Tuesday, June 11, 2013

ගොඩවාය වරාය සහ මිරිස් ගල

ගොඩවාය තියෙන තැන මෙතන සිතියමේ තියෙනවා. “මාතර හම්බන්තොට පාරේ අම්බලන්තොට නගරයට යාමට පෙර දෙහිගහලන්ද හන්දියෙන් වමට ඇති පාරේ සැතපුම් 1 1/2 ක් පමණ ගිය විට මේ පුදබිම හමුවේ.“ කියලා මාස්ගුරු වෙබ් අඩවියේ තැනක තිබුනා.

ව‍‍ල‍වේ ගංගා ‍මෝය සමීප‍යේ පිහිටි ගොඩවාය විහාරය ක්‍රි.පූ. 2 වන සියව‍සේ දී ‍රෝහණ‍යේ රාජ්‍යය විචාල ‍ගෝඨාභය රජු විසින් ඉදි කරවූ බව පිළිගැ‍නේ. ‍මෙම භූමි‍යේ ඇති ක්‍රි.ව. 2 වන ශත වර්ෂයට අයත් Iවන ගජබා රජු‍ගේ (ක්‍රි.ව. 112 – 134) ‍ගොඩවාය ශිලා ‍ලේඛනය අනුව අසල වූ ගොඩපවත වරා‍යේ තීරු බදු විහාරයට පූජා කර ඇත. ‍මෙම ප්‍ර‍දේශ‍යේ පැරණි වරායක් තිබූ බවට ‍මෙ‍තෙක් ‍සොයා‍ගෙන ඇති එකම ලිඛිත සාධකය ‍මෙය වේ. ‍මෙම භූමියේ සිදු කරන ලද පුරාවිද්‍යා කැණිම් මගින් ලැබී ඇති රෝම කාසි හා අනෙකුත් වි‍දේශීය කාසි මගින් සනාථ වන්‍‍නේ ‍මෙකී ස්ථානය වැදගත් ‍වෙ‍ළෙඳ මධ්‍යස්ථානයක් වූ බව ය. ‍ගෝඨපබ්බත විහාර‍යේ ‍ශේවිත සාධක ලෙස ශිලා ස්ථම්භ, කණු පාදම්, ග‍ඩොළු ස්මාරක ආදිය හඳුනාගත හැකි ය. ‍මෙකී ශිලා ‍ලේඛන හා වාස්තු විද්‍යාත්මක සාධක අනුව පැහැදිලි වන්නේ එකල ‍නොමඳ රාජ්‍ය අනුග්‍රහය ලද විහාරස්ථානයක් බව ය. මේ විස්තරය තිබුනෙ ලංකාවෙ පුරාවිද්‍යා දෙපාර්ථමේන්තු වෙබ් අඩවියේ.

 

මෙන්න මේ ගල් බංකුව හොයාගෙන තියෙන්නෙ ගොඩවාය මුහුදේ කිමිදුන තරුණයන් දෙදෙනෙක්. මෙ ගල් බංකුව වගේ බංකු කිහිපයක්ම මේ අවට විහාරස්ථාන ආදියෙන් සොයාගෙන තියෙලු. මේ ගැන අදහස් දක්වන විද්‍යාඥයින්ට මේක මොකක්ද කියලා හොයාගන්න බැරිවෙලා තියෙනවා. නමුත්, හිරු නිවුස් අඩවිය අපූරු නිවුස් එකක් දාල තිබුනා මෙන්න මේ විදියට.

ගොඩවාය මුහුදේ නැවේ මිරිස් ගලක්.

2013 ජනවාරි 12 සෙනසුරාදා- පෙරවරු 08:18

කි‍්‍ර.පූ. 1 වන සහ 2 වන සියවස අතර කාලයේ ගොඩවාය වරාය ආශ‍්‍රිත මුහුදේ දී ගිලී ගිය ඉන්දියන් සාගරයෙන් දැනට හමුවූ පැරණිතම නෞකාව පිළිබද සිදුකළ පරීක්ෂණ ඇතුළත් වාර්තාවක් ඊයේ (11) එළි දැක්වුණා. සිදුකරන ලද පරීක්ෂණවලදී කි‍්‍ර.පූ. 2 වන සහ 3 වන සියවසට අයත් යැයි සැලකෙන ඇඹරුම් ගලක් එහි තිබී හමුවී තිබෙනවා. ප‍්‍රංශයේ සෝබෝන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඔස්මන් ඞී. බෝපේආරච්චි සඳහන් කළේ නෞකාව පිළිබද පරීක්ෂණ තවදුරටත් සිදුකරන බවයි.


