට යන්න ගිහිපු සෙනඟ.. ඉතිං ප්‍රජාතන්ත්‍රවාදය අනුව වැඩිමතය ජයගන්න ඇති...

දෙගොල්ලන්ටම තමුන්ගෙ ආතල් එක ගන්න අවස්ථාව එක පරිදි දුන්නනං මං කැමතියි. ඒත් ඉතිං ලංකාව වගේ සීමිත සම්පත් තියෙන රටක වඩා වැදගත් වෙන්නෙ ළමයි පංති යන එකවත්, ආමි කාරය කෑම්ප් යන එකවත්, අපි උදේ පාන්දර කොළඹට එන එකවත් නෙමෙයි. ආන්ඩුවෙ පූර්ව ප්‍රචාරක වැඩක් විදියට සංවිධානය කරපු මොකක් හරි අටමඟල් රැස්වීමකට සෙනඟ ගෙනියන එක..

මං මේම ලියන්නෙත් මට රස්සාවක් ලැබිල යාලුවෙකුගේ මලගෙදර ගිහිං එන්න විදියක් නැතුව චාටර් කෑ නිසා. ඒත් රස්සාවක් නොලැබි සහතික තියාගෙන ගෙවල්වල හූල්ලන, වතුර නැති නිසා කුඹුර පාලුවෙලා කොරගන් දෙයක් නැති මිනිහෙක් උනානං මාත් අර පොලොන්නරුව රැස්වීමට ගිය බස් එකේ බහුතර වැඩිහිටි අම්මලා තාත්තලා එක්ක ඉඳීවි...

මෙය සත්‍ය සිදුවීමක් වන අතර මා දුටු ටික පමණක් ලියාතැබීමි.. බ්ලොග් යනු තමුන්ට හිතෙන දේ කුරුටුගාන්නට තියෙන පරණ වැඩපොතක් ඇක්සයිස් පොතක් වැනි වැදගම්මකට නැති මාධ්‍යක් නිසා මෙහි කරුණු ගැන ආන්ඩුවට හිතැත්තන් කෝප වීමෙන් පලක් නැත.

Friday, July 6, 2012

දෝසි කැටේ


මට හිතවත්ව තිබු මගෙ ඒ දෝසි කැටේ..
චොකලට් පිරී තිබුනා එහි හතර වටේ..
දාගන්නට නොහැකි වූවත් මගේ කටේ...
දෙයියෝ බුදුන් රැකපාන් සුදු දෝසි කැටේ..

මලකට බඹරු තුන හතරක් මදි නේද
ගලකට පහර කීයක් වැදුනත් කිමද?
දොලකට වතුරු සුට්ටක් වැටුනම මොකද
කලකට චූටි කලකට මට බැරි වෙයිද..

කුඩා සන්දියේ මම දුටු කැකුලු මල.
කඩා බිඳ දමා කාලය වැසූ පල..
වඩා ගෙන ගොසින් පීනු දෙකේ ඇල.
නාඬා වරෙං උකුලට මයෙ සෝස මල.

මොන මල යකෙක් මූ හට වැහිලද මන්දා..
යන එන නාන තැන පස්සෙන් ඇයි මන්දා
වන යට කැමති නං වනයක් වර කැන්දා..
කන මේ දීගෙ කන්නට දෙනු මේ වැන්දා..

කැකුලු පොලොස් දැන් වී ඇත වැල වරකා..
තෙපලු වදන් කාලය ගෙන ගොස් දුරකා..
ගොපලු වගේ අන් ගොන් කිමදෝ දක්කා
බබලු වගේ මැනිකාක් ගෙන එනු රක්කා..

සිතුවම් මැකී නව සිතුවම් ඇඳේවී
මතුවට තවත් මා නම නොම දකී වී
රෑ සීනයක් දක්නට ඉඩ නැති වේවී
උඹගෙම දෝසි කැටයක් උඹ ළග වේවී

උකුල වන වනා කල ගෙන යන කලට..
දකුනු ඇල දිගේ නුඹ නාං යන කලට
වැකුනු අතීතය සිහි වී එන කලට..
මැකුනු මයේ හිත පූදිනවා මුලට...

