Thursday, January 23, 2014

ඇඹුල් අඹ

කොළඹ සිටින විට හමන දුම සහ දුහුවිලි මුසු වාතයට වඩා තණමල්විල පැත්තේ දුහුවිලි මුසු වාතය වඩාත් සෞම්‍යය. ඒ පැත්තේ ජීවිත කෙසේදැයි අධ්‍යනය කරන්නට මට අවකාශයක් නොවීය. මා රාජකාරි කටයුත්තක් සඳහා තණමල්විල දිහාවට ගොස් සිටියෙමි. ඒ ප්‍රෙද්ශයේ මගේ යාලුවෙක් වීය. තණමල්විල ඔහුගේ ගමයි.

මා සමග ගිය ලොකු මහත්වරුන්ට හොඳ මීකිරි කෑමට උවමනා විය. මාගේ මිතුරාට කිව් පසු ඔවුන් ළඟ හරක් නොමැති බැවින් කිරි නොමැති බව කිව්වේය. නමුත් වෙනත් මී හරකුන් සිටින තැනකින් කිරි මිලට ගෙන මුදවා දිය හැකි බවක් කීවේය. කිරි මුදවා දුන් පසු ලීටරයක් රුපියල් සීයක් පමණ විය හැකි බව මුලින්ම මාගේ මිතුරා මට දැන්වීය. මා ඒ කිරි ලීටර් හයක් මුදවන්නට කීවෙමි.

පසුදින මුදල්ද රැගෙන ලොකු මහත්වරු සමග කිරි බලන්නට ගියෙමු. කිරි මිදී නොතිබුනි. එවිට නිවසේ සිටියේ මාගේ මිතුරාගේ නැගනියයි. මා සමග ගිය මහත්වරු කිරි වල මිල අඩු කරන්නේ නැද්දැයි අර නංගීගෙන් ඇසුවෝය. ඉන් පසු මාද මහත්වරුන්ගේ පැත්ත ගන්නට ඇත. අවසානයේ ලීටර් හයට රුපියල් හාරසීයක් ගෙවා අපි ආවෙමු.

පසුව මගේ මිතුරාට හොඳටම තරහ ගොස්..“මචං නිකං ඕන්නං කියපං.මං උඹට ඕන තරං කිරි මුදෝල දෙන්නං. ඒත් එක එක ලොක්කු *ක්කු එක්ක තවත් එන්න එපා. උන්ට ඕන තැනකින් ගන්න කියපං“ යැයි කීවේය. ඔහු බනින විට මා කලිං පොරොන්දු වූ ගනන ගෙවීමට නොහැකි වීම ගැන සැබැවින්ම අවුලක් මට දැනුනි. ඒ මා රක්ෂාවට ගිය මුල් අවධිය නිසා එතරම් සමාජ දැනුමක්ද මට නොවීය.

කෙසේ හෝ මට මහත් සැර තැනකින් වැරදුනු බව මට මතක් විය. පසුව කිරි රැගෙන ආ මහත්වරු ඒ කිරි මිදෙමින් පවතිද්දී රැගෙන ආවත් ඒවා මනා රසයකින් යුක්තව අයිස් ක්‍රීම් වැනිව තිබුන බව කිව්වෝය. ඔවුන්ද හෙට්ටු කර අඩු මුදලක් දෙන්නට වීම ගැන කණගාටු විය.

ගොවීන්ට ලැබෙන මිල සම්බන්ධව කතාවෙන බොහෝ තැන්වලදී මට මේ සිදුවීම මතකයට එයි. මා සම්බන්ධව මා ඇසුරු කළ මිතුරා හොඳින්ම දන්නා නිසා එය මගේ වරදක් යැයි ඔහුද ඔහුගේ පවුලේ අයද සිහෙනන් වත් නොසිත්නට ඇත. නමුත් අදද මට ඒ වෙලාවේ කෙලින් තීරණයක් ගැනීමට නොහැකි වීම ගැන අදද ඇතිවන්නේ පසුතැවිල්ලකි. 


හෙට්ටු කිරීම සමහර අයගේ පුරුද්දකි. පිටකොටුවේ ඇවිදින අයෙක්ට එකම තත්වයේ බඩුව පවා විවිධ තැන්වල විවිධ මිල ගනන් වලට ඇති බව පෙනේ. නමුත් මා වඩාත් කැමති හෙට්ටු කලාට මිල සතයක්වත් අඩු නොකරන තොග වෙළදසැල් වලින් බඩු මිලදී ගැනීමටය. බොහෝවිට වෙනත් අඩුකරන තැන්වලට වඩා බඩු වල තත්වය හොද වෙන අතර මිලෙන්ද අඩුය. නමුත් එවැන් කඩවල් සාමාන්‍යෙයන් අපේ ඇස උඩට කඩාවැටෙන තරම් කිට්ටුවෙන් පිටකොටුවේ පේන්න නැති අතර සොයා බැලිය යුතුය. එවන් කඩයකට ගොස් අඩුකරන්න යැයි කීම විහිළුවකි. මන්ද එම බඩුවට ඇති අවම මිල බොහෝ විට එයම වන බැවිනි.

Wednesday, January 22, 2014

අඩ නිරුවතින් දේශපාලනය කිරීමේ අවුල

පොලේ ගිය ලඳක්
බිකිනිය හෝ ඊට ආසන්න ඇඳුමකින් පොටෝ වලට පෙනී සිටි නිලියන් පිරිසක් දේශපාලනයට ඇවිත් ඇත. ඔවුන් ඇතැමෙක් විසින් නිරූපිකාවන් ලෙස හැඳින්වෙයි. දැන් අපේ රටේ සිංහල බෞද්ධ ජනයා ඇතුලු විශාල පිරිසක් මේ ගැන කෝප වී ඇත. ඇතැමෙක් සතුටු වෙති. ඇතැමෙක් දේශපාලනය නැමැති වැදගත් සංකල්පයට අත් වෙමින් යන ශෝචනීය තත්වය ගැන දුක්වෙති.

එම නිලියන් විසින් පෙරදී බිකිනිය ඇඳගෙන නිරූපනය කරනු ලැබුවේ ප්‍රේක්ෂකයින් වෙත සතුට ලබා දීමටය. ඒ කාරණාවේදි ඒ ඇත්තෝ සමර්ථ වූ නිසා ඔවුනට ජනප්‍රිය වීමේ අවස්ථාව හිමි වෙන ලදී. නමුත් ජනප්‍රියතාවයේම තවත් අංශයක් සලකා බලන මැතිවරණයනැමැති නායකයින් තෝරා ගන්නා අවස්ථාවට නිළියන් නොගැලපේ යැයි පිරිස කියති. ඒ නොගැලපිම කෙසේ වගුගත කරන්නේ දැයි මට නම් සිතාගත නොහැක.

මංගලගේ නිවසට හොරු පැනීම සහ මංගල සහ ඒ පුරුෂයා අතර අයථා සම්බන්ධයක් තිබීම මේ දිනවල ජාතික ගැටලුවකි. වායුසමනය කරන ලද බස් රිය තුල ජෝඩු අයථා ලෙස හැසිරීම පොලිසියට ප්‍රශ්ණයක් වී තිබුනි. එයද අපේ පුවත්පත් වල සමාජ ගැටලුවක් ලෙස දක්වා තිබුනි. මිනිසුන් කුමන ආකාරයකින් හෝ ලිංගිකව හැසිරීම අන් අයට බාධාවක් නොවන්නේ නම් එයින් මහා සමාජයට කිසිම අවුලක් නොවන්නේ නම් එහි ඇති අරුම පුදුම වටිනාකම කුමක්දැයි කිසිවෙකු පිලිතුරු දෙන්නේ නැත. මංගල කොල්ලා සමග ලොලි පොප් නොව කවර සෙල්ලමක් දැමුවද එයින් මංගලගේ දේශපාලනයට සිදුවන බලපෑම කෙසේ වන්නේ දැයි සිතාගැනීමට නොහැක.

මේ නිලියන් පිරිස අපි මඳකට පසෙකින් තබමු. එක්තරා කාන්තා පිරිසක් මහත්මා ගාන්ධි අනුගමනය කොට එහි ඉදිරිපියවරක් ලෙස නිරුවතින් දේශපාලන වේදිකාවන්හි ජනතාව ඇමතීමට අදහස් කලා යැයි මඳකට සිතමු. අපේ රටේ බොහෝ මාධ්‍යකාරයින්ට අනුවත් මේ ලියන මට අනුවත් මහත්මා ගාන්ධි යනු ලෝකෝත්තර පොරක් නිසා ඒ ගැහුනු මහත්මා ගාන්ධී අනුව වැඩ කිරීම අවුලක් ඇති දෙයක්නොවේ. මෙය මනෝ චිත්‍රයක් මිස සැබැවින්ම සිදුවිය හැකි දෙයක් නොවේ. මන්ද මෙසේ ගාන්ධි අනුගමනය කොට නිරුවත් වන කාන්තාවන්ට අතීතයක් තිබේ. ඒ කාන්තාවන් වඩාත් ඉහල ජනප්‍රියත්වයක් හිමිකරගතහොත් අපේ රටේ පවතින අකලංක,අපක්ෂපාතී මාධ්‍ය විසින් ඒ කාන්තාවන් වැඩිවිය පැමිණිමටත් පෙර යෙදුනු ගමන් විස්තර කල කී දෑ සොයා මඩ සොයමින් ගසන්නට ගන්නවා ඇත.