මම හිතන්නෙ මේ හිරු නිවුස් අය හොයාගන තියෙන මිරිස් ගල අර කලින් කිමිදුම් තරුණයින් දෙදෙනා විසින් සොයාගත්ත ගල් බංකුවක් හැඩැති ගල් කොටස වෙන්න ඕනි. මේ හිරු නිවුස් එකේ හැර වෙන කිසිම තැනක අන්තර්ජාලයේ සඳහනක් නැහැ ගොඩවායේ ජනතාව අතීතයේ මිරිස් ඇඹරුවා කියලා හොයාගතපු සඳහනක්.

ගොඩවාය වරාය කියන්නෙ නූතන ඉදිවුන හම්බන්තොට වරායට බොහොම කිට්ටුවෙන් තිබෙන වරායක්. ඒ නිසාම පසුගිය කාලෙ ගොඩවායටත් ගොඩවායෙ පුරාවස්තු වලටත් ඉහල දේශපාලනික වටිනාකමක් ලැබුනා. නමුත් මේ ගොඩක් දේවල් ගැන පරීක්ෂන නිවැරදිව සනාථ කරගන්න තිබෙනවා.කොහොම වුනත් සමහර රජයේ ආයතන වල බොහොම කීර්තිමත් නිළධාරින් පවා ඉන්න මානසිකත්වය තමයි හම්බන්තොටින් හමනවානම් පඩගඳත් සුවඳයි කියන තැන. අපේ රටේ නිලධාරියෙක්ට තිබුන තැන කොයිතරම් බාල්දු වෙලාද කියලා මේ වගේ කතා පත්තර වල යනකොට අපිට පේනවා. ගමේ කෝපිකඩේක ඉන්න අබිලිං වගේ හිතුන බේගලයක් ඇද බාන තත්වයට රාජ්‍ය නිලධාරින් පත්වීම බොහොම කණගාටුදායකයි.

රේගු අධ්‍යක්ෂ ලෙස්ලි ගාමිනී කියන මහත්මයත් අලුත් දේවල් හොයාගෙන තියෙනවා. ඒ මහත්මයා මේ දිවයින පුවත්පතට ලියපු ලිපියෙ රචනා ශෛලියෙන්ම තේරුම් යනවා මේ ගොඩවාය වරාය ගැන එතුමාගේ ආකල්පය.

මේ ගොඩබිම් සේද මාවතේ තිබු බිහිසුණු බව නිසාත් මේ කාලය වන විට රුවල් නැව් සොයා ගැනීමත් සමගම චීනයේ සිට මලක්‌කා සමුද්‍ර සන්ධිය පසුකර ඉන්දුනීසියාව, සිංගප්පූරුව ආදී රටවල් හරහා පැමිණි රුවල් නැව් යුරෝපයට යාමේ දී වැදගත් සන්ධිස්‌ථානයක්‌ ලෙස තෝරා ගත්තේ දකුණේ ගොඩවාය වරායයි. චීනය හා මධ්‍යධරණී මුහුද යා කරන වැදගත් සන්ධිස්‌ථානයක්‌ ලෙස පතලව තිබූ නිසාදෝ ඈත අතීතයේ සිටම මහා පරිමාණයේ විශාල නෞකාවෝ ගොඩවාය මුහුද අද්දරින් ගමන් කරන්නට වූහ. මේ නිසා ඈත අතීතයේ පටන් දකුණු මුහුද ප්‍රදේශයේ සිදුකළ නාවික කටයුතු පිළිබඳ වැදගත් ඓතිහාසික තොරතුරු රැසක්‌ දකුණු ප්‍රදේශයේ මුහුදු පත්ලෙන් හමුවෙමින් පවතී. අවුරුදු දෙදහසක්‌ පමණ පැරණි නැවක නටබුන් ගොඩවාය ආශ්‍රිත මුහුදු පතුලේ තිබී හමු වීමත් සමග මෙම මතය තවත් තහවුරු වන්නට විය.

