Sunday, June 9, 2013

අපිව ගෝත්‍රිකයින් කරන අපේකම (tribalness in US)

අපේ කම තමන්ගෙ කම වනාහි මේ සමාජය තුල ඉහල වෙළඳ වටිනාකමක් සහිත ගුණාංගයකි. මට වත්මන් සමාජයේ ඉහල නිලතල දරන බලතල දරන පුද්ගලයින් ගොඩාරියක් දැන අඳුන ගන්නට ඔවුන් ආස්‍රය කරන්නට අවස්ථාව ලැබේ නම් මට බොහෝ වරප්‍රසාද නිතැතින්ම හිමි වේ. තමා ගේ සමීපයින්ට වැඩිපුර සැලකීමෙ ගුණාංගය අපේ කම ලෙස හඳුන්වයි. අපේ කම තිබෙන්නට නම් අපේ එකෙකු සිටිය යුතුය. අපේ එකෙකු සිටින විට අපේ නොවන එකෙකුද ඉබේම පහල වෙයි. අපේ සිංහල පැතිවල හරක් මැරෙති ඒ මැරෙන හරක් අපේ හරක්ය. ඒ හරක් වෙනුවෙන් මිනිස්සු සල්ලි වියදම් කරති. මේ ළගදි උන්නාන්සෙ කෙනෙක් ගිනිතියාගෙන මැරුනේය. එල් ටී ටී පාලනයට තිබු ප්‍රෙද්ශවලද හරක් සිටියෝය. ඒ හරක් යුද්ධයට හසුව මලෝය. ඒ හරක් විටෙක පලිහක් කොට ගන්නට ත්‍රස්ථවාදින් සමත් විය. ඒ උතුරේ මියගිය හරක් අපේ නොවේ. ඒ හරක් ගැන කවුරුත් කතා කරන්නේ නැත. අපේ සිංහල පැතිවල ඉන්න හරක් අපිට උතුම්ය. උන් ගැන සත්ව කරුණාව උපදවා කතාකරන්නට පිටරට සිටින සිංහල අය පවා ඉදිරිපත් වෙති.

මේ හරක් ගැන කතාවය. මනුස්සයෝ ගැන සිතුවත් එතනටත් එහා ගිය ගෝත්‍රික අපේ කමකි ඇත්තේ. මැරෙන සිංහල හමුදාවේ සෙබලු අපේ එවුන්ය. අපේ එකකි මේ මිනිසා යයි ටීවි එකේද පෙන්වයි. තාමත් ගනින මරණ නැමැති මේ වාර්ථාවල දැක්වෙන පරිදි ඒ පැත්තේ අවි නොදැරූ දෙමල මනුස්සයෝ අපා දුකක් විඳින ලදී. අදටත් ඒ මනුස්සයන්ට නිසි ජීවනෝපායක්, නිසි අධ්‍යාපන ලැබීමක්, නිසි සෞඛ්‍ය හා යටිතල පහසුකම් නැත. නමුත් අපි මැරුන අපේ එවුං ගැන සමරන කතාකරන මුත් උන් ගැන කතා කරන්නේ නැත. මන්ද යුද්ධයට අසුව අතරමැද දී ඒ මලේ හෝ ජීවතුන් අතර සිට දැනටද මැරි මැරි ජීවත් වන්නේ කොහේද යන මිනිස්සු ටිකක් මිස අපේ උන් නොවන බැවිනි.

අපේ කමේ වැරදි ගොඩක් ඇතිමුත් හොඳකුත් ඇත. සුනාමි අවස්ථාව වැනි හදිසි අවස්ථාවලදී අපේ මිනිසුන් ප්‍රථම වාර වලදී පිහිට වූයේ අපේ කම නිසාය. දෙවන වාරයන් වලදී පිහිට වන්නට ගියේ කීයක් හෝ කඩාගන්නට විය හැක. නමුත් සියලු මිනිසුන් එකතුව සුනාමි අවස්ථාවේ එකදු මනුෂ්‍යෙයක් වත් දින ගනනක් බඩගින්නේ නොතියන්නට වග බලාගත්තෝය. එය අපේ කම විසින් ගොඩනගන ලද යහපත් දෙයකි. නමුත් එහිදීද අපේ උන් දෙන්නට උත්සාහ කලේ අපේ ම උන්ටය.. දෙමල පැතිවල අය ගැන සැලකීමක් තම්බි පැති ගැන සැලකීමක් අපේ අය නොදක්නා ලදී.