සමාරවිට ඒ කාන්තාවන්ගේ නිවෙස්වලට හොරු පැන ඒ හොරු විසින් දෙන කටඋත්තර වල කාන්තාවන් සමග අයතා සම්බන්ධතා තිබුන නිසා ගෙදරට පැන්නා යැයි සඳහන් ව තිබෙන්නට හැකිය. එසේම රටේ ප්‍රථම පුරුෂයා රටේ ජාතික ප්‍රශ්ණයක් ලෙස සලකා ඒ කටඋත්තර කැබිනට් මන්ඩලයේම කියවන්නටද පුලුවන. එවිට හුදී ජනයෝ මේ වල් ගෑනු හෙලුවෙන් යන්නෙ ගාන්ධි අනුගමනය කරන්න නෙමෙයි.උන්ගේ තියෙන සංසාර පුරුද්දට. ඕකුංගෙ වල් කමට හෙලුවෙන් ගියාට අපේ මන්ද මහත්තය කරපු තරම් දෙයක් කොරන්න ඕකුන්ට බැහැ. යැයි සාදුකාර දෙමින් කියනු ඇත.

මහත්මා ගාන්ධි අනුගමනය කොට හෙලුවැල්ලෙන් ගැහැනු රැස්වීම් වල සිටින විට ඒ වේදිකාවන්හි පහල සිටින අය ඒ ස්ත්‍රි ලිංග දෙස බලන්නේ වර්ථමාන නිළියන්ගේ ස්ත්‍රි ලිංග දෙස බලන පහත් හැඟීමෙන් නොවේ. ඔවුන් සිතන්නේ ඒ ස්ත්‍රී ලිංගයෝ සමාජය වෙනස් කිරීමේ උදාරතර අරමුණින් අව්වට වේලෙමින් වේදිකා වල ප්‍රදර්ශනයට එන්නේ තමුන්ට සෙත සැලසීමට බවය. එවිට ඒවා මහත් වූ හරසර ලැබෙනු ඇති අතර තරමක් ජනප්‍රිය වූ ගාන්ධි අනුගමනය කරන ගැහැනියකගේ නිරුවත පිහිටා ඇති ආකාරයට තමුන්ද නිරුවත සකසා ගන්නට ආශ්චර්ය දේශයේ ස්ත්‍රීහු ක්‍රියා කරනු ඇත.

වර්ථමානයේ දේශපාලකයින් බොහොමයක් වතුර වැනිය. වතුර වල තිබෙන එක අමුතු ලක්ෂණයක් නම් දමන බඳුනේ හැඩය ගැනීමයි. ඔවුන් ආගම් තුන හතරම අදහති. දුප්පත් පැල සහ පෝසත් මන්දිර වලට කැමැති යයි පෙන්වති. උදේඝෝෂකයින්ට මෙන්ම උද්ගෝෂනයට ලක්වන්නන්ටද පක්ෂය. ෆැක්ටරි අයිතිකරුවන් සහ ෆෑක්ටරි වලින් වතුර අපිරිසිදු වන දෙපාර්ශවයටම වඩාත් සාධාරන විසඳුම් ඔවුන් ලබා දෙති. සියල්ලන්ගේම ගැලවුම්කාරයින් බවට පත්ව ඇති බැවින් ඔවුන්ට සියල්ලන්ගේම භාජන වලට අනුරූපව හැඩගැසීම වඩාත් ලාබදායී වෙයි.

නවසිය පනහ දශකයේදී රෙදි බැනියම් ඇඳි සිංහල බෞද්ධ මිනිසෙක් ගැන මනෝරාජික අදහසක් සංඝයා විසින් ඇතිකර ඒ පුද්ගලයා සිංහල මිනිස්සු වෙත පොරක් බවට පත් කරන ලදී. සිංහල ලිවීමට කියවීමට හරියට නොදත් කට හැකර කමින් පමණක් පොරක් වූ සරම් ඇඳගෙන හැඳි ගෑරුප්පු වලින් ආහාර ගත් බණ්ඩාරණායක නම් අයෙක් සිය බටහිර යට ඇඳුම උඩින් සරම ඇඳ අපේ ජනතාවගේ මනස තුල සිටි සිංහල මහ එකා බවට පත් වී වඩාත් ජනප්‍රිය වී මැතිවරණ ජය ගත්තේය.

ගාල්ල බස් නැවතුමේ බුලත් විඩ කමින් තැන් තැන් වල ඇවිදි දහනායක නැමැති අයෙක්ද කටද සරම බැනියමද නිසා ඒ ගාල්ල ජනයාට අපේ එකකු ලෙස පෙනී සිටිමින් ජනතාව රවටා කලක් දේශපාලනයේ සිටියේය. දහනායක අපේ මිනිහා...හරි සෝක් යැයි ජනතාව තවමත් කියනු ඇසේ. නමුත් ඔහු සරම ඉස්සූ අවස්ථාව, මිනිස්සු රැවටූ අවස්ථාව පාරක් තොටක් හැදූ අවස්ථාව ආදි අවස්ථා පත්තර වල තිබුනද ඔවුන් විසින් මේ සමාජය වඩාත් යහපත් කරන්නට කුමක් කලාදැයි පත්තර වල මා නම් දැක නැත.

ඔස්ට්‍රේලියාවෙන් ගෙනා ගවමස් කමින් කොතලාවල පාටි දාන විට ඒ සිදුවීම දහනායක විස්තර කරන්නේ සිංහල බෞද්ධ රටේ වත්ත පිටුපස එවෙලේ මෙලොව එලිය දුටු හරක් පැටියෙකු මස් කර පාටි දමන කොතලාවල අපේ සිංහල රටේ අගමැති කරවන්නේ කෙසේදැයි යන ආකාරයෙනි.ඒ බොරු වලට රැවටුනු මිනිස්සු එදා ඔහුට චන්දය දුන්නෝය.

ලංකාවේ තවමත් මිනිසුන් සංකේත කෙරෙහි විශ්වාස කරති. හොඳ පුද්ගලයා මහත්මයා යන පදවලට බොහෝ දෙනාගේ මනසේ ඇත්තේ වඩාත් හොඳන් ඇඳපැලදගත් පුද්ගලයෙකි. මේ හේතුව නිසාම දේශපාලනයට එන්නට සිටින උන් පවා ලක්ෂණට සුදෝ සුදට ඇඳීමට උත්සාහ කරති. මිනිස්සුන්ගේ උගත්කමටද, ඇඳුමටද, වංශයටද තවමත් අපේ ජනතාව ගරු කරති.

අනර්කලී යට ඇඳුමින් සිටින ඇඳුමක් දමන ෆේස්බුක් වීරයින් මෙවන් අය සබාවලට යවනවා දැයි අපෙන් අසයි. මං නං යවනවා බං? ඇයි නොයවන්නෙ? කියල වාක්‍යකින් දෙක තුනකින් මට කියල දීපල්ල.

Monday, January 20, 2014

මං දන්න පොල් වගාව (coconut cultivation)



ලංකාවේ ප්‍රධාන අපනයන වන්නේ තේ රබර්,පොල්,ගෑනු සහ ගෑනු ශ්‍රමයයි. මෙයින් මගේ ගමේ පොල් වැවෙයි. අපේ පියා විසින් එලවලු වැවීම පිණිස මිලදී ගන්නා ලද නව ඉඩම් වල පොල් එතරම් සාරෙට වැවෙන්නේ යැයි එකල එගම මිනිස්සු නොසිතූහ. නමුත් කුඩාකල සිටම පොල් රුප්පාවක සිටි අපේ පියාට පොල් වැවීමට අදහසක් පහල විය. ඔහු පොල් සංවර්ධනය පිළිබඳ එවකට ගොවිජන සේවා මධ්‍යස්ථානයේ සිටි පොල් සංවර්ධන නිළධාරියාගේ උපදෙස්ද පැලද ආධාරද ලබාගෙන අපගේද ශ්‍රමය යොදවාගෙන වලවල් කපා පොල් සිටවුයේය. 
 
පොල් වත්තක උලා කන බූරුවෙක්
ඒ ගමට අපි පිටගම් කාරයෝ විය.  අප ගම සිටි උන් මේ පිටගංකාරයෝ පොල් හිටෙව්වට ඕව හරියාවියැ යන මතයෙන් සිටින්නට ඇත. නමුත් අපේ පියාගේ ඒ අලුත් පොල් වගා සංකල්පය සාර්ථක විය. දැන් එගම උන් පොල් මිල වැඩි කල අපි පිටගංකාරයෝ යැයි නොසිතා අපගෙන් ලාබෙට පොල් මිලදී ගන්නට එති. 

පොල්යනු වසර හැට හැත්තෑවක් යනතෙක් ඵල ලබාදෙන බහුවාර්ශික බෝගයකි. එමනිසා පොල් වගාවකින් විශාල ආදායම් ලබාගත හැකි වන්නේ වසරට කිහිප වරක් පමණි. අපේ පියානෝ පොල් වගා කරන්නට සිතුවේ එලවලු වගාවද සමඟය. වැටකොළු කරිවිල පතෝල මැහි අස්සේ අපේ පියා වලවල් කපා පොල් සිටුවීමට තීරණය කලේය. පොත් පත් වලට අනුව නම් එසේ ඉතාම කෙටිකාලීන බෝග පොල් වගා බිම්හි කිරීම එතරම් සුදුසු නැත. පිපිඤ්ඤා වට්ටක්කා වැනි බෝගයක් හැර වෙනත් බෝග ජාති මුල් කාලීන පොල් වගාවක් අතර යෙදීම සුදුසු නැත. 
 
