Saturday, July 14, 2012

පිටකොටුව සවාරිය.

අද හොඳ දවසක්. උදේපාන්දර මගේ යාලුවො වෙච්චි නංගිල දෙන්නෙක් අතරමගදි හමු වුනා. එක්සෑම් එකකට කොළඹ ආපු පහුගිය මාසෙක දවසක මං කටුගෙට ගියා. පරණ දේවල් බලන්න විතරක් නෙමෙ කටුගෙවල් කියන්නෙ මොකද්ද කියන එකත් බලාගන්න. දැකපු ගොඩක් දේවල් ශෝචනීයයි. වර්ගපූර්ණිකාව ගැන බලල ඉතිහාසය ගැන අපේ පුරාණය ගැන දුක්වෙනවා වගේ දුක්වෙන්න තැන් බෝමයක් අපේ කටුගේ අපිට පෙන්නල දෙනවා සහ දීල තියෙනවා. 

කටුගෙට ගියාම නංගල දෙන්නෙකුත් ආව කොල වගයක් ලිය ලිය හොඳට පෙට්ටිවල තියෙන දේවල් බල බල මාර ඇඩ් එක. ඉතිං මං කතා කරල ඇහුවා ඔයාල කැම්පස්ද අනං මනං විස්තර. එයාලත් ආඩම්බර ලයින් එකක් දීල මාව ටිකක් චාටර් කරන ගමං විස්තර කිව්වා. පස්සෙ බලල ඉවරවෙලා අර මැරිච්ච සත්තු ගස් තියෙන ස්වාභාවික විද්‍යා එකට යන්න මං හැරිල ආව වටෙන්. ඇවිත් එහෙ මෙහෙ ටිකක් කැරකි කැරකි ඉන්නකොට නංගිල දෙන්න ඉන්නවා ගහක් යට බංකුවක.

ටිකක් කටකාර නංගි මගේ පැත්තට අත වැනුවා මාත් ගියා ගිහිං පොටෝ එකක් අරං දුන්නා ඒ දෙන්නගේ. එයාල කොළඹට ආසන්න කැම්පස් එකක. රිසච් එකකට ඇවිත් තිබුනෙ. ඒ පාර මං ඉතිං ඒ දෙන්නට තේ වතුර එහෙම අරං දුන්නා. අරං දීල අපි තුනම ගියා ස්වාභාවික විද්‍යා කෞතුකාගාරය බලන්න.

ඉතිං ඉන් පස්සෙ දෙගොල්ලන් දෙපසට වෙන්වෙලා ගියා. 
අද හමු වුනාම මං ඇහුවා. ඇයි ඔයාල කෝල් එකක් වත් දුන් නෑ නේ කියලා.
එතකොට නංගිල දෙන්න මූන දෙක බලාගෙන කෝ ඉතිං ඔයා නම්බර් එක දුන්නෙත් නෑනෙ කිව්වා.
පස්සෙ මං එවෙලම නම්බර් එක ඉංගිරිස්සියෙන් කිව්වා. කටකාර නංගි කිව්වා. අපිට සිංහල එක කියන්න කියලා. ඒ පාර සිංහලෙනුත් කිව්වා. මං හිතන්නෙ දිගටම ගෙදර ඉන් කම්මැලි ඇති. දැං සති කීයක්ද කැම්පස් වැහිල්ලට. ගෝල් පේස් යනව කිව්වා. සමාරවිට දැනුත් එතනට වෙලා ඇති. මාර ආතල් ඩබලක්. 

ඉන් පස්සෙ මට මගඇරුන අමතුමක් දීල තිබුනා. මග ඇරුන අමතුම දුන්නට මොකැ මට ඒ දෙන්නගේ නම් දෙකවත් මතක නෑ...ඒ පාර කෝ කරලා නම අහ ගත්තා. පස්සෙ කතා බහ කරල බලන්න ඕනි. සාමාන්‍යයෙන් එහෙම බස්වල අතන මෙතන අහම්බෙන් හමු වෙන අය ආයෙත් අහම්බෙන් හමුවෙන්නෙ ඉතාම කළාතුරකින්. 

පිටකොටු ගමන..