 

 ඇහින් දුටුවා සේ කියන මේ විස්තර සනාථ කරන්නට කිසිදු සාධයක් ඉදිරිපත් කොට නැහැ. ක්‍රිස්තු වර්ශ 1000ට පෙර පැවති මුහුදු සේද මාවත ගැන අන්තර්ජාලයේ අඩංගු තොරතුරු අනුව ඒ මුහුදු සේද මාවත බොහෝ විට ගමන් කරන්නේ පෝක් සමුද්‍ර සන්ධිය හරහා වෙයි. නමුත් ගොඩවාය අයිති වන්නේ ක්‍රිස්තු පූර්ව 2වන සියවසත් ක්‍රිස්තු වර්ශ 6වන සියවසත් අතර කාල පරිච්චේදයට. මේ ගොඩවාය කියන තැන නිවැරදිව ගවේශණය කලොත් අපිට මුහුදු සේද මාවතේ එක් මංකඩක් විදියට ලංකාවෙ ගොඩවාය වරාය දක්වන්න පුලුවන් වෙයි. ඉන් පස්සෙ අපි මෙතෙක් මුහුදු සේද මාවත කියල විශ්වාස කරන නාවුක මාර්ග සිතියම වෙනස් කරන්නටත් සිද්ද වේවි.

ගොඩවාය වරාය ආශ්‍රෙයන් කාසි ආදිය බොහෝ සොයාගත්තා යැයි කිවුවත් ඒ රෝම කාසි රෝමයේ කිනම් යුගයට අයිති දැයි දැක්වෙන්නේ නැත. සොයාගත් මැටිබඳුන් ආදිය මෙරට නිපදවන ලද ඒවාද නැතිනම් පිටරට ඒවාද යන්නද සඳහනක් නැත. ගොඩ පුවත නැමැති ගොඩපබ්බත විහාරයේ ඇති සෙල්ලිපිය වැදගත් එකකි. ඒ ගොඩ පුවත සෙල්ලිපියේ වරායේ බදු අය කල බවත් ඒ බදු සියල්ල විහාරයට කැප කර ඇති බවත් සඳහන්ය. මේ කාලය තුල රුහුනු දේශයේ රාජ්‍යය ප්‍රබල බවට අපිට වංශකතා අනුවද නිගමනය කල හැක.

මේ ගොඩපබ්බත විහාරයේ තියෙන ගොඩ පුවත කියන සෙල්ලිපි හොයාගත්ත කාලෙ ලොකු ආන්දෝලනාත්මක සිද්ධියකුත් වුනා. මේ සෙල්ලිපි වල තියෙන කාරණා කාරනා අපේ පරණවිතාරණ උන්නැහේ විසින් බොහොම පැහැදිලිව සඳහන් කරලා තියෙද්දිත් ටැමිල් නෙට් අඩවිය මේ ගොඩවාය කියන්නෙ දෙමල පොට් එකක්ය. එතන තියෙන සෙල්ලිපියේ දෙමල අකුරු තියෙනවා ය කියලා කියන්න සෝබන උත්සාහයක් අරං තිබුනා. මේ ටැමිල් නෙට් අඩවිය ලංකාවට බ්ලොක් කරපු එක මහ ගොන් කමක්. ඒ තියෙන කරුණු මොනවද කියලා බලලා ඒවාට උත්තර දෙන්න තිබුන හැකියාව බ්ලොක් කරපු නිසා අපිට නැති වෙනවා. ටැමිල් නෙට් එක ඕපන් තිබුනා නම් අපිට සාධක සහිතව අඩුතරමෙ බ්ලොග් ලිපියක් ඉංගිරිසියෙන් ලියලා හරි අභියෝග කරන්න තිබුනා.

මේ ගොඩවාය කියන තැන වරායක් තිබුන බවට පිළිගත හැකි ජැටියක සලකුනු සොයාගෙන තිබෙනවා. ඒ වගේම කාසි මැටි බඳුන් ආදියත් විශාල වශයෙන් හමු වෙලා තිබෙනවා. පසුගිය කාලෙ මෑත කාලිනව කල ගවේෂණ වලින් පස්සෙ ඒ කාලෙ නැංගුරමක් කියලා සැක කරන්න පුලුවන් ත්‍රිකෝණාකාර ගල් පුවරුවක් පවා ගොඩවායෙන් සෙයාගෙන තිබුනා.