පොල් ගාන ලඳුන්
නමුත් අපේ පියා මැහි කෙරුවාව කරන ගමන්ම පොල් වගාවද හොඳින් පාලනය කරගෙන ගියේය. එලවලු මැහි වල පලදාව හොඳින් ලැබෙන්නට නම් අනිවාර්යෙන් ඒවාට ගොම පොහොර සහ රසායනික පොහොර යෙදිය යුතුය. බබාට කවනවා වැනිව ඇති පමණට නිවැරදිව කිරලා මැනලා පෝර දැමීමක් සත්‍ය වශයෙන්ම සිද්ද වන්නෙ නැත. සංසාර පුරුද්දට අනුව, අපේ පියාගේ කාලීන අත්දැකීම් අනුව , තෙල්පෝර කඩයේ මුදලාලිගේ උපදෙස් පිට, අනෙක් අයගේ කීම් පිට, අපි එලවලු වගාවට පෝර එකතු කලෙමු. මේ කෙටිකාලීන බෝග වලට යොදන පෝර සියල්ලම ඒ බෝග වලට අදින්නේ නැත. එයින් පොහොර කිසියම් ප්‍රමාණයක් පසේ ඉතිරිවන්නට ද ඇත. මෙසේ පසේ ඉතිරි වූ පොහොරද වැසි වැටුමෙන් පසුව පස තුලට කිඳා බැස යන පොහොර සාරයද පොල් ගස් විසින් ඇතිකරගත් මුල් පද්ධතිය මගින් උරාගන්නා ලද රසායනික පොහොර සාරය නිසා පොල් ගස් ටික මුල් කාලයේදී ඉතාම ලක්ෂණට හැදුනේය. 

අපේ ගෙදර අසල තිබූ එලවලු මැස්සේ මැද ගස්ලබු ගසක්ද විලාඩ් මෙන් රස අඹ ගසක්ද විය. මේ ගස්ලබු ගසේද විශාල ගෙඩි පලදාරුවේය.අපේ ගෙදර තිබූ අඹ ගස්වලින් වඩාත්ම පලදැරු අඹ ගස වූයේ මැස්ස මැද වූ අඹ ගසයි. ඒ අඹ ගස මහා විසාල එකක් වූයේ නැත. නමුත් කුඩාකලදීම විශාල පලදාවක් ඒ අඹ ගසෙන් ලබා ගත හැකි වූයේ මැස්සට අපි දාන පෝරගතිය අඹ ගසින් අවශෝෂනය  කරගැන්මනිසා වෙන්නට ඇත. ඒ අඹගසේ අඹ වෙනත් අඹ වලටත් වඩා ප්‍රණීත රසයකින්ද යුතු විය.

 බොහෝ දෙනා රසායනික පෝර යෙදූ පලතුරු එලවලු රස නැතැයි කියා අමුතු මතයක් ඇතිකරගෙන තිබෙන මුත් අපි රසායනික පොහොර දමා හෝ ඒ සාරයන්ගෙන් හැදූ බොහෝ සාරවත් බෝගවල පල වලට වඩා මට නම්  කිසිම පෝරක් නැතිව කේඩෑරි ගස්වලින් කඩන බෝග ජාති හොඳ යැයි සිතෙන්නේ නැත. සමාරක් නිවෙස්වල කුණු වලවල් ලැට් වලවල් අසල ඇති ගස්ලබු ගස් වල ගස්ලබු රසය. අපේ බෝඩිමේද ලැට් වල අසල ඇති ගස්ලබු ගසේ ගස්ලබු රසට තිබුනේය.ඒ ලැට් වලේ සාරයෙන් කිසියම් කොටසක් ගසවිසින් උරාගැන්ම නිසා විය හැක. එසේ නොමැතිව කිසිම පොහොරක් කෘමිනාශකයක් නැතුව සාත්තුවක් නැතුව ඉබේ ගෙඩි ලබාදෙන ගස් වැල් ඇත්නම් ඒ දිවිය ලෝකෙ දිහා කල්ප වෘක්ෂය හරියේ විය යුතුය. 
 
 පොල් අතු වියන ලඳක්
කාබනික  පොහොර ගැන කතාකරන විට මට මතක් වෙන තැන් දෙකක් නම් වැල්ලවත්තෙන් සහ ගල්කිස්සෙන් මුහුදට මුදා හරින මහා කක්ක බට දෙකයි. ඒ කක්ක බට වලින් කොළඹ නගර සීමාවේ දාන සියලු කක්කා සහ ඒ වැන් අපද්‍රව්‍ය අසල මුහුදට පිටකරයි. ඒ පිටකරන වතුර මහත් භක්තියකින් වැල්ලවත්ත සහ ගල්කිස්ස ප්‍රෙද්ශවල සුද්දෝද ලංකාවේ කලු සුද්දියෝද බාගෙට හෙලුවැලලෙන් සිට නාති. “අහා වතුර ටිකේ සනීපෙ“.. යයිද කියති. එහි තිබිය හැකි කක්කා කෑලි සලකා බැලූ විට එවන් වූ සනීප වතුරක් ඇති වෙරලක් ඔවුන්ට ලේසියෙන් හමු වේ යැයි සිතිය නොහැක.කොළඹ ජනයා කන ජරාව සියල්ල දිරවා මහ මිනිහෙක් තරම් උසට මහතට මහපාරවල් යටින් ඇදෙන මේ විසල් කක්ක බට වල ඇති අපජලය පෙරා ඒවායේ ඇති පෝෂක අවශෝෂනය කොට වඩාත් සාරවත් කාබනික පොහොර නිපදවන්නට හැකි නොවද?. 

දිනෙන් දින ඉහල යන පොහොර මිල හමුවේ පොහොර නිකම් දීමට ආන්ඩුව වියදම් කරන කෝටි ගනන් මුදලින් මේ වැනි වැඩක් කර ඒ කාබනික පෝර ගොයියන්ට ලබා දිය හැකි නම් එය ලංකාන්ඩුවට වඩාත් ලාබ වැඩක් විය හැකිය. එසේම කක්කා එකතු කිරීම,පෙරීම,පෝර හැදීම ආදී කාරණාවලින් විශාල ජරාව ප්‍රමාණයක් නිලධාරින්ටත් දේශපාලකයින්ටත් ලබාගත හැකි වෙනු ඇත. මෑතදි මගේ මිතුරකුට හමු වූ සුදු ජාතිකයෙක් ලංකාවෙ මිනිසුන් කොටසක් ඉතාම දුප්පත්ව සිටියදී තවත් පිරිසක් අපද්‍රව්‍ය ලෙස ප්‍රතිචක්‍රිකරණය කල හැකි වටිනා දේවල් රැසක් කෙලින්ම අපතේ දාන බව කියා තිබුනි. 

පොල් වගාව ගැන කතා කරන්නට ගොස් ඈත ගියා වැඩිය. අක්කර එකහමාරක් දෙකක් වූ මැස්ස තුල පොල්ගස් සිටුවීම නිසා අවුරුදු එකහමාරක් විතර ගිය තැන පොල් පැල ලොකු වී අතු පතර විහිදෙන්නට පටන් ගත් තැන අතු සියල්ල අල්ලා මිටියක් පරිද්දෙන් බඳින්නට සිදු විය. එය පොල් ගසට හිරිහැරයක් වූ නමුත් සමාර බෝග ජාති හිරිහැර වටපිටාවෙහිදී වඩාත් සාර්ථක වන්නාහයි වන සිද්ධාන්තය අනුව දෝ හෝ ගස් ටිකෙන්, මැස්ස තුල වූ එකදු ගසක් වත් හිරිහැර නිසා අකාලයේ මිය ගියේ නැත.පොල් පැල ලොකුව ගස් මට්ටමට එන විට අතු මහත්ව විශාලට විහිදෙන බැවින් ගස්වල පිති අල්ලා බැඳීම වෙහෙසකර කටයුත්තක් වෙයි. නමුත් පොල් ගස් ටිකට හැදෙන්නට ඉඩ දී වගාව අත හැරීමට පියා හැරුනේ නැත. ඔහුගේ අදහස වූයේ පොල් සාර්ථක වෙන්න නම් වෙනත්බෝගයක් ඒ වගාව තුලම තිබිය යුතු බවය. 
 
කදිම පොල් වත්තක්
පොල් වගාවට යැයි විශේෂයෙන් වෙනත් පෝරක් එකතු කිරීමක්නොවීය. මැහි වගාවන්ට යොදන පෝර ජාති පොල් වගාවට ප්‍රමාණවත් වන්නට ඇත. ඒ බිමෙහි ඉර අවුවෙන්ද අඩුවක් නොවීය. වැසි අඩු කලට මැස්සේ ඇට ජාති පැල කරන්නට වතුර යොදන බැවින් ජලයෙන්ද පොල් වගාවට හිඟයක් නොවන්නට ඇත. අවුරුදු තුනහමාරක් හතරක් ගිය තැන පොල් ගස් කිහිපයක මල් හටගන්නට වූ අතර අවුරුදු හතරහමාරකදී බොහෝ ගස් වල පොල් මල් දකින්නට පුලුවන් විය. 