අද වැඩට ආවට ඒ තරං වැඩකුත් නෑ වගේ. පොඩ්ඩක් පිටකොටු පැත්තෙ රවුමක් ගහන්න ඕනි කියල හිතිල බස් එකක නැගල ආව පිටකොටු දිහාට. සමහර අපේ රියදුරු මහත්තුරු සතියෙ දවසටත් මෙහෙ මයි වැඩ නැති වෙලාවට. ගෙවල්වලටයි සමහරු ගමේම ඉන්න අයටත් බඩු ගෙනියන්නෙ මෙහෙන්. ඒ අතර ඉතිං මෙහෙං අඩුවට කෑලි තුනහතරක් අරං ගම දිහා පොඩියක් වැඩි ගානකට විකුනගන්න අයත් ඇති.

මගේ අතබනුව දමාගන්න කවරයක් ගන්න කියල ගියා පලවෙනි හරස් වීදියෙ ට්‍රාන්ස් එකට. ට්‍රාන්ස් ඒෂීයා කියන්ෙන පිටකොටුවෙ අතබනු උපාංග වලට සුපතලම ස්ථානය. එතනින් තමයි ගොඩක් අය තොග වශයෙන් සහ සිල්ලර වශයෙන් අතබනු උපාංග මිලදී ගන්නෙ. තිර, පරිපථ, මතක පත්, රිබන්, ඔකී මෙකී නොකී ගොඩක් දේවල් එතන තියෙනවා බොහොම අඩුවට. ඒත් ඉතිං විය යුතු විදියටම ඇතුලෙ පෝලිම. සහ සෙනඟ. අතබනු කවරෙට ඒ තරං වෙලාවක් මිඩංගු කරන එක පාඩුයි වගේ තේරුන නිසා වෙනත් කඩයකින් මා අතබනුවට කවරයක් මිලදී ගත්තා. ඒ අතබනු කවරය පෙර මා මිලදී ගත් එවන් කවරයට වඩා රුපියල් සීයක්ම අඩුයි..ඒ කියන්නෙ කලිං එක දෙසීයයි මේක සීයයි..

පලවෙනි හරස්වීදිය හරියෙ එනකොට වැහි කලුවක් වගේ තිබුන අහසෙ. ඒකද නැත්තං වෙන හේතුවක්ද දන්නෙ නෑ පේමන්ට් එකේ හිටපු අය බඩු අරං ඇතුලට දිව්වා. සමහරු එවෙලම ඒ බඩු ටික අකුලගෙන ඇතුලෙන් තියනව දැක්කා. සමහර විට පදික වෙළඳාම තහනම් නිසා පොලිසිය එනකොට එහෙම ඇතුලට දුවනවාද දන්නෙත් නැහැ. දැන් පිටකොටුවෙ පාරවල් වල ඉස්සර තරං පදික වෙළදාම නෑ. එක අතකින් හොඳයි. ඒත් ඉතිං පිටකොටුවෙ හරස්වීදි තියෙන්නෙ මිනිස්සුන්ට පයිං ඇවිදල බඩුවක් ගන්න තියෙන තැන. වාහන වලට ඔතන කොහොමත් හැෙරන්න බැහැ.

ඒක අරං අතබනුව උජාරුවට ඒක ඇතුලෙ දාගෙන පොඩියක් මළු කඩයකට ගියා. හප්පා මළුවල ගනන්. රුපියල් දාහට අඩුවෙන් මල්ලක් දැක්කෙම නෑ. ඒ පාර මලු ගන්න අදහස පොඩියක් හිතේ තියාගෙන තව මොනව හරි බලාකියා ගන්න ඕනි කියල දෙවනි හරස්වීදිය පැත්තට ආවා. දෙවනි හරස් වීදියෙ කොනේ(මේන් ස්ට්‍රිට් එකට කිට්ටුව) එකදවසක් උන්නා මවුලානා කියල වඩේ ඔන්ලයින් වඩේ කාරයෙක්. මිනිහයි වඩේ එවෙලමයි හදන්නෙ. එදා සම්බෝලෙකුත් එක්ක වඩේ දෙකක් කෑව ඉස්සො වඩේ එලම කිරියට තිබුනා. මිනිහ ඒක විකුනන්නෙ වෙන තැන්වල නෑ මවුලානා මාක් වඩේ කියලා.. ම් හු අද වඩේ කාරයා නෑ..මිනිහ සැටඩේ ලීව් එකක් දාල වෙන්න ඇති. 