ගැටීස්සියන් හිටියත් ලෝ හතර රටේ
වැටී ගියත් ඵල මා ගස අසල වටේ.
ගැටී දැඩිව ඇති ලෙස පල අඹේ ඇටේ.
කෙටී බඹා උඹමයි මයෙ හඳුං කොටේ...
Kavi by indika27

Wednesday, July 4, 2012

සම්බුද්ධරාජ මාලිගාව අපේද?

අපේ ගමේ පන්සලෙන් තමයි මං බුද්ධරූප දැක්කෙ..ඉස්කෝලෙ ඉගනගත්ත පොත්වලිං තමයි බුද්ධාගම දැනගත්තෙ.. ඒ දේවලුයි දැං මේ පේන්න තියෙන දේවලුයි අතර පොඩි වෙනසක් තියෙනවා.. මට හරි පුදුමයි සමහර දේවල් ගැන..අපි මේ වගේ දේවල් කියනකොට කස්ටිය කඩු අමෝරාගෙන බොහොම සාන්ත විදියට මේවට උත්තර දෙයි... බුදුන් වහන්සේගේ කාලේ විරුද්ධ මත ධාරීන්ට කොයි තරම් නිදහසක් තිබුනාද කියල ඒ අයට කල්පනා වෙන්නේ නෑ..

කොසොල් රජතුමා අනේපිඬු සිටුතුමා වගේ ලොකු කට්ටිය සම්බන්ධ කරගෙන උන්නට ඒ සමාජයෙ කවදාවත් මං අහල තියෙන විදියට බෙදු ජනයා විරුද්ධ මත ධාරින්ට පහර එල්ල කරන්න ගිහිල්ල නෑ..ඒත් අද තත්වය වෙනස් කාලේ වෙනස් නිසා වෙන්න ඇති..
මේ තියෙන්නෙ ඒ මහා සම්බුද්ධ රාජ මාලිගයේ තියෙන පිළිමයක්.. මේ පිළිමයයි අපේ ගමේ පන්සලේ තියෙන පිළිමයයි වෙනස්.. මේ පිළිමය දැකපු මටනං අර ගමේ පංසලේ පිළිමෙ දකිනකොට ඇතිවෙන ශ්‍රර්ධාව ඇතිවෙන්නෙ නෑ..බොහොම ඈත යුගේක දි කරන ලද අනුරාධපුර යුගයේ ගල්පිලිම දකිනකොට ඇතිවන සමාධිය මේ බුද්ධ ප්‍රතිමාව තුල පේන්නෙ නෑ..බලන්න හොඳට ඇඟිලි දිහා..ඒවා සිහින්ව දිගට තියෙනවා හරියට කාන්තා රූපයක් වගේ.. ශරීරයේ ස්වභාවයත් ටිකක් ඒ වගේ...බුදුන් වහන්සේගේ පිළිමයෙන් යම් කෙනෙකුට නිවන් යන්න හෝ ධර්මාවබෝධය ලබන්න බැරි බව ඇත්ත..නමුත් අර මෙතෙක් කල් මා දැකපු වැවුරුකන්නල, වෙහෙරහේන වගේ මහා බුදු රුව වල පවා බුදුන් වහන්සේගේ සමාධි ගතිය ඉස්මතු වෙන්න නිර්මාණය වෙලා තිබුනා..කියලයි මට හිතෙන්නෙ..