මැහි එලවලු වගාවට පොල් ගස විටෙක පුදුම කරදරයකි. එලවලු වැල් මේ පොල් ගසැයැ,මේ මැස්සැයැ,මේ පොල් අත්තකැ,යි නිවැරදිව වෙන්කර හඳුනාගන්නේ නැත. එලුවල් වැල් ඔවුන්ට හිතුමනාපේ හිතුන තැන්වල එතෙයි. ඉදල් කෝට්ටෙන් එලවලු වැල මැස්සට යොමුකල පසු එය කොහේ යන්නේ දැයි හැමවිටම විපරක් කරමින් බැලීම විශාල වගාවකදි කල හැකි දෙයක් නොවේ. ඉඳහිට පොල් අත්තක් දිගේ දුවන වැලක් දුටුවිට අපි කවුරු හෝ එය ඇද දැමීමට කටයුතු කලත් එලවලු අස්වනු නෙලන කලට පොල් අතු දිගේ ගිය එලවලු වල ඵලදාව නෙලීම වනාහී වෙහෙසකර කර්තව්‍යයකි. 
 
පොල් උල
වැටකොලු වැනි විසල් බෝග ජාති පොල් අතු දිගේ ගිය විට කෙක්කක පිහියක් බැඳ ගසින් ගසට ගොස් වැටකොලු ඵල නෙලිය යුුත වන්නාහ. එයද කෙක්කෙන් පොල් කඩනවා වැනිව ලේසියෙන් නෙලිය නොහැක. එය සීරුවෙන් නොකලොත් පොල් අත්තට, වැලට, සහ වැටකොළු ඵලයට හානි විය හැකිය. 

මේ පොල් වගාවෙන් අපේ තාත්තා අපේක්ෂා කල කරුණු කිහිපයක් විය. වසර දහයක් පහලවක් තිස්සේ රසායනික පොහොර යොදමින් වගාකලා වුවද ඒ බිමෙහි සාරවත් බව එන්න එන්නම අඩු වී යන්නට විය. ප්‍රධාන මූලද්‍රව්‍ය අපිට පොහොර ලෙස යෙදිය හැකි මුත් කෂුද්‍ර මූලද්‍රව්‍යෙයා මඳ වීමෙන් හෝ කාබනික සංයුතිය අඩුවීම නිසා හෝ මුලදී වගාවල තිබූ කල එළිය පසුකලෙක අපේ මැහි වගාවන්හී දක්ණට නැති විය. එකම බිමෙහි එකම වර්ගයේ බෝග ජාති වවන විට මෙවන් වූ සන්තෑසියක් වීමේ සම්භාවිතාවය වැඩිය.
 
පොල් වල්ලක්
මෙසේ ඉඩම් කෙමෙන් නිසරු වන විට සාමාන්‍යෙයන් සිදු වන්නේ වෙනත් වතුර පහසුව සහිත සාරවත් ඉඩම් සොයා ගොවීන් යෑම වුවත් අපේ පියා කෙමෙන් මැදි වියද පසුකර යන වයසක වූ බැවින් ඔහු පොල් වගා කොට සිය අනාගත විශ්‍රාම සැලසුම සකස් කරගැනීම මැනැවැයි සිතන්නට ඇත. මා මෙසේ කරුණු කීවාට අපේ තාත්තාට පො

ලා පැන (පොල් අංශය බාර කෘෂි නිළධාරියාට අපේ තාත්තා කිව්වේ පොලා කියලාය. පොල් නිළධාරියා පැමිණිමේ සිද්ධිය පොලා පැනීම විය.) නිකං පෝර සහ පැල දුන්න නිසා වත්තේ පොල් සිටෙව්වා වන්නට ද ඇත. 

මේ පොලොවෙ කිසි දෙයක් හරියන් නැහැ. යැයි විස්සෝප නොවී බෝග ජාතියක් වැවීමට උනන්දු වීම වැදගත්ය. එකල නම් එක් එක් ප්‍රාෙද්ශිය ලේඛම් කොට්ඨාශ වල ඒ ප්‍රෙද්ශයේ වැවිය හැකි බෝග ජාති දැක්වෙන පුවරුවක් ප්‍රදර්ශනය කොට තිබුනා මතකය. දැනට අවට පරීක්ෂා කිරීමෙන් හා අත්හදා බැලීමෙන් වාසය කරන ප්‍රෙද්ශයට අවශ්‍ය බෝග ජාතිය සොයාගන්නට හැකියාවක් තරුණ,වැඩිහිටි,මහලු අයට ඇත. ගොවිතැන වනාහි සිරුරට මෙන්ම මනසටද මනා ව්‍යායාමයකි.
කෙස් රැවුලු වවා රතු තොප්පිය දමා රට පෙල්ලන්නට යනවාට වඩා දාඩිය මාන්සියෙන් පස පෙරලා එයින් සාධාරනව මුදල් ඉපයිය හැකිනම් එයම මහත් වූ විප්ලවයකි. 
 
පොල් අතු මඩුවක්
පොල් වගාව ගැන උනන්දු වන අයට සහ පවතින පොල් වගාවෙන් ආදායම් වැඩිකරගන්නට කැමති අයට වටිනා ඔවදන් රැසක් අන්තර්ජාලයේ අමු සිංහලෙන්ම ඇත. ඒවා ඉතාම සරල බසින් ඇති නිසා අපිට තේරුම් ගන්නට පහසුය. ලුණුවිල පොල් පර්යේෂණායතනය මගින් යූ ටියුබ් චැනලයක් හරහා ප්‍රාෙයා්ගික ක්‍රමවේද පවා විස්තර කර තිබෙනු මා දිටිමි. කොටින්ම ඉන්දියාවේ පොල් පර්යේෂණායතනයටත් වඩා සාර්ථකව ඒ වෙබ් අඩවිය ලංකාවේ පොල් පර්යේෂණායතනය මගින් පවත්වාගෙන ගොස් ඇත. 

පොල් පර්යේෂණායතනයේ වෙබ් අඩවියට මෙතනින් යන්න.
පොල් සිටුවීමේ සිට වැලදෙන ලෙඩරෝගාදිය දක්වා මනාව සකසා ඇති පත්‍රිකා බාගැන්මට මෙතනට යන්න.  
 පොල් වගාකිරීම සියැසින් දකබලාගනෙ ප්‍රාෙයා්ගික වීඩියෝ දර්ශන බලාගන්නට මෙතනට යන්න.
පොල් පර්යේෂණායතනයේ යූ ටියුබ් චැනලයට මෙතනින් යන්න.

තවත් පොල් ගැන විස්තර රාශියක් මේ වෙබ් අඩවි බලාගැන්මෙන් ඔබට ලබාගත හැක.  මා දුටු ආකාරයට මෙය ත්‍රයිභාෂා වෙබ් අඩවියකි. නමුත් ද්‍රවිඩ බසින් වීඩියෝ ආදිය නොමැති වීම ගැන සමහර අයෙක් මැසිවිලි නගා තිබෙනු මා යු ටියුබයේ දුටුවෙමි. මේ පොල් පර්යේෂකයෝ පොල් වලට එන විවිධ උවදුරු ආදියට දේශීයව යම් වටිනා විසඳුම්ද සොයාගෙන ඇත. උදාහරණ ලෙස මඩින්නට බැරි යැයි ලෝකයේම සම්මත පොල් මයිටාවා මර්ධනයට පිලිස්සුනු දැවි තෙල් ගෙඩිවල ආලේප කිරීමේ සරල එහෙත් වටිනා විසඳුමක් මේ පරීක්ෂක අපේ ඇත්තෝ සොයාගෙන ඇත. එයින් හානිය සියයට අනූවක් දක්වා මර්ධනය කල හැකි බැව් පර්යේෂකයෝ සහතික කොට ඇත.

සෑමවිටම පාලකයින්ට මැසිවිලි නගන්නේ නැතිව අන්තර්ජාලය භාවිත කිරීමට එතරම් නැඹුරුව නැති එහෙත් මේ පොල් වගාදිය ගැන  උනන්දු අයට මේ අඩවි බලා හෝ නැත්නං වීඩියෝ බලන්නට දීලා හෝ විස්තර ආදිය සැපයීම වනාහී මහත් යහපත් ක්‍රියාවකි. එවන් වැදගත් දේවල් අන්තර්ජාලයේ තිබෙනවා යැයි දෙමව්පියෝ වැඩිහිටියෝ දැනුවත් වුනොත් තරුණ දරුවන්ට පේස්බුක් යන්නට දෙමාපියන් දාන තහනමේ තදයද ටිකක් අඩුකරගත හැකි වෙනු ඇත. 

Sunday, January 19, 2014

සඳවතිය මගේ සිහිනේ

සඳවතිය මගේ සිහිනේ
ඝන කලුව මකා දැමුනේ
ඔබ රූපෙ නිසා ලඳුනේ
කියලාය මෙමට සිතුනේ

මනමාල බැලුම් කටකාර කියුම් ඔය ..සේල තොලින් වැසි සුසුදු සිනා කැන්.
මගේ මුවින් පිට නොවෙන වදන් .. ඇත මාව වෙලා සිර කරල තබන්

ආදර දෙව්දුව දුනුදිය දෙනුමට.. ඊතල විද ඈ වසගෙට ගන්නට
කෑදර කම නැති කර සැනසෙන්නට.. මාතර යනකොට අරගෙන යන්නට


සුට්ටක් ලෝඩ් වෙනකල් ඉදලා කවිය අහලාම යන්ට..