ටික දුරක් ගියාම හමුවුනා තුවා බෙස්සීට් කොට්ට උර හෝල් සේල් තියෙන කඩයක්. මේක දෙවන හරස් වීදියෙ මැද හරියට වෙන්න තියෙන්නෙ. හෝල් සේල් ප්‍රයිස්ම වගේ අපිට සිල්ලරටත් ගන්න පුලුවනි. ඉතිං මට හෙට අනිද්ද ගොඩක් වෙලාවට චාරිකාවක් දුර ගමනක් යෙදෙන ලකුනු තියෙනවා. තියෙන බෙස් සීට් තුවා ටිකක් පරණයි. අනික ඒවයි පොෂ් ලුක් එකත් අඩුයි. ඒක නිසා දෙකක් ගත්තා. බෙස් සීට් එක තුන්සිය පනහයි. ඇඟ පිහිදාන තුවාය රුපියල් දෙසීයයි. මේ තුවාය හැර වෙනත් තුවා තිබුනා ඒත් ලස්සන උනාට පිහිදෑවෙන් නැත්තං පොල් කොටන්නයැ. ඉතිං මේ පාටම ගත්තා.

 ඉස්සර හොස්ටල් ඉන්නකොට අපේ ඇඳට වෙන එවුං එනකොට අපි කියන්නෙ ආවට කමක් නෑ බෙස්සීට් එකේ අයිස් කීං ගානව හෙම නෙවෙයි කියලා..ඒකෙ තේරුම තේරුං අරං පිස්සුද බං මං ඔටෝචූන් ඩිසේබල් කරල ඉන්නෙ කියනවා..සමහරු..
තව ටික දුරක් දෙවනි හරස්වීදිය දිගේ වටපිට බල බල වැනි වැනි එනකොට තුන්සිය පනායි කිය කිය සෙරෙප්පු විකුනනවා. දෙලර් පාට බඩු වගයක්. මේ ළඟදි දවසක අපේ බෝඩිමෙ යාලුවෙක් නමසිය පනහට ගත්ත කිව්ව එකටත් වඩා ගැම්මක් තියෙන ලයින් එකක් තිබුනෙ. ඒ නැතත් ගෙදර ගිහිං අයියට හරි පංගරාත්තු කරල ලකුනු ටිකක් දාගන්න එකනෙව කියල ගත්ත සල්ලි සල්ලි කියල බලන්නෙ නැතුව තුන්සිය පනහෙ සෙරෙප්පු ජොඩුවක්.

මේ පිංතූරවලින් පෙන්නුම් කරන්නෙ ඒ ගත්ත සෙරෙප්පු ජෝඩුව තමයි. ටිකක් කදිමෙට තියෙනවා නේ. තුන්දාස් පන්සියක් දීල ගත්තත් දාන්නෙ මහපොලොවෙ නෙව. නැතුව ඕක දාං අපි දිවිය ලෝකෙ යන්නයැ. ලාබෙට හිතන්න පුරුදු වෙන එකත් ආතල් වැඩේ. මං ඕක පුරුදු උනේ අපේ අම්ම එක්ක පොලේ ගිහිං.. පණුවො ඉන්න වම්බටු වලට මැහි තෙල් ගහන්නෙ නෑ කියල කවුද ලංකාවෙ ආචාර්ය මහාචාර්ය මහත්තයෙක් ගන්නෙම පනුවො ඉන්න එලෝලු තමයිලු.. ඉතිං අම්ම පොලේ ගිහිං ගේන එලවලු සුද්දකරනකොට පනුවො හමුවෙන සමහර වතාවන් වල අපේ අම්මා පනු එලවලු අඩුවට රැගෙන ඒමේ ආනිසංස විස්තර කරන්නෙ එහෙමයි..

තව ටිකක් දුර යනකොට ටී ෂර්ට් තියෙනවා දෙසිය පනහට. එතනින් අපේ රියදුරු උන්නැහෙ දවසක් රුපියල් තුන්සිය පනහට මරු ටී ෂර්ට් එකක් ගත්තා. මාත් හිටියා. මටත් ගන්න කියල වදේ ඒ වෙලාවෙ.  මං හිතුවෙ ඒක වැඩක් නෑ බාලයි කියලා. ඒත් පොර තාමත් මාස ගානක් වෙලත් සෝක් එකට ඒක අඳිනවා. ඒකනං ඇත්තටම පිටරට ලොට් එකක් වෙන්න ඇති. ඒ ඩිසයින් එක මං වෙනතැනක දැක්කෙත් නෑ. අද තිබුන ඒව දෙසිය පනහයි..මෙලෝ කොලිටියක් නං නෑ වගේ..ඒත් ඉතිං ඒ තරම්ම අවුලක් ඇත්තෙත් නෑ. පැක් කරපු ටී ෂර්ට්ස් වගයක්.. ගත්තා එකක් ඔන්න ඔහෙ බෝඩිමෙ ඉඳන් කඩේට යන්නවත් ඇඳං යන්න බැරියැ කියලා.. 