සමාජය වසා පැතිර ඇති දූෂණය භීෂණය ආදි සෑම දේටම පොදු සාධකයක් ලෙස මේ අපේ කම ගත හැක. මේ ළඟදි මට බස් රියේ පරිඝණක විද්‍යාව උගෙන ගන්නා සිසුවියක හමු විය. ඇය හදාරන විෂයන් ආදිය දැනගත් පසු ඇය රැකියා වෙළඳ පොල ගැන ඇසීය. මා පරිඝනක ක්ෂේත්‍රය ගැන සැබැවින්ම නොදන්නා අතර මා දන්නා ඉංජිනේරු ක්ෂේත්‍රය ගැන කීවෙමි.

නංගි අපි ඉගනගන්න කොට හිතනවා මේන්න මේ කොටස අපි හොඳට කොලොත් මේන්න මේ කෑල්ල වැඩිපුර ඉගෙනගත්තොත් ඒක වැදගත්වෙයි කියලා අනාගත රස්සාවට. නමුත් ඇත්තටම ලංකාව ඇතුලෙදි එහෙම එකක් නැහැ. ඉන්ජිනියරින් ඩිප්ලෝමා කරන අය ඒ අයගේ සීනියර්ලා අඳුනන තැන්වල රස්සාවලට යනවා. උපාදි තියෙන එය එයාලෙගේ සීනියර්ලා අඳුනන තැන් වල රස්සාවලට යනවා. සමහර විට ඔය හැමදේම ඉගෙනගන්නවට වඩා කැම්පස් එකේ අයියලාගේ මලගෙවල් ගිහින්, එකට කාල බීල ඉඳලා අයියලා එක්ක පිට් එකේ ඉදලා යන්තං පාස් වෙලා අවුට් වෙන එක ලේසියි. එහෙම වුනාම හොඳ ජොබ් එකක් ගන්න තියෙන හැකියාව වැඩියි. තව ඉතිං නංගිලා දන්න දේසපාලකයෝ, නිලධාරි, දන්න කියන අය ඉන්නවනම් දැන් ඉඳලම එයාල ෂේප් කරගන්න බලන්න. ඒ වගේ වැදගත් අයගේ මලගෙවල් දාන ගෙවල් මිස් කරන්න එපා. මලගෙවල් දානෙ ගෙවල් පාටි ආදිය නිසාත් අපි ඒ ගෙවල්වල නිතිපතා විසිටින් යාමත් නිසා අපේ කම තමන්ගේ කම වැඩිවෙනවා. අද කාලෙ මොන දේටත් වැඩිය රස්සාවකට තමුන්ගේ කම අපේ කම වැදගත්. මම දන්න ගොඩක් පුද්ගලික අංශයේ ඉංජිනේරු රස්සා යන්නෙ තමුන්ගෙ කමට අපේ කමට. මිසක් සුදුසු කමට නම් නෙමෙයි.

නංගී මා අපේක්ෂා බංග වූ මොකුත් කරගන්නට බැරි කමින් ඉරිසියාවට අනෙක් අයට කතන්දර හදන අබලං ඉංජිනේරුවෙකු ලෙස මාක් කරගන්නට ඇත. අබලං උනත් කමක් නැහැ මාව ඉංජිනේරුවෙක් කියලා මාක් කරගත්තනං මට එ ඇති නෙව. කෙසේ වෙතත් මා නංගීට කීවේ මොන දේ කැප කරලා හරි හොද ජොබකට යන්න. ගියාට පස්සෙ ආයෙ කවුරුත් කියන්නෙ නැහැ ඔයා ජොබට ආවෙ මෙහෙමයි කියලා. ඉඳලා හිටලා එකෙක් කිව්වත් කාලෙත් එක්ක ඒවා මතක නැති වෙනවා කියලාය. සත්‍යද එයය. මේ කතාකරන මට පවා රැකියාවක් සොයන්න පත්තර වෙබ් අඩවි පීරනවාට වඩා බොහෝ ලේසියෙන් දන්න යාලුවෙක්ට කියා දන්න කියන තැනකට පැනගැනීම පහසුය. 