Saturday, January 18, 2014

චිත්ත සැත්කම (2)

1 කොටස
අදාල පිංතූරයක් නොවේ 
“ ඔන්නං හිරිවට්ටලත් කරත හැකි යැයි කියූ දොස්තරයාගේ අත මහ විසාල මන්නයකි. පංසලේ අන්දර වැට ගාන්ට කැපීමට ගන්නා විසාල වතු කතුර වැනි විසාල කතුරක් බේත් විදින නේස් නෝනා අත ඇත. සිවුරු වැනි කහපාට රෙදි කඩක් පසෙක ඇති අතර නිරුවත් මනුස්ස ශරීරයක බඩක් ඉස්පිරිතාල ඇඳක් මත ඇත. නේස් නොනෙක් අවිත් ඉන්ජෙක්සන් එකක් ගැසූ පසු මියගියාවන්ව අර ඇඳ මත වූ මනුස්ස සරීරයේ මදක් එසවී තිබුන අතක් කපා දැමූ කෙසෙල් කදක් මෙන් ඩොග් ගා පහත්විය. මන්නය ගත් දොස්තර තැන බඩ පලා ඉන් පසු "මෙන්න මේක කපන් ඕන" යැයි ලොකු මාලු කූරියකුගේ බඩක් වැනි කෑල්ලක් මනුස්ස බඩ ඇතුලෙන් ඇද ගත්තේ එල්ලෙන වැල් වැනි නහර වැල් සමඟය. කෝ කපන් නැද්ද අහන්නාක් මෙන් පණ ගැහෙන ඒ කෑල්ල උස්සාගෙන දොස්තර තැන සිටියේය. මහ කතුර අතදරා සිටි නර්ස් කෙනා සුටුස් සුටුස් ගා දෙකෙලවර කැපුවේය, එවිටම ලේ පාරක් චූස් ගා විදින්ට විය“

"හපෝ...මං කපන් එපෝ" යැයි. කියමින් හාමුදුරුවෝ නින්දෙන් අවදි විය. සද්දය මහ හයියෙන් ඇසී නැත. පියෙසා්ම අසල ඇඳක නිදිය. වාට්ටුවේ බොහෝ දෙනා නිදිය. තමුන්ගේ සිවුරු රෙදි මඳක් ඈත් වී දෙකකුල් ඉහල කොටස්ද මනාව අන් අයට පේන බවක් සාදුට වැටහුනි. නැවත සිවුරු සකස් කරගත් උන්නාන්සේ යම්තම් මතක තිබුන සිහිනයද, මේ වන විටත් ගැහෙමින් පවතිනවා යැයි සැක සිතූ උන්වහන්සේගේ පිත්තාශයද සිහියට ගන්නට වෑයම් කලේය. "විකාර හීනයක්, මොන මගුලක්ද මේ, " දොස්තර මහත්තය මන්නයක් අතේ තියං..වෙන්න බැහැ නේ. " යැයි සිහිනය බොරු මායාවැකැයි සිහියට ගන්නට ඥානසේකර හිමිනම වැර වෑයම් කලේය.

"උදෑහැනම පැමිණි දොස්තර මහත්තයාට.. අනේ මහත්තයො මං වයසක මනුස්සය. උපරේෂන් ඕන් නැහැ". ඔන්න බේත් පෙත්තක් තිබුනම ඇති. යැයි හාමුදුරුවෝ පින්සෙන්ඩු වන්නට විය.

ලොකු හාමුදුරුවෝ උපරේෂන් එකට බය විත්තිය දොස්තර මහත්තයාට පසක් විය.

“අපි හැමෝම ජාති ජරා මරණාදී ලෙඩට දුකට පත්වෙනෝ. ඒක වලක්වන් බැහැ. ඔන්න මොන උපරේෂන්ද? කමන් නැහැ. බෙහෙත් වලිනුත් ඇහැකියි කියල දොස්තර මහත්තය කිව්ව" හාමුදුරුවෝ බලන්නට එන උපාසක අයට හාමුදුරුවෝ උපදෙස් දෙන්නට විය. හාමුදුරුවන්ට උපදෙස් දිය හැකි මට්ටමේ සිටි අය යාන්තම් උපදෙස් දෙන්නට විය. ඒත් දැනෙන වෙනසක් නම් සිද්ද නොවීය.

දවල් වරුවේ සියාතු උන්නැහැද පැමිණ තිබුනි. උන්දැගේ රබර් කට එතරම් හොද නැති බව දන්නා ලොකු සාදු වැඩිය වරුනා කතාකරන්න ගියෙ නැත.

"ඉතිං හාමුදුරුවනේ ඔබවාන්සේ කියනවිදියට ඔය සරීරෙ අනිත්‍යනං පිත්තාසෙත් අනිත්‍යයයි නේ. ඔන්න ඔහෙ ඕක කපල දාන්න. මට නං පේන්න තියෙන විදියට ලොකු හාමුදුරුවො පිත්තාසෙට බයයි. නැත්තං වැඩක් නැති කෑල්ල කපල අහක් කරන් දෙන් එපාය." මේවන් සෝ බර අවස්ථාවලද හාමුදුරුවන්ගේ සිත රිදවන්නට සියාතු ලොක්කා ඒම ගැන අනෙක් උපාසක අයගේ විරෝධය ඔවුන්ගේ මුහුනින් පිලිබිබු වන්නට විය. "මේ සියාතු ඔහෙ ඉගෙනගෙන තියෙනව තමයි. ඒත් උන්නාන්සෙ ඒකට විරුද්ද වෙන්නෙ හේතු ඇතිව. ඔහෙට ඕන්නං ඔහෙගෙ පිත්තාසෙ කපාගන්න අපේ හාමුදුරුවො බේත් වලිං හොදකර ගනීවි. "යැයි පියසෝම සියාතුට විරුද්ධව යමක් කීවේය.

සාහිත්‍ය රසයේ යම් පමණක දැනුමක් තිබූ සියාතු උන්නැහේට  මේ ජීවිතවල රකින්නට දෙයක් නැතැයි නිතර බණමඩුවල දෙසුවත්,ඒ  පංසල් රකින්නට  බොහෝ පන්සල්හි මස් කටු දී ඇතිකරන ඇතිකරන වෘකයින් වැනි විශාල බල්ලන් මතකයට නැගුනි. ඔහු ආ සිනාව මුව තුලම සිරකරගෙන ඔහේ බලා සිට 

“අනේ මන්දා ලොකු හාමුදුරුවනේ. ඔබවාන්සෙ දන්නව නේ. මගෙ ලග වැඩිය කැටයං නැහැ. ඔබවාන්සෙ ඔපරේෂම කරනවට මං මනාපයි. දොස්තරගොල්ල වුනත් කියන්නෙ ඕක අයිං කරනවනං හොදයි කියල නේ. “ නැවතත් සියාතු කියන්න ට විය.

එහෙනං හාමුදුරුවනෙ අපිත් යන්නං කියමින් තව ටික වෙලාවක් කතා කරමින් සිටි පිරිස එක එකා හාමුදුරුවන්ට වඳිමින් විසිර යන්නට විය. මෙවර පියසෝම උන්නැහේද ගිය බැවින් සාත්තුවට සිටියේ පොඩි නමය. පොඩි නම දැන් පොඩිම නැති බව ලොකු හාමුදුරුවන්ට වැටහුනි. දාන මාන ගැන පංසලේ කටයුතු ගැන පොඩිනම දැන් සැලකිය යුතු වගකීමකින් කටයුතු කරයි.

නර්ස් නෝනා පැමිණ ලේ ගැනීමද බෙහෙත් දීමද ආදී කටයුතු වල කරුණාවෙන් නිරත වෙයි. ඒ එන හැමවිටම පොඩිනම නැගිට ගනී. නර්ස් නෝනා එනවිට අසුනින් නැගිටීම පියසෝම කලත් එය පොඩිනම විසින් කල යුතු දෙයක්ද නොකල යුතු දෙයක්දැයි ඥානසේකර ලොක ුසාදුට තීරණය කල නොහැකි විය. දේවාලේ දෙවියන් උතුම්ය. වවුලන්ගේ ගුහාවේදී වවුලන් උත්ම්යැ. ජලයේදී මාලුන් නම් පීනන සතුන් උතුම්යැ. මේ ඉස්පිරිතාලැයැ තුල සිටින නෙස් නෝනල සහ දොස්තර මහතුන් වඩාත් උතුම්යැයි සැලකු විට නම් පොඩි නම ගරු කිරීම පිණිස හෝ වෙනත් කරුණක් පිණිස නැගිටීම මහත් දෙයක් නොවෙතැයි ලොකු සාදු සිතන්නට විය.

නිතර යන එන ලෙඩුන් බලන නර්ස්, ඇටෙන්ඩන් නෝනාවරුන් හා කතාකරන විට හා ඔවුන්ග් නාරි දේහයන්හී විවිධ ඉරියව් දකින විට පොඩිනමගේ දෙනෙත් දීප්තියෙන් බබලනු ලොකු සාදු දිටීය. කිසිම අලුත් දෙයක් නැතැයි යන ඉතාම සාමාන්‍ය බැල්මෙන් බලා සියලු දේ නතුකර ගැන්මේ හැකියාව තවමත් පොඩිනම කෙරෙහි නැත. පොඩිනමගේ කෑදර බැල්මේ කැත කාලය විසින් නසාලනු ඇතැයි ලොකුනම සිතුවේය. තමා කුඩාකල දාන මාන වලට ගිය විට “පොඩිනම මින් මනතට ගෑනු ළමයි දන් බෙදන වෙලාවට පාත්තරේ දිහා විතරක් බලාගන ඉන්නව හොඳයි. උපාසකම්මල බිම බලාගෙන වඳිනකොට භාවනා කොරනකොට හාමුදුරුවන්ගේ ඇහැ වටේ පිටේ ටිකක් හැරවුනාට කාරියක් නං නැහැ." යැයි සිය ලොකු හාමුදුරුවන් වරක් දුන් උපදෙසක් ඥානසේකර හිමිට මතක් විය.