දැං ඉතිං මලු දෙක තුනක් අතේ..තාත්ත වගේ පේනව ඇති කියල හිතුනා. ඒ ටී ෂර්ට් අරං එනකොට ලාස්සන මුස්ලිම් ගැනු ලමයි දෙන්නෙක් එක්ක තාත්ත කෙනෙක්. එක ළමයෙක් ෂල්වාර් එකක් ගැන මොකද්ද කියනවා. තාත්තා ඒකට එකඟ වෙන්නෙ නැ වගේ. ඉතිං අර ළමයත් කියෝනවා. තාත්ත ඒ පාර මොකද්ද තදින් කිව්වම අර ගෑල්ලමය හැරිල නිකං හිටියා. ඒ මනුස්සයට සල්ලි නැතුව ඇති ඒ ලමය ඉල්ලපු එක අරං දෙන්න. මට හිතුනා. පියකරු එකම කුරුලෑවක් වත් නැති දිගටි මූනක්. බාගෙට සාරි පොටකින් වැහිල. තාත්තා බැනපු නිසා යාම්තම් අමනාප කළු වලාවක් ඇගේ මුහුනෙ තැවරිලා තිබුනා..

මෙච්චර ගත්ත බම්බු පොටෝ අරගත්තා. කෝ බං ඒක? කස්ටිය හිතයි. ඇත්තටම පොටෝ එකකට ලස්සන මුඩ් එකක්. ඒත් ඉතිං ආයි වතාවක් පොටෝ ගන්න මගේ ඔලුව බෙල්ල උඩ ඉතිරි වෙලා තියෙන්නෙ එපැයි. ඒ නිසා පොටෝ ගන්න ගියෙ නෑ..

බෑග් එකකුත් ඕනි. ඒත් ඉතිං බෑග් කඩ තියෙන්නෙ මල්වත්ත පාරෙ කොනේ. ඒවට ගියත් හෙට්ටු කරන්නයි මිල අඩු කරන්නයි. උංගෙ බන අහන්නයි මාර වාතෙ. ඔහොම හිත හිත එනකොට දෙවැනි හරස් වීදිෙය මෙහා කොන හරියෙ තිබුනා බෑග් තොග කඩයක්. පොඩියක් ඔලුව දාල වටපිට බෑග් අතගාල එහෙම මම හිමීට ඉන්න අයිය කෙනෙක්ට බෑග් එක පෙන්නල. අරින් එකක් ගන්න පුලුවං වෙයිද කියල අහිංසක ඇඩ් එකක් දාල ඇහුවා. ඒකෙ මිල අටසිය පනහයි. මං මේ බෑග් එක වගේම එකක් එක්දාස් නවසීයට කලිං කඩෙ තියෙනව දැක්කා. ඇත්තටම මේ බෑග් එකේ තොග මිල මේක වෙන්නම ඕනි. මොකද පෙටා වල මේ වගේ බෑග් එකක් අඩු කරන්න පුලුවං උපරිම ගානත් මේ වගේ..

ඉතිං අර කඩේ ඩයල් එක ටිකක් එහෙ මෙහෙ අනික් කස්ටමර්ලට බඩු දෙනකම් මං බලාගෙන හිටියා. පස්සෙ විනාඩි දෙකක් විතර ගියාම පොර මේකනේ කියලා ඇතුලෙන් අර බෑග් එකේම හොඳ එකක් ගෙනාවා. 
ඇත්තටම මේකෙ තියෙන මැහුං සිපර් එහෙම මාස හයක් යනකොට කැඩෙයි. ඒත් ඉතිං දිනපතා පාවිච්චියට නෙමෙයි නෙව. තව ටිප් එකක් යන්න හදනෙකොට තව එකක් ගන්න බැරියැ.. කොහොම උනත් ඔය අතර කඩේට ආපු ටිකක් හයිකාර වොයිස් එකක් තියෙන එකෙක් ඇහුවා මල්ලී මේව එකක් දෙනවද කියල සද්දෙන්. ඌට කඩේ කැෂියර් හිටිය එකාම. නෑ කෑලි හයට අඩුවෙන් දෙන් නෑ කියල එලෙව්වා. ලොකු ලයින් එකත් සමහර වෙලාවට අවාසි වෙනවා මට හිතුනා.. 