මං හැමදේම කියන්න යන එක හොඳ නෑනෙ..මේ පිංතූර දෙකෙන් ඒ රජකාලෙ හදපු එකයි මේ රජකාලෙ හදපු එකයි අතර මටනම් පැහැදිලි වෙනසක් පේනවා...තාක්ෂණය දියුණු අද කාලෙ ඇයි බැරි අපිට ඒ පිළිම වාගෙම සමාධිය ඉස්මතු වෙන විදියට පිළිම හදන්න..ඇයි අපි වෙන රටවල් වල වගේ පිළිම හදන්නෙ.. මේකද ඔය කියන සිංහල බොදු ගතිය..මෙහෙමද අපි වසර දෙදාස් ගානක් පරන අපේ ලංකාවෙ කලාශිල්ප ඉදිරියට ගෙනියන්නෙ..හසන්ත බලන්න හසන්ත පොඩ්ඩක් මේව දිහාත්..
 මේකප් එකත් ලස්සනයි..මලුත් ලස්සනයි..ලස්සන නැටුමක්...බොහොම හොඳයි.. වසන්තා සන්දනායක කියන සිංදුවක් තියෙනවා නොකියාම එදා ඇසල මහේ කියලා..ඒක ස්ටේජ් වල කියන්නෙ දැං සුප්‍රියා අබේසේකර..සුප්‍රියා අබේෙස්කර ඒක කියනකොට පල්ලෙහා බීල නටන කොල්ලො උඩ දදා නටනවා..විටෙක නැටුං කන්ඩායනුත් නටනවා.. ස්ටේජ් එක උඩ..ඕක බලං හිටපු යාලුවෙක් මූනු පොතේ කියල තිබුනා..යශෝදරා දේවියට පුදුම ආතල් එකක් තිබිල තියෙන්නෙ කියලා... 
මහමෙව්නාව පටන් ගත්තෙ ආරණ්‍යගත සම්ප්‍රදායක් ලෙසින්..එහි සිටින භික්ෂූන් මුදල් අතින් නොඅල්ලන, ස්ත්‍රින් හා සමාගමය අඩු පිරිසක් ලෙස තමයි සැලකුනේ.. ඒත් මේ මරඟනන් පිරිසක් මල් අරං නටල ගිහිං නැටුමෙන්ම බුදුන් පුදන්න යනවා කියන්නෙ මටනම් අලුත් දෙයක්.. සාමාන්‍යන් පංසල්වල නටනවා අපි පෙරහැරවල් වලට.. ඒත් ඒකෙදි පංසල ඇතුලෙ නටන්නෙ නැහැනෙ... කොටින්ම දේවාල පෙරහැරක උනත් ඒ වගේ යම් යම් සීමාවන් තියෙනවා.. මහමෙව්නාව ගුරුකොට ගන්නේ ආරණ්‍ය සම්ප්‍රදාය නම්..ලෞකික ලෝකය පිළිකෙව් කරනවා නම් මේ මොනවද?  මේ විකාර?
අපි මල් පුද දෙන්නේ ඇයි..පුංචි කාලෙ දහම් පාසැල් පොත්වල තිබුනෙ මල් පරවෙනවා වගේ අපේ ජීවිත පරවෙනවා කියල හිතන්න කියලයි..ඒත් මේ උත්සවය මලින් සරසල තිබුනෙ හරියට ඉන්දීය රාජකීය වෙඩින් එකක් වගේ.. අපි මලින් පුදා එදා බලාපොරොත්තු වුනාට වඩා ලස්සනක් ලැබෙනවා. නමුත් එදා අපේ දුප්පත් මල් වට්ටියෙ තිබුන චාම් ගතිය මේ මල් කූඩ ගනන් පෝලිමට අතුරල තියෙන කොට නෑ කියල තමයි මට හිතෙන්නෙ..


සංස්කෘතිය කියන්නෙ නිතර වෙනස් වෙන දෙයක්..එය කාලානුරූපීව වෙනස් වෙනවා.. ඒත් යම් දේවල් වෙනස් වෙන වේගය හරිම වැඩියි කියලා මට හිතෙනවා. එදා අපේ ගමේ පංසල් මහා ලොකු හොඳ ශ්‍රද්ධාවන්ත හාමුදුරුවරු හිටපු තැන් කියල කියන්න බෑ.. ඒත් ගමේ පංසල ලොකු කාර්යයක් ඉටු කලා ගමට.. අද කුමක් හෝ හේතුවක් නිසා මිනිසුන් ගමේ පංසලෙන් පිට තැන්වල නිවන සොයනවා. එක අතකින් සංඝයා වහන්සේලාගේ දැනුම කාලානුරූපිව වෙනස් නොවුනු නිසා වෙන්න ඇති..
 එක අතකින් මේක නිකං අර මෙහේ ඉඳන් සැප ගන්න බැරි අය සංචාරයට සිංගප්පුරු තායිලන්තේ යනවා වගේ වැඩක්. අපි අවට ඉන්න දුක්විඳින මිනිසුන් පිහිට විය හැකි මිනිසුන් රාශියක් මග දාල අපේ හිතේ සැනසුම සොයාගෙන දුර ගව් ගෙවාගෙන ඈත අසපු සොයාගෙන යනවා..