මහාවංශයේ දැක්වෙන පරිදි ක්‍රිස්තු වර්ශ බිංදුවට ආසන්න කාලසීමාවේ ලංකාවේ රජකරලා තියෙන්නෙ භාතිකාභය කියන රජතුමා. ඒ රජතුමා රෝමයේ ක්ලොඩියස් රජතුමා එක්ක සම්බන්ධතා තිබුනා කියලා වෙබ් අඩවියක තියෙනවා. නමුත් ක්‍රිස්තු වර්ෂ බිංදුව කාලෙ රෝමෙ ක්ලොඩියස් රජෙක් ඉඳලා නැහැ. මෙතන පොඩි අවුලක් තිබෙනවා. මෑතක ගිය සති අන්ත පුවත්පතක කියා තිබුනා මෙවැනි අවුලක් දේවානම්පියතිස්ස සහ ඉන්දියාවේ අශෝක රජතුමා අතරත් තිබෙනවා කියලා. ඉන්දියාව සහ ලංකාව යන රටවල් දෙකේ වංශ කතා වල කාල වකවානු අනුව ඒ දෙන්නා එකම කාලයකදි හමුවන්නෙ නැහැලු. ඒ පුවත්පත් ලිපියේ නම් සඳහන් වුන විදියට මහාවංශයේ සඳහන් වන වර්ෂ වැරදියි. ඒ සඳහ සංශෝධන ඉදිරිපත් වෙන්න ඕනිලු. නැතිනම් වෙන රටවල් වල ඉතිහාසයත් අපේ ඉතිහාසයත් හමු වන්නේ නැතිලු.

මේ අඩවියේම තිබෙන විදියට භාතිකාභය, මහා දාඨක මහානාග, ආමන්ඩ ගාමිණී යන යන රජගොල්ලා තුනම ඇවිත් තියෙන්නෙ රුහුණෙන්. ඒ වගේම රුහුනෙත් මේ කාලෙදි රාජධානියක් තිබිලා තියෙනවා. භාතිකාභය රජතුමා ගේ කාලයේදී රෝමයෙන් ගෙනාපු පබලු වලින් රුවන්වැලි සෑය සැරසූ බවකුත් වංශ කතාවල සඳහන් වෙනවා. මේ කාලයේ ක්‍රිපූ 2 සහ ක්‍රි:ව 4 අතර) රජවරුන් අතර මුහුද සහ එතෙර කතාන්දර කිහිපයක්ම වංශකතාවලත් ජනවහරෙත් තිබෙනවා. ක්‍රි:ව 100-200 අතර තමයි නීල මහා යෝධයාත් එක්ක පිටරටට ගිහින් සේනාවක් අරං ආවා කියලා තියෙන ගජබාහු රජතුමා ගැන වංශකතා වල සඳහන් වෙන්නෙත්. ගොඩවාය සහ අනුරාධපුර හා සම්බන්ධ ඉහල මහාතිත්ථ ගෝකන්න වැනි වරායන් ආසන්නයෙත් රෝම කාසි ඉපැරණී බඳුන් ආදිය සොයාගෙන තිබෙනවා.

මේ තොරතුරු සියල්ල එක්තැන් වුනොත් අපිට ලොරන්සු ද අල්මේදාට(ක්‍රි:ව 1505) කලින් ලංකාව සමඟ දියුනු නාවික සම්බන්ධතා තබාගත් රටවල් ගැන විස්තර සොයාගන්නට පුලුවන් වෙයි. සිංගප්පූරුව කියන රට තමුන්ගේ ඉතිහාසය මවලා පෙන්වන්න බොහෝම උත්සාහ කරනවා. ඒ වගේම ගොඩක් රටවල් තමුං අතීතයේදී ලොක්කන් වෙලා තියෙනවා කියලා පෙන්වන්න ලොකු උත්සාහක් ගන්නවා ඉතිහාසය තුලින්. නමුත් අපේ රටේ නාවුක බලය, නාවුක මධ්‍යස්ථානයක් විදියට ක්‍රිස්තු පූර්ව යුගවලදී පවා අපිට තිබුන නාවුක ශක්තිය ආදිය ගැන අපි එච්චර සලකන බවක් පේන්න නැහැ.

ආතර් සී ක්ලාක් මහත්තයා විසින් අපේ මුහුදෙ කිමිදිලා ගොඩක් දේවල් හොයාගෙන තියෙනවා. ආතර් සී ක්ලාක් බොහොම ජනප්‍රිය වෙලා තියෙන්නෙ විද්‍යා ප්‍රබන්ධ කරුවෙක් විදියට. නමුත් එතුමා වෘත්තිය දක්ෂ කිමිදුම් ශිල්පියෙක්. ලංකාවට අයිති මුහුදෙ ගොඩක් තැන් ගවේෂණය කරන්න ගිලුනු පරණ නැව් ගොඩගන්නත් අපේ ආතර් සී ක්ලාක් මහත්මයා උනන්දු වුනා. මහා රාවණා කොටුව, ත්‍රිකුනාමලය, ගාල්ල ආදි ස්තාන වල ඉතාම දුෂ්කර කාලගුනික තත්වයන් යටතේ එවකට තිබුන තාක්ෂනයෙන් එතුමා ගොඩක් දේවල් අපිට හොයල දීල තියෙනවා.