සමහර පත්තර කාරයොන්ට ලියන්න දේවල් නැතිඋනාම පිටකොටුවෙ සිද්දවෙන නොයෙකුත් දුරාචාර ගැන ලියනවා. මොකද පත්තර කන්තෝරු ගොඩකට පිටකොටුව ළඟ නිසා. මං දැන් අවුරුදු ගානක් තිස්සෙ පිටකොටුවෙ ගිහිං කොම්පියුටර් බඩු, රෙදි පෙරෙදි, සපත්තු, විදුලි උපකරණ වගේ ගොඩක් දේවල් මිලදී ගෙන තියෙනවා. ඒ මිනිස්සුන්ගෙ කියල විශේෂ කපටිකමක්. විෂේශ නැහැදිච්ච කමක් මටනම් පෙනිල නෑ. සාමාන්‍යයෙන් ඉතිං පිටකොටුවෙන් බඩු ගන්නවනං පොඩියක් ඇවිදලා බලන්න ඕනි මිලදි ගන්න කලිං.. ඒක ඉතිං මොන ටවුං එකෙං බඩු ගත්තත් තියෙන තියෙරියක් නේ...

26 comments:

  1. මං මේ ලිපියට කැමතියි... සමහරුන්ට අනුව මේවා පල් හෑලි. ඒත් මේ තියෙන්නේ සාමාන්‍ය දෑනිමට එකතු වෙන්න ඕන කාරණා. අපි හර බර දේවල් කියලා හෙනට ඇඟට අරං ලියන සමහර දේවල් වලින් මෙලෝ බල්ලෙකුට වැඩක් නැති වෙන අවස්ථා වැඩියි. ඒත් එහෙම මහන්සි වෙලා ලියපු එහෙකට කට්ටිය ප්‍රතිචාර දක්වනවා අඩු උනහම හරි..උනන්දුව අඩු උනාම හරි හිතේ අමනාපයක් හදාගන්න උන්දලා දැන් වැඩියි. ඒත් මිනිස්සු අල්ල ගන්නේ ඒ ඒ අයට පත්තියං වෙන දේවල් වැඩි වෙලාවට...

    මමත් ඊයේ ගියා ඇවිදින්න පිට කොටුවේ..හැබැයි ටික වෙලාවයි.. ඒත් ෆෝන් එකේ හවුසින් එක ගන්න කියලා... මේ ලිපිය තව දවසක් කලින් මං කියෝලා තිබුනනං මං උඹෙන් අහගෙන හරි යනවා ඔය කියන ට්‍රාන්ස් එකට..කොහොමද බලන්නවත්.. ඒත් ඒක දැන් මග ඇරිලා ඉවරයි...මං වගේම තව කිහිප දෙනෙකුට උනත් මේ ලිපිය හරහා තමුන්ට වැදගත් වෙන දේවල් ටිකක් හරි ලැබෙයි... එහෙම මට වැඩක් ඇත්නම් ඒකට ස්තූති කරලා හරි අගයලා හරි යන එක මං කැමැත්තෙන් කරන දෙයක්.. එහෙම නැතිව ලොකු සීන් බලලා අපි මොනවා කියන්නද..?

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්ත. සරළ හා පෞද්ගලික කාරණා ඇතුලත් වුනත් මේ ලිපියෙන් නොදන්න දේවල ටිකකුත් දැන ගත්තා.

      //අපි හර බර දේවල් කියලා හෙනට ඇඟට අරං ලියන සමහර දේවල් වලින් මෙලෝ බල්ලෙකුට වැඩක් නැති වෙන අවස්ථා වැඩියි.// - මේකටත් මම පක්‍ෂයි. මමත් සමහර වෙලාවට දවස් ගණන් විවිද දේවල් කියවලා, බලලා, හිතලා ලියන දේවල් කියවන්න එන්නේ සමහර වෙලාවට බොහොම අඩු දෙනෙක්. ඒ වගේම ලිපිය ඒ ටික දෙනා කියවන්න ගත කරන දින ගණනත් සමහර වෙලාවට ඒක සකස් කරන්න ගිය දින ගණනටත් අඩුයි. ඒවගේම මිනිස්සු බලන්නෙත් තමන්ට යාවෙන දේවල් පමණයි කියන එකත් ඇත්ත. ඒ වගේම මමත් භාගයක් අර හිත අමනාප හදාගන්න ගොඩටත් අයිතියි. බොරුවක් නෙමෙයිනේ මහන්සි වෙලා ලියන එක කියවන්නේ නැති කොට :D...