Monday, July 2, 2012

සෞඛ්‍ය නංවගන්න ගමං සාක්කුවත් නංවගන්න

අපේ බොඩ්මෙ ඇන්ටි එනවා කාමරේට. මං පුලුවං ඉක්මනින් සරම හදාගෙන ඇද රෙද්ද හදල ටිකක් හරිබරි ගැහිල වාඩිවුනා.. ඇන්ටිගෙ අතේ මොනව හරි පාර්සලයක් දන් නෑ මොකද්ද කියලා බලමු..කියල හිත හිත කම්පියුටරයට එබුනා.
ඇන්ටි ඇවිත්..
ආ පුතා වැඩක්ද? කියලා ඇහුවා..
මං ඉතිං වැඩක් තිබුනත් මොකෑ කියන්නත් හදල ආයෙමත් ඉතිං සේප් කරගන්න එකත් වටිනවා නේ..
නෑ ඇන්ටි මං මේ කම්මැලිකමට සිංදුවක් අහන ගමං..
මේ මං ඔයාව හම්බෙන්න කියල හිටියෙ පොඩි බඩු වගයක් පෙන්වන්න..මේක එසේ මෙසේ දෙයක් නෙමෙ, ඔය ලමය වගේ ඉන්ටනෙට් එකේ ඉන්න අයට. කීයක් හරි හම්බකරගන්නත් පුලුවං ඒ වගේම සෞඛ්‍යය වැඩිදියුණු කරගන්නත් පුලුවං වැඩක්..
මුලිං මං පුතාට අවබෝධ කරල දෙන්නං මේ මං ගෙනාපු කුප්පි මොනාද කියලා...පුතා කැමති නැතිවෙයි..ඒත් ඉතිං මේව කියල දෙන එක අපේ වගකීම නේ..

මේ තියෙන්නෙ Tri-Antioxidant
මේක පාවිච්චි කලාම පුතාට ලැබෙන වාසි ගොඩයි..ඔය බේත් කිව්වට අපි හැමෝම බොන්නෙ බේත් ලෙඩ හැදුනම නේ.. මේ අපි හඳුන්වාදෙන නව නිෂ්පාදන කියන්නෙ බේත් නෙමෙයි. මේවා ඇවිල්ලා පෝෂන සංඝටක. අපි අර ග්‍රීන් ටී බොන්නෙ ආන්න ඒ වගේ වැඩක්. අපිට අද තියෙන තත්වය අනුව ශරීරයට අවශ්‍ය පෝෂක සියල්ල එකපාර ලබාගන්න බෑ. ඒ නිසා අපි මේ වගේ පෝෂන සංඝටක හඳුන්වා දෙනවා. අවාසනාවකට මේවා බේත්වල හැඩයටමයි තියෙන්නෙ නමුත් බේත් නං නෙමයි. දොස්තර කෙනෙකුගෙ තුංඩුවක් නැතිව උනත් අපිට මේ බේත් ගන්න පුලුවනි. පුතා දන්නවා අද කාලෙ බෝම ජනප්‍රියයි හදවත් රෝග. මේ මටත් තියෙන්නෙ ප්‍රෙෂර්. මේ හදවත් රෝගවලට ග්‍රීන් ටී හොඳයි කියන එක අද ලෝකෙම පිළිගන්න සත්‍යක්. ඉතිං මේ ග්‍රීන් ටී මිදි ඇටවල අඩංගු සංඝටක සහ තවත් සෙලනියම් කියන මූලද්‍රව්‍යය එකතු කරල මේ ට්‍රයි ඇන්ටි ඔක්සිඩන්ට් හදල තියෙනවා. මේක හරියට අර මලකන්න තියෙන යකඩයක් මල කෑමෙන් ආරක්ෂා වෙන්න කරන ප්‍රතිකාරයක් වේග බොහොම විශේෂ පෝෂනීය ප්‍රතිකාරයක්..