නමුත් ආතර් සී ක්ලාක් විසින් නිශ්පාදනය කරපු වාර්තා චිත්‍රපටියක් වෙන රන් මුතු දූව කියන චිත්‍රපටය නිසා පසුකාලීනව මුහුදේපරණ නැව් වල රත්තරන් හොයන්න ගිය පිරිස වැඩිවෙලා පුරාවස්තු විනාශ වුනා කියලාත් කතාවක් තිබෙනවා. ඒ වගේ අනතුරක් ක්ලාක් මහත්තයට හිතෙන්න නැතුව ඇති. කොහොම වුනත් ආතර් සී ක්ලාක් මහත්මයා නිෂ්පාදනය කරපු ඒ රන්මුතු දූව කියන්නෙ සාර්ථක චිත්‍රපටියක්..අපෙ සිනමා කර්මාන්තයේ එක්තරා කඩඉමක්.. දැන් මේක කියවලත් අර එච් සී පී බෙල් මහත්තයා සීගිරිය විනාස කලා වගේ ටොම් පච ගොතන සමහර අය ආතර් සී ක්ලාක් මහත්තයත් මුහුදේ තිබුන සිංහල නැව් විනාස කලා කියලා කතාන්දර ගොතන්න පුලුවනි. කොහොමත් කතාන්දර වලට අපේ අය දක්ෂයො නේ..

මේ ගොඩවායෙ කරපු කැණීම් සහ අධ්‍යන බොහොමයක් කරලා තියෙන්නෙ විදේශ ආධාර මත. සමහර තැන්වලදි ජර්මන් ජාතික පුරාවිද්‍යාඥයින් පවා තමුන්ගේ වියදමින් මේ ගොඩවාය අධ්‍යනය කරලා තියෙනවා. ඉතිං ඒ සුද්දො ඇවිත් අමාරුවෙන් මෙහෙ උන්ගේම සල්ලි වලිං කාල බීල මොකක් හරි හොයාගෙන විස්තරේ අපේ බුවෙක්ට කිව්වාම ඒක ලොකු පොල් අකුරෙන් පත්තරවල යනවා. අපි මෙහෙමයි හරමයි කියල ලොකුකම් කියවන්න බලං ඉන්න අපේ අයට ඉතිං ඒක කපුටන්ට කුනු මස් කෑල්ලක් ලැබුනා වගේ. . නමුත් අපි ජාතියක් විදියට මේ වගෙ දේවල් වලදි හරිම කම්මැලියි. අනුන් මොකක් හරි හොයාගෙන කොනකින් ලංකාව ගෑවුනොත් අන්න ඒ සුලු තැන අල්ලගෙන දඟලනවා නමුත් දෙයක් ක්‍රමානුකූලව අධ්‍යනය කිරීම අතින් අපි ෆේල්..