      Delete
    2. " ඒ වගේම මමත් භාගයක් අර හිත අමනාප හදාගන්න ගොඩටත් අයිතියි."

      ඔක්කෝමත් හරි ‍ඔන්න ඕකනේ නරක... හැබැයි මේ මං කිව්ව ටික දිනේෂ් ගැන හිතලා එහෙම ලිව්වානං නෙවෙයි... කොච්චර දිග උනත් මම සත්සමුදුර කියවනවා. කමෙන්ට් නොකරන අවස්ථා වැඩියි. හේතුව විෂය ගෝචර නොවීම..ඒක දිනේෂ්ගේ වරදක් නෙවෙයි මගේ වරදක්. ඉතිං කොහොමද නොදන්නා දේකට කාරණා කියන්නේ...

      ඒවා නොවටිනවා නෙවෙයි... ඒත් නිතර අපි ගැටෙන දේවල් එයිට වඩා හිත පැහැර ගන්නවා..කාරණය ඒකයි..පිට කොටුව කිව්වම කාටද මතකයක් නැත්තේ..?

      නැවතත් කියන්න තියෙන්නේ අර හිත අමනාප කරගන්න කෑල්ලට මං ආයෙමත් කැමති නැහැ කියලා අවධාර‍ණයෙන් කියන්න ඕන...

      Delete
    3. හොඳ දෙයක් ලියල දැම්මම පිරිස ටිකක් අඩුවුනත් මොකද කියල හිතෙන්නෙ නැද්ද(දෙන්නටම)? අනෙක හොඳදේ වටා එකතුවෙන්නෙ අඩු පිරිසක් කියනඑක බ්ලොග්වලට විතරක් නෙවේ සමාජයේ ඕනම දේකට පොදුයි නේද?

      අමනාපය නං ඇතිවෙන්නෙ දැනටමත් මනාප වෙලානං නේ.

      Delete
    4. මම නම් හිතන්නෙ බ්ලොග් කියන්නෙ පුද්ගලික ප්‍රකාශනයක්.. ඒ හරහා අපි අපිට ඕනි දේ කියනවා.. ඒත් අපි හොඳයි කියල අමාරුවෙන් හොයල බලල හෝ ගවේශනය කරල ලියන දේවල් සමහරවිට පාඨකයින් බහුතරයට නොතේරි යන්නත් පුලුවනි..
      ඒත් සුලු බොහොම සුලු ගානකට හරි තේරුම් යනවා ඇති...ඒ සුවල්ප දෙනා හරි වැදගත්...
      ලෝකයේ මහා විද්‍යාඥයා විදියට සලකන අයින්ස්ටයින් විද්වතා කියපු ගොඩක් කෙහෙම්මලවල් භෞතික විද්‍යාවට සී එකක් තියෙන මටවත් තේරෙන්නෙ නෑ...ඒත් ඒකෙං ඒතුමාගේ වටිනාකම අඩුවෙන්නෙ නෑ..

      ඒත් ඉතිං පොඩියක් කියන්න ඕනි සමහර අයි ටී බ්ලෝග සහ වෙනත් සංකීර්ණ කාරනා ගැන තියෙන බ්ලොග වල භාෂාව යෙදීම් සහ ඔවුන්ගේ පැහැදිලි කිරීමේ විලාශයන්හි දෝෂ සහගත බව නිසා එම විෂය ඒ ලියන කෙනා ප්‍රමාණයටම නොදන්නා අයට තේරෙන්නෙ නෑ...

      ඒත් සත්සමුදුර මාත් ඉදලා හිටලා කියවන හොඳ බ්ලොග් එකක්... මාර තුමාගේ බ්ලෝග වලිනුත් මා යමක් ඉගෙන ගන්නවා... ඒ වගේමයි අපේ මීවනපලාන උන්නැහගේ රාවනා පෝස්ටු තුලිනුත් මා නොදන්නා කාරනා බොහොමයක් ඉගෙන ගත්තා..

      Delete
  2. පිටකොටුව කියන්නේ අරුම පුදුම තැනක්...සමහර තැන්වල කඩේ ඇතුලේ තියන භාණ්ඩේ එලියෙ විකුණනවා කඩේට වඩා අඩුවෙන්.

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙමත් වෙනවා.. ඒත් ඉව තියෙන සමහරු දන්නවා කොහෙද අඩුම තැන කියලා..ගොඩක් වෙලාවට ඒ තැන්වල මහ හයියේන කෑගහල ඇගේ ගහල බඩු විකුනන්නෙත් නෑ..