ලිවර් රයිට්.. Liveright
අපේ සරීරයෙ තියෙන විශාල අවයවයක් තමයි පුතේ අක්මාව කියන්නෙමේ අක්මාවෙන් සැපයෙන සාන්ද්‍රණ වලිං තමයි අපේ ආහාර දිරවීම සිද්ද වෙන්නෙ. විවිධාකාරයේ කෘතීම ආහාර ගත්තම ඒවාජිර්ණය කරගන්න මේ අක්මාව  විශාල වැරවෑයමක් ගන්නවා.
ඉතිං ඒ අක්මාවෙ සෞඛ්‍යය ගැන හිතල අපේ එෆ්කේ සී ආයතනය හඳුන්වල දීපු අක්මාවටම විශේෂිත ප්‍රතිකාර ක්‍රමය තමයි ලිවර් රයිට් කියන්නෙ.. මේ පෝෂණ අතිරේකය ලිවර් එක සඳහාම විෙශ්ෂයෙන්ම සාදන ලද ස්වාභාවික අමුද්‍රව්‍ය වලිං සමන්විත වෙනවා.. විවිධාකාර පෙති ජාති මස්ජාති කෘතීම දේවල් ආහාරයට ගැනීමෙන් නිතර අවධානමට ලක්වෙන අපේ ලිවර් එක යථා තත්වයට ගේන්න මේ ලිවර් රයිට් කියන පෝෂන අතිරේකය හේතු වෙනවා..


ජොයින්ට් අගේන් JointAgain
මේ අපේ අස්ථි පද්ධතිය තියෙනව නේද. මේක අපිට නොතේරෙන්න කාලයත් එක්ක දිරනවා..විශේෂයෙන් කාන්තාවන්ට ආර්ථවය නැති උනාට පස්සෙ මේ අස්ථි සීඝ්‍රයේන දිරලාඔස්ටියෝ පොරෝසිස් කියන ලෙඩේ හැදෙන්න පුලුවං. ඒ නැතත් කැල්සියම් ශරීරයට අවැසි පරිමාවෙන් ලැබෙන්නෙ නැතිකොට මේ කැල්සියම් හීන නිසා අස්ථි දිරායාමට පුලුවනි. මේන්න මේ දුර්වල අස්ථි ශක්තිමත් කරන්න. අපේ යොවුන් වියේ පැවති අස්ථිවල ශක්තිමත් බව නැවත ගන්න. අස්ථි සම්බන්ධවෙන ජොයින්ට් වල තියෙන බැඳීම වැඩිකරන්න අපි හඳුන්වාදීල තියෙනා මේන් මේ ජොයින්ට් අගේන් කියන කම්පවුන්ඩ් එක.. මේ හරහා කැල්සියම් අවශෝෂනය කරන්නඕනි වෙන විටමින් සී සහ වෙනත් අත්‍යාවශ්‍ය සංඝටක වලිං සමන්විත වෙනවා. ඒවගේම විෂේසිත ටියුමර් ගසේ අලයෙන් ලබාගත් සුවාභාවික සංයෝගත් ඇතුලත් අස්ථි ගැන සැලකිලිමත් වෙන අයට සුදුසු පෝෂණ අතිරේඛයක් තමයි ජොයින්ට් අගේන් කියන්නෙ..