තරඟයට පොල්ගාන පිරිසක්.
පසුගිය කාලයේ පංසල් වල සිටි ඇබිත්තයින්ට පවා විදුලිබල මන්ඩලයේ සුලු සේවක රැකියා ලැබුනි. එවිට විදුලි මන්ඩලය භාර ඇමති තුමා අයිති වුයේ හෙල උරුමයටය. විදුලි බල මන්ඩලයට සුලු සේවකයින් දැමීමේ දී හෙළ උරුමයේ ප්‍රබල සංඝයා වහන්සේ සමහරෙක්ට ද අවස්ථාව ලැබුනි. ඒ පිනෙන් සමහර පංසල් වල සාදුලාගේ වැඩ කිඩ කරගෙන සිටි ඇබිත්ත නයිදේලා වැනි අයට විදුලි මන්ඩලේට යන්නට ලැබුනි. මේ උන්නාන්සේලා බුදුන් දවස සිටියේ වී නම් මොවුන් දේවදත්ත පරපුරට අයිති වෙනු ඇත. දේවදත්තයා සිදුහත් කුමරාගේ එක්කුස උපන් මස්සිනා වීත් බුදුන් වහන්සේ දෙව්දත්ෙග් ඥාතිත්වය තඹයකුදු නොසැලකීම දෙව්දත් වෛර බඳින්නට හේතු වූ බව පත පොතේ සඳහන්ය.. 

ඒ අපේ කමෙහි එක් පැතිකඩකි. දැන් අපි තවත් පැතිකඩක් බලමු. ඊයේ මගේ ඥාතියෙක් ඉස්පිරිතාලයෙන් ගෙදර එන දවසය. හේ තෙමේ දින කීපයක් ඉස්පිරිතාලයේ නේවාසිකව සිටියාය. ඉතිං දවල්ට ඇය බලන්ට ගිය විට ටිකට් එක කපලාය නමුත් දොස්තර ගොල්ලා ටිකට් එක ලියලා අස්සන් කරලා නැත. ඉතිං අපි දොලහේ සිට හවස දෙක වෙනතුරු දොස්තර මහත්තයා ටිකට් එක ලියලා අස්සන් කොරන තුරු සිටියෙමු.අපේ එකෙක් හිටියනම් මේ වෙලාව විනාඩියක් දෙකක් වැනි සුලු එකක් විය හැක. ඉස්පිරිතාලයක නම් ඇඳක් ගැනීමේ සිට බෙහෙත් ගැනීම දක්වා තමුනගේ කම අපේ කම වැදගත්ය. අපේ කියාල ලොකු මනුස්සයෝ නැති දුප්පත් මනුස්සයෝද? අනේ අපේ එකෙක් හිටියනම් බිම ඉන්න වෙන් නැහැ නෙව කියා බිම ලැග සිටින්නේ ඇඳක් ලබාගත නොහැකි නිසාය. මේ අපේ කමින් කරන වැඩ මුදල් දී සුලු කාලයකට අපි ලබාගන්නා අපේ කම හරහාද කරගත හැක. එසේ සුලු කාලයකට අපේ කම කුලියට ගැනීම අල්ලස්, හෝ අත යටින් ගානක් දීමක් ලෙස සාමාන්‍යෙයන් හදුන්වනු ලැබේ.

මා වැඩකරන කන්තෝරුවේ මා හටද එවැනි අපේ කමට කල යුතු රාජකාරි එයි. අපේ සේවා තත්වය අනුව බිඳවැටීමක් වුනොත් සතියකින් මෙහා එය රෙපෑර් කරනවා යනු අසාමාන්‍ය දෙයකි. එනිසා කස්ටමර් ඇත්තෝ දන්න කියන එවුං සිටීදැයි සොයා බලා උන්ට කියා වැඩේ කරගන්නට හදති. එවුං අපේ යාලුවන් ඥාතින් කවුරු හෝ වුනත් නොවුනත් ඒ අපේ කස්ටමර්ලාය. ඔවුන්ගෙන් ගරා ගන්නා තුට්ටු දෙකෙනි අපි පඩි ලබාගන්නේ. එනිසා මම එවන් අවස්ථාවලදී නිකමට වැඩය නැවතී ඇති තැන සොයා බලා වැඩය කරදෙන්නට උත්සාහ ගනිමි. නමුත් ලොකුවට එය උස්සා පැයෙන් කරදීමට හැකියාවක් මට නොමැති අතර එවන් හැකියාවක් නැතැයි කී විට එය විස්වාස නොකරන ඇත්තන්ට සොරිය.