      Delete
  3. "පරණ දේවල් බලන්න විතරක් නෙමෙ පරන දේවල් තියල තිබුන තැන් බලන්න" කිව්වනං හරියට හරි.
    "ඔටෝචූන් ඩිසේබල් කරල ඉන්නෙ" :)

    ‍ෙහාඳ විස්තරයක්.

    ReplyDelete
    Replies
    1. ලංකා ඉතිහාසය කියන එක ගැන නියම අදහසක් එන්නෙ නම් නැ කටුගෙය තුලින්..කටුගෙය තුල තියෙන්නෙ ඉතාම සිමිත පුරාවස්තු ප්‍රමාණයක්...විතරයි...

      Delete
  4. සිරාවට අයියෙ...කොහේ ගියත් ඇවිදල බලල බඩු ගන්න ඕන.
    කරුමේ කියන්නෙ ඔය පුරුද්ද මට ඇත්තෙම නෑ.අම්මගෙන් හැමදාම බැනුම්..
    හොඳ ලිපියක් අයියේ....

    ReplyDelete
  5. kotuwe aduwata ganna ewa nam thiyenawa habei ganna api hodata balala ganna one .godak laba baduwala hil

    ReplyDelete
    Replies
    1. පිටකොටුවෙ තියෙන බඩු ලාබයි...මමනං ඉතිං කියන්නෙ ඒ මිලේ හැටියට කොලිටි බඩු තියෙනවා.. දැං පෙනේරයක් ගමු අපි..පෙනේරෙ ආපිකෝ සුපර් ගත්තත් පෙටා පේව්මන්ට් එකෙන් ගත්තත් හිල් නෙව...

      Delete
  6. හ්ම්ම්..නියම විස්තරේ..මාත් එකම එකපාරක් ගියා කොටුවෙන් මොනාද ගන්න.. ආය නම් නැහැ.. මිනිස්සු බලෙන්ම කඩවල් වලට එන අයව ඇදගන්නවා..බයත් හිතෙනවා එතනට ගියාම..

    ReplyDelete
    Replies
    1. ඔබ ඔය කියන්නෙ පිටකොටුවෙ බස්නැවතුම්පොල ආසන්න කඩ ගැන..ඒවානම් බොහොමයක් එහෙමයි..ඇපල් කඩේට යන්න කලිං ඇපල් බෑග් එකේ දාල ඉවරයි..
      ඒත් ටිකක් ඇතුලට වෙන්න හරස් වීදි වල හෙම එහෙම නෑ...
      මං අපේ ගෙවල්වල පුංචි උන්ට වලලු සැට් එකක් ගෙනියෑව රුපියල් හතලිහක් දීල චූටි දුවලා තුන් හතර දෙනෙකුටම දෙන්න වලලු තිබුන එතන...
      ඒත් ඒක අර කඩවල් වල අයිනෙං යන අයත් ඇතුලට ඇදගන්න ජාතියෙ එකක් නෙමෙයි..
      කෝමත් ටිකක් අපේ ආටෝපෙ අඩුවෙන් පේන සරල ඇඳුමක් ඇඳගෙන යන එකනං හොඳයි..නැත්තං ඇඳුමටත් එක්ක මිනිස්සු ගනන් කියන්නෙ...

      Delete
  7. හොදයි මේක...

    ReplyDelete
  8. මමත් මේකට කැමතියි.....

    ReplyDelete
  9. මිලේ වෙනසනම් ගොඩක් තැන්වල තියෙනවා. නුවරඑලියෙ තියෙන්නෙත් ඒ වගේ තත්වයක්. පිටින් එන ගොඩක් අය හිතන්නෙ එහෙදි ඇඳුම් එහෙම ගනන් අඩුවට ඇති කියලා. මම නුවර පේමන්ට් එකෙන් 250ට ගත්තු ෂෝට වගේම එකක් නුවරඑලියෙ යාලුවෙක් අරන් තිබුනා 700ට. 1600 කීව ජර්සියක් 1000 වෙනකන් ගනන් අඩු කලා මුදලාලි අඳුරන යාලුවෙක් එක්ක ගියාම.මම නම් සතියම නුවරඑලියෙ ගත කලාට සල්ලි දීලා දෙයක් ගන්නෙ හරිම අඩුවෙන්. ඊට හොඳයි සතිඅන්තෙ නුවර ටවුමෙ ඇවිදලා අවශ්‍ය දේවල් ගන්න එක.