සිරිත් පරිදි බොන අඟල් කිහිපයක් උස පිටි ජෝගුවත් තේ බොනකොට තේ එක වෙනුවෙන් කනවා යැයි කියා ගිලදමනු ලබන ග්‍රැම් සියක දෙසියක බිස්කට් පැකට් එකත් පංසලේදී හැන්දෑවේ හතට හතහමාරට විතර ගිලදමන පොඩිනම නමය හමාර වෙනතෙක් ටීවි එකේ නාට්ටි බලමින් සිට නින්දට යයි. පොඩිනම නින්දට ගිය පසු පංසල උස්සාගෙන ගොස් වෙනතැනක තැබුවත් ලේසියෙන් අවධි නොවන අයෙක් බව ලොකු සාදු දනි.

අහල ගෙදරක විසු සොපිනෝනා නැමැති උපාසකම්මා ගේ ගෙදර දවල් සැමියා එනවිට ගෙදර වෙනත් මිනිහෙක් සිට දුවගොස් ඇත. කිසිත් නොකියා සැනෙකින් ගෙදරින් නික්මුනු සොපිනෝනාගේ සැමියා (ඔහුගේ නමද සැමී විය) හැන්දෑවේ අටහමාරට විතර බොන තැනින් අවුත් වැටි වැටී පැමිණ නවහමාරට විතර සොපිනෝනාගේ ගෙදරට පැමිණ ඇත. පැමිණ සොපිනෝනාට හොඳෙහැටි පහර ගසා ගෙදරින් එලියට දමා දොර වසාගෙන තෝ පල අරුත් එක්කම. පඳුරු *සාවි යැය් බනිමින් එලවා දමා ඇත. පංසලට බොහෝ ආසන්න නිසා සොපිනෝනා පංසලට පැමිණ නිදාගෙන උදෑසනම අවධි වී ගොස් ගෙදර එලිපත්තේ සිට දැන් මිනිහාට වෙරි අඩුවී ඇතැයි සිතා..

දැන්වත් මේක අරිනව ඕයි..මට මේ එලියෙ ඉන්න බැහැයි යැයි කෑ ගසා දොර අරවාගෙන ඇත. බීපු සැමීටත් වඩා සැපට නින්ද යන පොඩිනම මේ කිසිම දෙයක් හාංකවිසියක් වත් දන්නේ නැත. ලොකු හාමුදුරුවෝ එදින රෑ , සොපීගේ හැට්ටයකින් විසිවී තිබුන ආයකට්ටක් ලොකු හාමුදුරුවන්ගේ ශයනය අසල අසල වැටී තිබෙනු උදෑසනම දැක ඇත. පොඩි වහන්සෙ ඕක දැක්කොත් විනාසයයැ සිතා ඥාණසේකර හිමි වහා එය ඇහිඳ නොපෙනෙන තැනක දැමුවේය.

විමලා නම් හෙදිය මැදිවිය ඉක්මවූ කතකි. ඇය රෑ දොලහට දෙන බේත් වේල සහ රාත්‍රියට දීමට නියමිත බෙහෙත් සේලයින් ආදිය සපයමින් වාට්ටුව සිසාර නිතර නිතර එහෙ මෙහෙ යන්නට විය. ඒ සෑම විටම මුලින්ම ඇති හාමුදුරුවන්ගේ ලෙඩ ඇඳ අසලින් ගිය විමලාට හාමුදුරුවෝ අවධියෙන් සිටින බව පෙනුනි. විටෙක ඔහු පත්තරය බලයි. විටෙක සිවිලිමේ ඇති පංකාව දෙස බලමින් කල්පනා කරයි. රෑ එකට පමණ හැරමිටි සද්දයක් ඇසී මදක් නින්දේ සිටි විමලා අවධි වන්නට විය. ලොකු හාමුදුරුවෝ රෑ අවදි වී වාට්ටුව දිගේ ඇවිදගෙන යයි.

වෙනත ්විටක නම් සහායකයකු උන්වහනසේ සමග අනිවාර්යෙන් වැසිකිලියට යයි. නමුත් පොඩිනම නම් මේ වෙලේ අවධිවෙනු නැති බව දත් ලොකු හාමුදුරුවෝ හැකිපමණින් අපහසු කම් ටික මගහැර නැගිට වාට්ටුව දිගේ වැසිකිලිය දෙසට ඇවිද යන්නට විය. අවධි කරන්නට වෙන කිසිවෙක් අහල පහල පේන්නට නොමැති වූ බැවින් විමලා එකවර වික්ෂිප්ත විය. මුන්වහන්සේ වාට්ටුව මැද ඇද වැටුනොත් වන්නේ ලොකු සන්තෑසියකි. එවිට ලෙඩුන් ගැන නොබැලුවේ යැයි නර්ස්ලාගේ වැරදිම නිතර සොයන දොස්තර මහත්වරුන්ගෙන් බැනුම් අසන්ට වනු ඇත. ඇය සිතීම පසෙකලා. ලොකු හාමුදුරුවන් වෙත ගොස්. “කොහෙද ඔබවාන්සේ මේ යන්නෙ“ යැයි ඇසීය. දෙබස් කීපයක් හුවමාරු කරගත් පසු විමලා විසින් යන්තම් වත්තම් කරගත් ලොකුහාමුදුරුවෝ වැසිකිලිය කරා යන දර්ශනය යම් ලෙඩෙක් අවදියෙන් සිටියානම් දැකගන්නට පිලිවන් කම තිබුනි. නමුත් කටකතාවක් ඇතිවීමට සියලු අවකාශය නොතබා වාට්ටුවේ කැස්ස තිබුනු ඇතමෙක්ද කැස්ස නවත්වා මේ මහ පාන්දර ජාමේ ගොරවමින් නිදිය.

දෙදෙනා වාට්ටුව මැදින් යන තර හාමුදුරුවෝ කැසිකිලියට යන බව ඇයට කීවේය. කැසිකිලියේ දොර ළඟට ගිය ඥානසේකර හිමි විමලා එලියේ සිටියෙදී ගොස් අවශ්‍ය කාරණාව කරගෙන පැමිණියේය.  වාට්ටුව මැදින් ගොස් කෙළවර මඳක් හැරී ගිය තැන වැසිකිලි කැසැකිලි පිහිටා තිබුනි. එය වාට්ටුවට මඳක් ඈතට වන්නට පිහිටා තිබුන බැවින් එයින් හමන අමිහිරි දුර්ගන්ධ කිසිවක් වාට්ටුවට ආවේ නැත. 

 මට නින්ද යන් නැහැ අර ඇදේ.. අද නම් ඇහැ පියවුනේම නැහැ. මං මෙතන ටිකක් වාඩිවෙල ඉන්නං. යැයි පිරිසිදු කරන්නියන් හට වාඩිවීමට තිබූ අසල ඉස්පිරිතාල බංකු කෑල්ලක හාමුදුරුවෝ වාඩි විය. කරුණාබර හාමුදුරුවන්ගේ වචන පෙලත් ඔහු පත්ව ඇති තනිකම සහ පාලුව ගැනත් නැමුනු සිත් ඇති විමලාවෝද හාමුදුරුවෝ අසලින් වාඩි විය.

හාමුදුරුවන් පෙර දින රෑ දුටු නපුරු සීනය ගැන විමලාට කරුණු හෙලිකලේය. පොඩි ළමයෙකු මෙන් මේ ලොකු සාදු බයවීම ගැන පොඩි සිනහවක් විමලාට පැමිණියත් ඇය විසින් ඉතාම කරුණාවෙන් හාමුදුරුවන්ට කාරණා වටහා දෙන්නට විය. හාමුදුරුවන්ගේ අතුත් සීතල වෙලා මඳකින් විමලාගේ කටහඩ ඇසෙන්නට විය. චිකේ මෙයා  විතරයි වගේ බය. දැන් යන්, ඔය ඇති ..විමලා එසේ කියූ විමලා සාදු අසලින් නැගිටින්නට විය.

වත්තන් කරගත් සාදු වාට්ටුවටත් ඇඳටත් සෙමෙන් ඇතුලත් කෙරුනි. ඉන් පසු විමලා විසින් දුන් නිදි පෙත්තක අනුභාවයෙන් උන් වහන්සේ නින්දට වැටුනි. උදෑසන පැමිණි දොස්තර මහත්තයාට “ දැන් මම පිත්තාසෙට බය නැහැ. මගේ අකමැත්තක් නැහැ දොස්තර මහත්තයෝ. අපේ උපාසක කට්ටිය මට පැහැදිලි කරල දුන්න “ යැයි ලොකු සාදු කියන්නට විය."