මා තැපැල් කන්තෝරුවට පසුගිය දිනෙක ගියේ මගේ පාර්සලයක් යැවීමටය. පාර්සල් කිරීම සාමාන්‍යෙන් කන්තෝරුවේම කරයි. පෙර ගිය දිනෙක පාර්සල් කරන කොල සහ සෙලෝ ටේප්නොතිබු බැවින් මා ඒවා රැගෙන තැපැල් කන්තෝරු ගියෙමි. එවිට අලුත් මුහුනු කීපයක් කන්තෝරුවට ඇවිත් තියෙනු මම දිටිමි. පෙනුමේ සැටියට ඔවුන් උපාධිදාරින් වෙයි. ඔවුන් විසින් පාර්සල් කරනු ලබන බඩුව අතගා පරික්ෂා කොට මට පාර්සල් කරගන්නා ලෙස දුන්නෝය. වෙනදා මෙන් ඔවුන්ම පාර්සල් නොකරන්නේ ඔවුන් උපාධිදාරින් වීම නිසා විය හැක. මේක පාර්සල් කොරගන්නෙ කොහොමදයි සිත සිතා සිටින විට දෙයියො දැක්කා වගේ පෙර දිනෙක මට පාර්සලය අලංකාරව සකස් කොට දුන් පියන් මහතා දකින ලදී. එතැන සිටි උපාධීදාරී ගෑනුන්ට රවමින් මම අර පියන් මහතාට කියා බඩුව පාර්සල් කරගන්නා ලදී. පියන් මහතා ඒ කාර්යේ නිපුනයෙකි. හෙතෙම කොහෙන්දෝ ගෙනා කාඩ්බෝඩ් කැබලි ලක්ෂණට තබා ඒ බඩුව නිසි අයුරින් පාර්සල් කර දෙන ලදී. පියන් මහතා මා හඳුනන දන්නා කියන කෙනෙක් නොවේ. නමුත් ඔහුගේ සේවාව දන්නා කියන අපේ කෙනෙකුට කරදෙන සේවාවක් කරන අයුරින් කලේය.

සත්‍ය වශයෙන්ම ආයතනයක සේවා ගන්නට ආ විට පාරිබෝගිකයාට ලෙඩාට සැලකිය යුත්තේ අපෙ ගෙදර කෙනෙක්ට සලකනවා වැනි ආකාරයෙනි. නමුත් පුද්ගලික හෝ රාජ්‍ය අංශයෙ කුමන ක්ෂේත්‍රයක වුව අපේ දන්න කියන කෙනෙකුට සලකන විදියත් සාමාන්‍ය කෙනෙකුට සලකන විදියත් ආකාර දෙකක් ලෙස පවතී. අපේ කෙනෙකු නොවන පුද්ගලයා බොහෝවිට අපේ කරදර කාරයෙක් ලෙස පෙනේ. පසුගිය දිනෙක ජාතික රෝහලේ මෙවැනි කරදරකාරී අපේ නොවන රෝගියෙකු පැමිණ පොඩි කලබලයක් මාධ්‍ය ඔස්සේ ඇති කලේය. එසේම පොලිස් මහත්තුරු අපේ නොවන සාමාන්‍ය මිනිස්සුන්ට සලකන තිරිසන් ආකාරය අපේ සමාජය ගැන මනා ආඩම්බරයක් අපිට එක්කරයි. මෙවන් පොලිසි සැලකීම් අසාධාරන නිබඳවම මානව හිමිකම් අඩවි වල යයි. නිතර අපිට පත්තරවලද පෙනේ. රිමාන්ඩ් භාරයට පත් වන ඔවුන් ඔවුන් සැබැවින්ම වැරදි කරුවන් වුවත් ලිංගික අවයව වලට පහරදීම ඒවා හාස්‍යට ලක්කිරීම ආදි දඬුවම් අප රජකාලේවත් තිබුනේ නැති අසික්කිත අමානුෂික දඩුවම්ය. මෙවන් දේ කරන පොලිස් මහත්තුරු හැමදා අපේ උන් ගේ බලෙන් ජීවත් වෙති.