ඉපැරණි නගරයක නටඹුන් තිබෙන පොම්පෙයි නගරය බලන්න සමහර දවසට එන සංචාරකයින් ගණන 20,000කට වඩා වැඩියිලු සමහර දවසට. ලෝකයේ පුරාවිද්‍යා අඩවි කියන්නෙ සමහර රටවලට ධන උල්පතක්. පුරාවිද්‍යාව මගින් අනාවරණ කරන තාක්ෂණය, කලාව, ජීවන රටා ආදිය තුලින් අද දවසේ මනුෂ්‍යයින්ට ගත හැකි ආදර්ශ ආදිය බොහොමයක්ම තිබෙනවා. නමුත් ලංකාවෙ තවමත් පුරාවිද්‍යාව කියන්නෙ නිකං ඇඟට දැනෙන විශයක් නෙමෙයි. සුද්දො ආධාර දුන්නොත් උන්ට ඕනිවට වගේ කොහේ හරි ටිකක් හාරලා දානවා. ඉන් පස්සෙ ඒ විස්තර සංසරණය කරන්න ඒ හොයාගත් විස්තර ලෝකෙට දෙන්න වැඩපිලිවෙලක් තිබෙන බවක් පේන්නෙ නැහැ. මේ හැමදේටම රජයම කැපවෙන්න ඕනි කියන තැන ඉන්න බැහැ. අපේ රජයවල් හරි දුප්පත්.. දියුනු රටවල ධනවත් මිනිස්සු සල්ලි වියදම් කරලා මේ වගේ නව ව්‍යාපෘති ගැන අලුත් මානයකින් දකින්න උත්සාහ ගන්නවා. නමුත් අපේ රටේ ධනවත් මිනිස්සු හම්බ කරගත්ත සල්ලි ටික එකතු කරලා ඒ දියුනු රටවලට ගිහින් එහේ තියෙන සුපිරි ආතල් ටික අරගෙන ආයි මේ කොදෙව්වට ගොඩබහින්නෙ ආයෙමත් සල්ලි ටිකක් මේකෙං හූරගෙන ගිහින් අර දියුනු රටවල සැප ටිකක් ගන්නෙ කෝමද කියලා හිතාගෙන. ගොඩවායෙදි හොයාගත්ත තොරතුරු ටික පවා එක්තැන් කරලා අන්තර්ජාලයේ තිබිලා හමුවුනේ එකම එක ලිපියයි. ඒක බොහොම පැහැදිලිව විස්තර තිබෙනවා.

5 comments:

  1. අමිල නියම පෝස්ට් එකක්...මේ දීලා තියෙන ලින්ක් ටිකත් සෑහෙන්න වැදගත්..මම දැන් ඉන්නේ ලංකාවේ , මට නම් ඔබපු ගමන් ටැමිල් නෙට් ලෝඩ් උනා...

    ReplyDelete
  2. ස්තූතියි අමිල තොරතුරු ටිකට...

    අර අපේ රජවරුන්ග කාල සීමාවල් පිටරට රජ්වරු සමඟ ගැලපෙන්නේ නැති එකට මෙහෙම පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්.....දැනකාලේ කාලය හැමෝම නිරපේක්ශ ලෙස හිතලා එකම ආකාරයර මැන්නත්, පැ‍රැන්න්නට එහෙම සමුමුතියක් තිබ්බේ නෑ...තිබ්බ සම්මුතීන් රටෙන් රටට, සමාජයෙන සමාජයට වෙනස්....එක සමාජයක අවුරුද්ද තව සමාජයක අවුරුද්දර වෙනස්...මේ වෙනස් බව ඉහත කී නොගැලපීම් වලට හේතූ වෙන්වා වෙන්න පුලුවන්...

    මා දන්නා විදිහට බුදුහාමුදුරුවන්ගේ බුද්ධතවය කාල සීමාව ගැනත් මේ වගේ ගැටළු තියෙන්වා...

    ReplyDelete
  3. දේවානම්පියතිස්ස රජු ගේ ඉඳන් එයාගේ බාල සොහොයුරන් 4 වන උත්තිය, මහාසිව, සූරතිස්ස හා අසේල යන රජවරුන්ගේ රාජ්‍ය කාලයන් අවුරුදු 40 බැගින් දක්වලා තියෙනවා මහාවංශයෙ. ඒ අතරට සේන සහ ගුත්තික අස් නැවියන්ගේ ආක්‍රමණයකුත් වෙනවා. එතකොට බාලම කුමාරයා වෙන අසේල රජු ත්, දේවානම්පියතිස්ස රජු ත් අතර පරතරය අවුරුදු 120 කට වැඩියි. මහාවංශ රචකයා මේ විදිහට කාලය දීර්ඝ කරලා දක්වලා තියෙන්නෙ විජයාගමනය, බුද්ධ පරිනිර්වාණයට සමපාත කරන්න කියලා අදහසක් තියෙනවා. ඒ වගේ දේවල් නිසා තමයි මේ කාල වකවාණු ගැටලුවක් එන්නේ.

    ReplyDelete
  4. ඉතිහාසය කියන්නේ දිනපු එකා ගැන වර්ණනා කරන්ඩ ගොතපු කතන්දරයක් විතරයිනේ.තව අවුරුදු දාහකිං විතර ලංකාවේ ඉතිහාසය හොයන උන්ට හිතෙයි යුද්දේ කරලා තියෙන්නේ අයියලා මල්ලිලා පුතාලා ටික විතරක් එකතුවෙලා කියලා.ඇත්ත හොයන්ඩ අමාරුයිනේ.ඒවා විනාශ කරලා දාන හින්දා...

    ReplyDelete