"හරි දැන් රිපොට් එකත් ලැබිල තියෙන්නෙ හෙට උපරේෂන් කරන්න පුලුවන් වෙයි.. මං ඊයෙ රෑ හදිස්සියෙන් එනකොට මේ පොඩිසාදු හොඳට ගොරව ගොරව නිදි. ලොකු හාමුදුරුවො වැසිකිලි පැත්තට යන් ඇති කියල මං ආයිත් ගියා. මං හිතන්නෙ අනික් උපාසක මහත්තය උපරේසන් එකෙන් පස්සෙ සාත්තුවට ඉන්නව නං වඩාත් හොඳ වෙයි. දොස්තර මහත්තයා කියන්නට විය"

දොස්තර මහතා එසේ කියන විට හාමුදුරුවන්ගේ සිරුරේ පදාසයක්ම හිරිවැටීගෙන ගියේය. සමාරවිට හාමුදුරුවන්ගේ පිත්තාශයද හිරිවැටී යන්නට ඇත.

චිත්ත සැත්කම (1)

අදාල පිංතූරයක් නොවේ
මෙය විශේෂ වාට්ටුවක් වන හෙයින් මෙහි පිරිසිදුකම වැඩිය. මෙහි සේවය කරන සේවිකාවන් ප්‍රමාණයද සේවිකාවන්ගේ රූප සෝබාවද සාපේක්ෂව වැඩිය. ආන්ඩුවේ තැනක් වුවත් වැඩකරන ගැහැනුන් අනෙක් තැන්වලට වඩා කුළුනු ගුනෙන් යුතු වූ අයවලුන් වන බව ලොකු සාදු සිතුවේය. ඥානසේකර සාදු දැන් ඉස්පිරිතාල ගත වී සතියකි. උන්වහන්සේ දැන් හැටත් පැනලා අපවත්වන්නට පිය මනිමින් සිටින බව ගමේ ඇතැම් මිසදිටුවන්ගේ අදහසයි. පංසල් වත්තේ ආදායමත් පංසලේ ආදායමත් නිසා උන්වහන්සේ කිසිම කරදරයක් නැතිව ගමේ බොහෝ දුප්පතුන්ටත් වඩා සැපවත් ජීවිතයක් ගත කරන බැව් ගමේ ඇතැම් මිසදිටුවෝ කියූහ.

සති කිහිපයකට වරක් දෙකක් ඥාණසේකර සාදු අතුරුදන් වෙයි. එක්කෝ රට යයි. නැත්නම් වෙනත් විහාරයකට යන බැව් කියා නික්ම යයි. උන් වහන්සේ කොහි වඩිනවාදැයි පොඩි සාදුවත් හරියට දන්නේ නැත. රට යනවා නම් පොඩි නම දැනුවත් කරන මුත් ලංකාව තුල උන් වහන්සේ වඩින තැන් ගැන විවිධ කටකතා පැතිර තිබුනි. ඇතැම් පංසලට හිතැති අයෙක් හාමුදුරුවො කොළඹ වඩිනව ඇති ලොකු හාමුදුරුගොල්ල හම්බුවෙන්න. අපේ හාමුදුරුවො මේ හිටියට නිකම්ම නිකං හාමුදුරුවො නෙමෙයි නෙ. ඔය හිටපුගමන් හිතාගන්න බැයි තරං ලොකු මන්ත්‍රිල ඇමතිල පවා පංසලට ඇවිත් යන්නෙ.

''හාමුදුරුවො බාගෙදා නිස්කලංක තැනකට යනවැති භාවනා කරන්න. මේ ගමේ තියෙන කරච්චල් පරිසරෙයි උන්නාන්සෙට කතා හදන්න බලාගෙන ඉන්න හැත්තයි එක්ක ඇහැක බාවනා කරන්න. ලොකු ලොකු හාමුදුරුගොල්ල පංසලෙන් එලියට ගිහිං දුරබැහැර ආරාම වල භාවනා කරනව කියල මං පූජාවකට අනුරාධපුරේ ගිය වෙලේ සිල් මෑණිල කතාවෙනවා ඇහුන.'' ඒ හාමුදුරුවන්ට ගරු කරන ලෙඩ වූ අවස්ථාවේ හාමුදුරුවන්ට සුප් එකක්ද හදාගෙන බලන්නට පැමිණි උපාසකම්මා කෙනෙකුගේ අදහසයි.

"උන්නාන්සෙලාට මොන පස්නද බාං... අපිට වගේ පවුල් ඉඩ කඩං දරු මල්ලො පස්නද එහෙම නැත්තං කන්න බොන්න නැති පස්නද? මාසෙ දාන ටිකම බෙදාගන්න බැරුව ගම්මු කොච්චර පොරකනවද? ඔය හාමුදුරුවො කොහෙ හරි වට වන්දනාවක් දාල එනවැති. උන්නාන්සෙ උනත් මනුස්සයෙක්නේ. රට වටේම පංසල් තියෙන නිසා නවාතැන් පස්නත් නැහැ. මහ ලොකු වස්තුවක් උස්සගෙන යන්නත් නැහැ. අපි තමයි මේ චීත්ත අස්සට තියෙන කෑදරකම පිට අමාරුවෙ වැටුනෙ..අන්න නිදහස් ජීවිත..ඉරිසිය නොකර බොලා අපිත් ඔය වගේ නිදහසේ ගමනක් බිමනක් යන්න උස්සාහ කොරන්න ඕන.." ඒ තරමක් මැදිවිය පසුකරමින් සිටින උගත් අයෙකු වුවත් කිසිම උගත් විදියකට අදින පලදින වැඩේවත් නොකරන සියාතු උන්නැහේය. සියාතු උන්නැහේ කොළඹ කන්තෝරුවක මොකක්දෝ ලියන වැඩක් කරන මුත් ඔහු හැම සති අන්තයේම පැයක් දෙකක් ගමේ හන්දියේ කඩේ පත්තරේ අසල ගතකරයි.

සියාතු උන්නැහේ ධර්ම සාකච්චා වලට එනවාට හාමුදුරුවෝ වැඩිය කැමති නැත. සියාතු අහන පස්න ධර්ම පොත්වලවත් නිතර කියවන පත්තරේ වත් නැත. ඒවාට උත්තර දෙන්නට වන්නේ ඔලුව වෙහෙසීමෙනි. වැඩිමනක් පස්න තිබේනම් මිනිස්සු ඉදිරියේ අහන්න නැතුව පුද්ගලිකව අසන මෙන් ලොකු සාදු සියාතුට වරක් දෙකක් කියා ඇත. දිනක් භාවනාව ගැන සාකච්චාවකදි එකවර නැගිටි සියාතු උන්නැහේ..කලිසමත් උස්සාගත්තේය. කලිසම උස්සාගැන්ම වනාහි ඇනෙන විහිලු සහගත පස්නයක ඇරඹුම යැයි ලොකු සාදුද සියාතුගේ ඇඩ් පුරුදු උපාසකම්මලාද සිතුවෝය. දහමට ලැදි ඇතැම් පෘතග්ජන උපාසකම්මකුගේ මුහුන පුළුටු වූයේ, මේ ගෝතය මොකක් අහයිද් දන් නැහැ කියලාය. හාමුදුරුවනේ..“ අපේ ඔපිස් එකේ කොල්ලෙක් ඉදල හිටල ගංජ කියන මත් ද්‍රව්‍යය පාවිච්චි කරනවා. මිනිහ කියනවා ඒකට ඇබ්බැහියක් නැහැය. ඒ වුනාට හිත සංසුන් කරගන්න ගංජ හොද බේතක්ය කියලා. ඉතිං හාමුදුරුවනේ වැරදි ක්‍රෙමන් හරි හිත සංසුන් වෙනවනං ලොකු දෙයක් නෙව. ඇත්තටම හාමුදුරුවනේ ගංජ පාවිච්චි කරල බැරිද භාවනාව කරගන්න ?"

සියාතු ඉදහිට මෝඩ පස්න ඇසුවත් මෙවන් තකතීරු පස්නයක් අසාවි යැයි ලොකු හාමුදුරුවෝ සීනෙන් වත් නොසිතූහ. සංසුන් මුහුන දක්වාගෙන සිටියද ලොකු සාදුට තරහ ආ බැවින් නළල තරමක් රැලි ගැන්වින. “සියාතු උන්නැහේ හරිම වැදගත් ගැටලුවක් ඇහුවා. ඇත්තටම උන්නැහැ නින්දෙ ඉඳල නැගිටල වෙන්නැති කියලත් මට නිකමට හිතුන. ඒත් ඉතිං කෝමිං හරි වැදගත් ගැටලු නේ එතුමට එන්නෙ? ධර්මෙ කියන්නෙ නිකං එක දෙයක් පුරුදු පුහුනු කිරීම විතරක් නෙමෙයි. ඔය විදියට ඉතිං මනුස්සයෙක් සිහි මුර්ජා කොරල තියෙන කොටත් යස අගේ ඇති බාවනාවක් ඇති වෙනවා නෙව. දහම කියන්නෙ දාන සීල භාවනා කියන තුන් වැදෑරුම් ආකාරයෙන්ම පුරුදු පුහුනු කරන්න ඕනි දෙයක්. කොයි තරම් භාවනාව කරලා උසස් වුනත් කොයි තරම් ධර්මයෙන් අගතැන් වුනත් සීලය නැත්නම් ඒ පුද්ගලයා නියම ධර්ම මාර්ගයේ ගිහින් නැහැ." මේ ආදි වශයෙන් හාමුදුරුවෝ දීර්ඝ පිළිතුරක් සියාතුට ලබා දුන්නේය. මේ අවස්ථාවේ ඒ පස්නය නොඅසා හිටින්ට තිබුනා නොවදැයි උපාසකම්මලා බොහෝ දෙනෙක්ට සිතුන මුත් සියාතු උන්නැහේ නම් එයින් සැලුන වගක් නොපෙනුනි.