ඒ අසාධාරනවලට ලක්වන්නේ අපි නොවේය. එබැවින් අපිට අසාධාරනයක් වනවිට අපේ එකෙකු සොයාගෙන වැඩේ ගොඩදාගත හැකිවෙනු ඇතැයි අපි සිතමු. එසේ බැරිවුනොත් අපිත් මේ විදියට මානව හිමිකම් වලට පැමිණිලි කරන්නට යනවා ඇත. ආන්න ඒ වෙලාවට ලංකාවෙ මානව හිමිකම් මීට වඩා තිබුනොත් හොඳ යැයි බොහෝ දෙනාට සිතෙයි.

සමාජිය විද්‍යාව පැත්තෙන් සමාජය දුටුවිට මොන දේ ඉගෙනගත්තත් මොන හැකියාව තිබුනත් අපේ කම වැඩිදියුනු කර නොගන්නා අයෙක්ට මේ සමාජය තුල තැනක් හදාගැන්ම අතිශය දුෂ්කරය. අප විසින් අපි අයිති කුලක වලට අපිට හිතවත් කුලක වලට වැඩිපුර සැලකිය යුතුය. එසේ කිරීම අපේ යුතුකමය යැයි අපි ජානගතවම සිතන්ට අපි පෙළඹී ඇත. එවැනි සමාජයක ජිවත්වන අප අපේ වැඩක් කරගන්නට අපිට හිතවත් අය සොයමින් පෝන් බුක්, මේල් කන්ටැක්, විසිටින් කාඩ් ආදිය සොයමු. වැඩේ ලේසියෙන් කරගන්නට හැකි තමුන්ගේ අය ඉන්නවාදැයි සොයන අතර සාධාරන සම ලෙස සලකන සමාජයක් ගැන කතාකිරීම පලක් නැති දෙයකි. සාධාරන වූ සමාජයක් තුල අපේ කමට මේ තරම් තැනක් ලැබෙන්නේ නැත. අපේ කම මේ තරම් මාකට් වන්නේද නැත. අපේ කම තමුන්ගේ කම නැති එවන් සංකර සාධාරන සමාජ කුමටද? මේ පවතින ආශ්චර්ය සුරලොව කෙතරම් සුව ඇතිද , අපි මේ දරුවන්ට ධනාත්මකව හිතන්න පුරුදු කරන්න ඕනි.. ජනාධිපතිතුමා කළුතර විද්‍යාල අලුත් නානතටාකය අසලදී ඊයේ කීවේය.

5 comments:

  1. පෝස්ට් එක කියවල ඉවර උනාම වෙන කියන්න දෙයක් නැහැ අමිල...හැමෝම ෆෝන් කෝල් එකෙන් වැඩේ ගොඩ දාගන්න බලන්නේ අද...එක කොටසක් අසීමාන්තිකව තමන්ගේ බලය හැකියාව පාවිච්චි කරනවා..

    තව කොටසක් ඔලුවට අත හෝදලා ගියත් සිල් ගත්ත නයා වගේ ඉන්නවා..කොහොම හරි අමිල අන්තිමට වෙන්නේ එකම දෙයයි..

    01.සමාජඅසාධාරණ ගැන ලියන සෙට් එක හැමදාම ලියනවා
    02.සමාජඅසාධාරණ කරන සෙට් එක හැමදාම කරනවා.
    03.සමාජඅසාධාරණ වලට ලක් වෙන සෙට් එක හැමදාම පුඩිය කනවා.

    01 , 02 , 03 අතර අනුපාතය කාලෙන් කාලෙට වෙනස් වෙනවා ..එච්චරයි...

    ReplyDelete
  2. මේ තමයි ඉතිහාසයේ තිබුන අපේ කම. සුද්දෝ ඇවිත් ඒක නැති කරලා තිබුනේ. දැන් පද්දෝ ඇවිත්, අපේ කම ආයෙත් රජ කරනවා...

    ReplyDelete
  3. වැඩේ කියන්නේ අමිල අයියේ කවුරුහරි අපෙන් අපේකම කියලා වැඩක් කරවගන්ඩ ඇහුවම ඒක නොකර හිටියොත් හෝ කර ඇරියොත් සොරිම තමයිනේ.ඊට පස්සේ උං තරහ වෙලා හිටියත් කමක් නෑ.උං ට්‍රයි කරන්නේ අපිට කෙළවන්ඩනේ.

    ReplyDelete
  4. හැමදාම වගේ අදත් කියන්න දෙයක් ඉතුරු නොවෙන්නම ලියලා :D

    ReplyDelete