    ReplyDelete
  10. මමත් හරිම කැමති ලිපියක් මෙවගේ ලිපි ආසාවෙන් කියවනවා..මෙතෙක් හමුවුන වටිනා ලිපිවලින් එකක්..!

    ReplyDelete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. සිරාවට කස්ටිය නයි අරින එක ගැන සැහෙන්න කතාවක් ගියපු කාලෙක මේක වටිනා ලිපියක්.පිටකොටුව ගැන මවල තියෙන යකාත් එච්චර කළු නෑ කියල තේරුම් කරන උත්සාහයක්.ජීවන වියදම තදින්ම දැනෙන මේ කාලේ පිටකොටුව,පමුණුව, දෙල්කඳ පොළ වගේ තැන් පොකට් එකට හරියන විදිහට යමක් ගන්න කියපු තැන්.

    ReplyDelete
  13. පිටකොටුවනං මාරයි ඈ..
    ඇඩෙනවා..
    ඉස්සල්ලා කඩෙං බඩුවක (භාන්ඩයක් ඈ) ගනං ඇහුවම රු 1000යිලු. ඊලග කඩෙං ඇහුවම රු 850යිලු ඊලග කඩෙං ඇහුවම 1200යිලු ආයේ ඉස්සෙල්ලා කඩෙංම රු 850ට අරං ඇවිත් 1200 කඩේට එහා පැත්තෙ කඩෙං ඇහුවම ඒ බඩුව ගැනම 700යිලු..
    ඇඩෙන්නැතුව තියෙයිද ඉතිං??????

    ReplyDelete
  14. අපූරු ලිපියක්. පිටකො‍ටුවට ගියා වගේ දැණුනා. ඉස්සර මං පිටකො‍ටු ගියාම වරද්දන්නෙමෙ නැතිදෙයයක් තමා මුස්ලිම් පල්ලිය ගාවින් ගන්න පොල් වෙරළු අච්චාරුයි. එතනම කඩේකින් බොන ෆලුඩා එකයි. හැම තැනම තිබ්බත් එව්වා ඒතරම් රසට හදන්න වෙන අයට බෑ. තවම තියනවද දන්නෑ?

    මෙහෙම කිව්වා කියලා වැඩක් නොවන බව දන්නවා උනත් ඔන්න ඔහේ කියලම දානවා :)

    පිටකො‍ටුවෙ පිංතූර ටිකකුත් දැම්මා නං,ඒ පරිසරයට යන්ට කැමති, ඒත් හැකියාවක් නැති අයට වටිනවා

    ReplyDelete
  15. අත බනුව
    මග ඇරුනු ඇමතුම
    මේ දෙකම මම ඉගෙනගත්තෙ මේ පෝස්ට් එකෙන්.
    මමත් ආසා වැඩක් තමයි පිටකො‍ටුවෙ ෂොපිං යන එක ඉස්සර ඉඳන්ම.
    දීපු ඔත්තු වලට ස්තුතියි අමිල. මාත් යන්න ඕනෙ අතබනු කවරයක් ගන්න ට්‍රාන්ස් ඒෂියා එකට.
    henryblogwalker the Dude

    ReplyDelete
  16. හොද විස්තරයක්, පිට කොටුවට මොනවා හරි ගන්න ගියාම මොලේ අව්ල් වෙන වෙලාවල් තියනව.මෙහෙම ගත්ත කෙනෙක් කියන තැනක් නම් අව්ලක් හිතන්නේ නැතිව ගතහැකි. බොහොම ස්තුතියි.

    ReplyDelete
  17. හෙන ලොකු තියරි නැති වුනත් , පොලව ගැටලන්න කල්පනා කරන්න දෙයක් නැති වුනත් මුල ඉඳං අගටම ආසාවෙන් කියවපු ලිපියක්

    ReplyDelete
  18. වර්ගපූර්ණිකාව බැලීමෙන් ඉතිහාසය ගැන දුක් වීම ගැන අදහාගැනීමටනොහැකියි. එය බැලු බැලූ හෙළයෝ සතු‍ටු කඳුළු වගුරවමින් හැඬූ බවනම් පවසා ඇත.

    ලිපිය නියමෙට ලියල තියෙනව. ආ පිටකො‍ටුව යනුත් රාවණා රජතුමාගේ මාලිගාවේ පිටින් තිබුණ බලකො‍ටුවක්. පස්සේ ඒ භූමියේ තිබූ ජයග්‍රාහීභාවය නිසා සුද්දොත් එතන කො‍ටුවක් හැදුව.

    ReplyDelete