"පිත්තාසෙ ඉතාම සුලු ශල්‍යකර්මයක් කරන්නවෙයි වගේ හාමුදුරුවනේ. බය වෙන්න දෙයක් නැහැ. අද කාලෙ ගොඩක් දියුනුයි මේ වගේ දෙවල්. පොඩි වෙලාවයි යන්නෙ. දවස් දෙකකින් විතර ආයි පංසලට වඩින්නත් පුලුවන් වෙයි. එහෙම නැත්තං ඉතිං බේත් වලිනුත් හොද කරන්න පුලුවන් වෙයි. ඒත් වඩාත්ම හොද ශල්‍යකර්මෙ තමයි." වාට්ටුවේ සාදු බලන්නට පැමිණි දොස්තර මහතෙකු කරුණාවෙන් කියාගෙන ගියේය. එතුමා හොද මනුෂ්‍යෙයක් බව සාදුට සිතුනි. අනවශ්‍ය ලොකු ගරුසරුවක් වරුණාවක් නැතුව ලෙඩ දුක හරියට කියා දුන්න බව උන්වහන්සේට සිතුනි. නමුත් උපරේෂමක් කරන්න තියනවා යැයි කීවිට සාදුගේ සිත චංචල විය.

"එතකොට මහත්තයො සිහි නැති කරනව ඇති නේ?" ලොකු සාදු පෙරළා දොස්තර මහතාගෙන් ඇසීය. 

ඔවු බොහෝවිට එක පැත්තක් විතරක් හිරිවට්ටල කරන්න පුලුවන් වෙයි. ඒක ඒ ගැන නම් දැම්ම කියන්න බැහැ තව ස්කෑන් රිපොට් එක ආවෙ නැහැනේ.

ඥානසේකර හාමුදුරුවෝ සිහිනැතිකර උපරේෂන් කල පසුව සිහිය ගන්නට බැරිව මියගිය අයකුගේ මතක බනකට ගිය අවස්ථාව සිහිකරගත්තේය. එහිදී අවසානයේ මිනිය අවසන් වරට පවුලේ අයට පෙන්වන අවස්ථාවේ දූ දරුවන් මිනිය බදාගෙන ඇඩූ ආකාරය මතක් විය. ඒ පවුලේ අය පංසලට ආ දිනක. "මේ දොස්තර වරු කියන්නෙ හාමුදුරුවනේ මහ පුදුම ජාතියක්. කිසිම වගකීමක් නැහැ. සම්පූර්නෙන් සිහි නැති නොකර හිරිවට්ටල කලානම් ජිවිතේ තියාගන් තිබුන කියල කීප දෙනෙක්ම කිව්ව. ඒත් ඉතිං දැන් කාට කියන්නද? කියලත් වැඩක්ය. තාත්ත එලොව ගිහින් නෙ." යැයි සොවින් බරව දොස්තර වරුන්ට මැසිවිලි නගන්ට විය. 

"හුම්. මොනව උනත් තාත්ත හිටපු කාලෙ කාටවත් වදයක් නැතුව උන්නු මනුස්සයෙක්නේ. ඒ නිසා මරණයෙන් පස්සෙ උන්දැට සැනසිම ලැබෙයි. අපි ඒව ගැන හිතල සැනසෙන්න ඕන" හාමුදුරුවෝ ඒ උපාසකමහතාගේ සිත සනසන්නට විය. 

දැන් හැත්තෑවකට කිට්ටු වයසක සිටින ලොකු සාදු තුවාලයකට බෙහෙත් දැමීමට පවා බිය අයෙකු බව පොඩිනම දනී. පොඩිනම පැමිණ ලොකු හාමුදුරුවෝ සනසන්ට විය. "හාන්දුරුවනෙ.. බයවෙන් දෙයක් නැහැ. ඕක මහ කෙලියක් නෙවෙයිලු. කපල අයින් කරාට කිසි දෙයක් වෙන් නැහැලු. මහ උපරේසමක් නං ලොකු ඉස්පිරිතාලකට යවනව නේ. පොඩි එකක් කියල තමයි නර්ස් නෝනලත් කියන්නෙ."

නර්ස් නෝනලා ද බෙහෙත් දෙනවිටත් ලේ පරීක්ෂා කිරීමට ලේ ගන්නා විටත් පැමිණ ආදරෙන් හා ගෞරවයෙන් ලොකු සාදුට කතා කරයි. වාට්ටුවේ ලෙඩුන ්බලන්නට එන ගෑනුද හාමුදුරුවෝ බලන්නට පැමිනෙන උපාසකම්මලාද, වාට්ටුවේ සිටින වැඩකරන ඇටෙන්ඩන්,නර්ස්,දොස්තර නෝනල, පිරිසිදු කරන්නියන් ආදි බොහෝ කාන්තාවන් ලොකු සාදු දෙස ගෞරවයෙන් සහ කරුණාවෙන් බැලූහ. මහළු පෙනුමක් ඇති උන්වහන්සේ සිල්වත් ඇත්තෙකැයි බොහෝ කාන්තාවෝ නිගමනය කලෝය.

එක් වේලකට දන් දෙක තුනක් පැමිණීම විටෙක කරදරයක් විය. වාට්ටුවේම හදිසියේ කෑම නොලැබුන අයෙකුට ඒවා දෙන්නැයි ලොකු සාදු පියසෝමට කියා ඇත. පොඩි නම ඉදහිට සාත්තුවට හිටියද පියසෝම ළඟ තබාගන්නට ලොකු සාදු උනන්දු විය.

"පියසෝමට මතක ඇති අර අගිදහාමි මැරුන හැටි". රෑ අටට පමණ නින්ද යාගෙන එනවිට හාමුදුරුවෝ පියසෝමගෙන් අසයි.

"නැතුව හාමුදුරුවනේ පිළිකාවද්ද මොකද්ද ගෙඩියක් හැදුන සතියක් ඉස්පිරිතාලෙ හිටිය ඊළග සතියෙ මල ගේ. මැරෙන්න කලිං සතියක මට හම්බුනා පොල් අතු වගයක් අරං ඇලට යනව. ඒ වෙනකොටත් නිකං ඇදිල ගිහිල්ල ඇස් ගෙඩි ගිලිල තිබුනෙ. මං ඒත් ඇහුව, මොකෝ අගිදක්කෙ ඇදිල ගිහිං ලෙඩක්කද්ද? කියල. ලබන සුමානෙවත් බෙහෙත් ගන්න යන්නෝන කියල උන්දැ කිව්ව. කොච්චර වුනත් පෝයක් වරද්දන් නැතුව සිල් ගත්ත මනුස්සය නේ ? හාමුදුරුවනේ?" පියසෝම කියවාගෙන යන්නට විය. 

“හුම්.. උපරේසන් සාර්ථකයි කිව්වට ඉතිං ඔය ඕව කොරලත් මැරෙනෙක ඉවරයක් නැහැ. එක අතකින් වැඩිය කපන්න කොටන්න නැතුව ඔන්නොහෙ මැරිලම යන්න තියෙනවනං එකක්. කවද හිටියත් යන එක නෙව. “ ලොකුසාදු කියන්නට විය.

මෙවන් විටක පොඩි සාදු නම් ලොකු සාදුගේ වචන වලට එරෙහිව යමක් කියන මුත් පියසෝම හාමුදුරුවො ්කියන දේකට විරුද්දව යමක් කියන්නට වැඩිය උවමනාවක් ගත්තේ නැත. ඔහුට අනුව නිතර පත්තර කියවන, පොත් බලන, හාමුදුරුවෝ මොනවා උනත් පියසෝමට වඩා දෙයක් දනී.එ බැවින් හාමුදුරුවන් කියන දේ විටෙක වැරදි යැයි පෙනුනත් ඒ කතාව ඇතුලේ මොකක් හෝ නොපෙනෙන වැදගත් කමක් තිබිය හැක. පොඩිනම මේවා තේරුං නොගෙන එකෙටෙක කියන්ට යෑම පියසෝමට දිරවන්නක් නොවීය.

2 කොටස 

Friday, January 10, 2014

සාවියගේ මිදි


හිංචි පිංචි හාවිය
පැද්දි පැද්දි මග යද්දි
රංචු රංචු ඇස් ගෙඩි
ඈ ව පන්න ගන්න හදනවා

පෙත්තෙන් දෙපෙත්තෙන් පිබිදෙන
සිහින් සිනිඳු පියලි වලටත්
යදම් දමලා අයිතිකාරයො

පුංචි පුංචි ඇස්පෙති
සද්ද බද්ද නොකර
ඉස්සි ඉස්සි මේ පැත්ත
බලනවා කියා මට හිතෙනවා

කකුල් විකල් වනතෙක් බැඳ
විසල් කමල් රෙදි ඇඳ
වඳීවී බැඳේවී හස්තියෙක්
නොදන්නා දෙවියෙක්ට..

දන්න දා ඉඳන්
සින්න වී තිබුන ඒ මිදි
කන්න බෑ තිත්ත
පෙන්නුවාට ලස්සන

අන්න හස්තියාගේ සර්දාව
මෙන්න කෙල්ලගේ සුවාමිබක්තිය
එහෙමත් එකෙක් කියාවි
අයියෝ සල්ලී..