වොන්ඩර්මීල් WonderMeal
මේ වොන්ඩර්මීල් එක තියෙන්නෙ පුතේ ඔය අනවශ්‍ය මේද කොටස් ඉවත්කරන්න..ටයර් බැහැපු වාෙග් පේන මහත ගෑන අය උදේට කනවා වැඩියි නේ..මේ උදේට කන කෑම වැඩි නිසා කස්ටිය මහත් වෙනවා කියල විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා. ඒ නිසා ඒ අය උදේ කෑම වෙනුවට මේ වොන්ඩර්මීල් එක හඳුන්වා දීල තියෙනවා. මේ වොන්ඩර්මීල් එක ගත්තම උදේට කෑව වගේම බඩ පිරෙනවා. නමුත් ශරීරය මහත් කරන්න බලපාන බිත්තර මස් මාලු වල වගේ විශාල කැලරි ප්‍රමාණයක් මේ වොන්ඩර්මීල් එකෙං ලැබෙන්නෙ නෑ. ඒනිසා ඉබේටම ඒ අය ටික කලක් යනකොට කෙස්ටු වෙනවා. ඒ වගේ මහත ශරීරයක් තියෙන ෂේප් නැති ඇඟක් තියෙන අයට සුදුසු දෙයක් තමයි මේ වොන්ඩර්මීල් කියන්නෙ..


හරි මේ ප්‍රොඩක්ට් දෙක තුනක් විතරයි පුතාට ඕනි නං වැඩි විස්තර මේ සයිට් එකෙං බලාගන්න පුලුවං..
කියලා ඇන්ටි මට සයිට් එකකුත් දුන්නා...

දැන් මටනං බෝරිං වාෙග කොහේද යන මංගල්ලයක් පහත් වූනා මදිවට තව බේත් වගේ පෝෂණද මොකද්ද අත්රේක වගේකුත් දුන්නා....


හරි පුතා දැන් අපි බලමු මේවයින් කෝමද සල්ලි හොයන්නෙ කියලා. දැන් අපි කලිං මේ වාගේ පෝෂණ අතිරේක තුන හතරක් තියෙන පොයින්ට් දෙසීයක් වටිනා මේ පෝෂණ අතිරේක ගන්න ඕනි..ඉන් පස්සෙ ඔයාට පුලුවන් නේ මේ ගැන තව දෙතුන් දෙනෙක්ව දැනුවත් කරල මේ අමතර පෝෂක ගැන දැනුවත් කරන්න. ඉන් පස්සෙ අර අය ඒ බඩු ගන්න වාරයක් ගානෙ පුතාට සල්ලි ලැබෙනවා.. ඒ කියන්නෙ ඒ අය වෙන අයට විකුන්නත් සල්ලි ලැබෙනවා. එසේ මෙසේ ගානක් නෙමෙයි..පලුවෙනි කෙනාට ඔයා අලෙවි කරනකොට ඔයාට කමිෂන් එක විදියට රුපියල් තුන්දාසි හයසීයක් ලැබෙනවා. දැං අර අය ආයෙත් වෙනත් කෙනෙකුට මේ පෝෂන මල්ල අලෙවි කරනකොට ඒත් ඔයාට රුපියල් තුන්දාස් දෙසීයක් ලැබෙනවා. මේක තියෙන්නෙ ඉන්ටනෙට් එකේලු. ඒ නිසා ඔයාට හරි ලේසියෙන් තමුංගෙ එකවුන්ට් එකක් හදානෙ වැඩේ පටං අරං කරගෙන යන්න පුලුවනි...

අපේ එෆ් කේසී ආයතනය කිසිම තැනක ඇඩ්වර්ටයිසිං කරන්නෙ නෑ...අපි ඒ ඇඩ්වර්ටයිසිං මාකටිං වලට යන ගාන අපේ බඩු ගැන කියල ඒ සඳහා දිරිමත් කරන අයට ලැබෙන්න සලස්වනවා...
මේක වෙන රටවල බොහොම ප්‍රචලිත ක්‍රමයක්..
ඒ අනුව ඔයා මුලින් බඩු විකුනන පස්සෙ තව අයට විකුනල ඒ අය තවත් අයට විකුනනකොටත් ඔයාට ලොකු ගානක් එනවා...
තුන්දාස් දෙසීයක් ගානෙ..
මාත් පැක් එක්ක ගත්තා..මේ පැක් එකේ රුපියල් 40,000ක විතර බඩු තියෙනවා මාත් දැං ටිකක් කෙස්ටු වෙලා කියලා අංකලුත් කියෙනවා..මේ පැක් එක රුපියල් 32,500කට ගන්න පුලුවනි...

ලංකාවෙ ශාඛාව තියෙන්නෙ කොළඹ නවලෝකෙ ලඟින් බැස්සම තියෙන නවම් මාවතේ ඕෂන් ලයින් බිල්ඩිමේ හතරවෙනි තට්ටුවෙ...
 ඉතිං ඇන්ටි ඔය ගැන දොස්තර කෙනෙක්ගෙන් ඇහුවෙ නැද්ද?
ඇන්ටිගේ මූන වෙනස් විය...මොකටද පුතා දොස්තරලගෙන් අහන්නෙ මේව ඇමරිකාවෙ වගේම ලෝක හතර වටේම ජනප්‍රිය ඒව. අනික බේතුත් නෙමෙයි.. අපේ පෝෂනේ ගැන අපි හිතන්න ඕනි..මිනිස්සු හිතන්නත් ඕන...ඒක නිසා තමයි මං අද මේ පුතාටත් ගන්න කියන්නෙ..

මා හට මතක් වූෙය් දිනක් රතු පක්ෂයක යාලුවෙකුගේ නිවසේ අපි බොමින් සිටියදී එහි සිටි කුඩා  දරුවෙකු ඇටබෝලයක් කටේ දමාසිටින විට මා එය යාලුවාට පෙන්වු අවස්ථාවයි...
යාලුවා එය දැක..මේ ප්‍රජාතාන්ත්‍රිය සමාජවාදී පශ්චාත් යුධවාදී සමාජය තුල මගේ දරුවාට ඕනිම ඇටයක් කටේ දාගන්න නිදහස තියෙනවා...
කතාවට බාදා වූයේ ඔහුගේ බිරිය ඇවිත්..ඔවු තමුසෙග පන්ඩිත කං වලිං නිකං බේත් ලැබෙනවනේ..ඔය පශ්චාත් නූතන සමාජෙ හරි මොකේ හරි දරුවගේ කට ඇතුලෙ මේක හිරවෙලා ඉස්පිරිතාලෙ දොස්තර ලගට යන්නෙ වෙන්නෙ මට... එතකොට මේ ඇටබෝලෙ අයිති තමුසෙගෙ පශ්චාත් සමාජයට නෙමෙයි දොස්තරයට..කියා සැරෙන් වැරෙන් දරුවා මුනින් හරවා ඇටබෝලය වැටෙන්නට දරුවාගේ පිටට ගසන ලදී..

  ඇන්ටි ඕක කියෙන විදියට අනුව අපි එකපාරක් ගන්නවා..ඉන්පස්සෙ තව අයට විකුණනකොට අපිට සල්ලි ලැබෙනවා..නිකං පිරමිඩ් වගේ නේදැයි ඇසීමි?

එහෙත් ඇන්ටි මට රවා..ඔය ලමය ගන්නෙ නැත්තං ඔය ලමයට මේ දිව්ය අවුසද ඕන නැත්තං නිකං ඉන්නවා...මේව රටවල බොහොම ජනප්‍රිය උගත් මිනිස්සු පාවිච්චි කරන ඒ සමාජවල තියෙන දේවල්..පෝෂණ විද්‍යාඥයො හොයාගත්ත දේවල්..මේව අපිට කොම්පැනියෙන්ම ට්‍රෙනින් නිකං දීල කියල දුන් ඒව.. ඔය ලමයි ඉතිං බැලුවොත් අැත්තං පේස්බුක්කුවෙ ගෑනු ලමයි එක්ක චැට් නේ.. මේව ගැන දන්නවයි.. මං යනවා යන්න.. පස්සෙ වෙලාවක හරි ගන්න හිතුනොත් එන්න..තිස් දෙදාස් පංසීයක් විතරයි ඕනි...

(පසුව මා ගේ මිතුරකුගෙන් සහ වෙනත් ආරංචි මාර්ග වලිං එම කියන නවම් මාවතේ එම ස්ථානයේ එවන් ආයතනයක් ඇති බවත් වටිනා පෝෂණීය අතිරේඛ මිලදීගෙන ඒ මගින් ජීවිතය සාර්ථක කරගත හැකි බවත් මා දැනගතිමි..)
නිකංම යන එකේ මේකට කමෙන්ට් එකක් හලල යන්න ඈ..