Saturday, September 13, 2014

‪#‎SLAmuMirisChallenge‬ ගැන එන පැන

අපි දන්නවා ගොඩ වෙදකම් විදියට අපි එක එක දේවල් කරනවා ලොකු රෝගවලට..ඩෙංගු හැදුනාම ගස්ලබු කොල, පැපොල හැදුනාම කොහොඹ කොල, වගේ දේවල් පාවිච්චි කරනවා.. ඇත්තටම මේ වකුගඩු රෝග අමු මිරිස් වලිං හොඳ කරන්න පුලුවන් වෙයිද? අමු මිරිස් කෑවම වකුගඩු හොද වෙනවද?
වරදවා වටහා ගන් එපා. අමු මිරිස් වලිං වකුගඩු ලෙඩ හොද වෙන් නැහැ. මේක රජරට වකුගඩු රෝගෙට මුදල් එකතු කිරීම පිණිස ක්‍රියාත්මක කරන තවත් සාර්ථක වැඩපිලිවෙලක් විතරයි. මේකෙදි යමෙක් අමුමිරිස් කාලා තව අයට චැලෙන්ජ් කරනවා. ඒ වගේම අමු මිරස් ඇහැට නොදැක්කත් හරිම ලේසියෙන් SL AID මුදල් ගිණුමට බැර කරලා සත්කාරයට දායක වෙන්න හැකියාව තියෙනවා. 


මේ ඉහල තියෙන්නෙ ගිණුම් විස්තර..

අමු මිරිස් චැලෙන්ජ් එකෙන් වකුගඩු රෝගීන්ට මොකක්ද ඇත්තටම කරන්න යන්නෙ? 


පොලොන්නරුව මහ රෝහලට අවශ්‍ය Reverse Osmosis (RO) ඒකකයක් පරිත්‍යාග කිරීම.ඒ යන්ත්‍රයක මිල රුපියල් ලක්ෂ 30කට අධිකයි. 

දැන් වකුගඩු රෝගීන්ට ඕකෙන් වෙන සෙතේ මොකද්ද?
වකුගඩු වල ආබාධයක් තිබෙන අවස්ථාවෙදි රෝගීන්ගේ ලේ නිසියාකාරව පිරිසිදු වීම සිද්ද වන්නේ නැහැ. ඒ වගේ අවස්ථාවක ඒ කාර්යය බාහිරින් කරන්න යම් යම් යන්ත්‍රෝපකරණ භාවිත වෙනවා. වකුගඩු රෝගය වැළඳුන රෝගින් ඉස්පිරිතාලෙට ඇවිත් සතියට දෙතුන් පාරක් මේ ප්‍රතිකාරය ලබාගන්නවා. ඒ හරහා රෝගීන්ට තවත් කාලයක් මේ ලෝකෙ ජීවත් වීම් වාසනාව ලැබෙනවා.  අමු මිරිස් චැලෙන්ජ් එකෙන්, SL AID අරන් දෙන්න යන මැෂිමෙන් ඒ වගේ සැලකිය යුතු රෝගීන් ප්‍රමාණයකට සතියක් තුල ලේ පිරිසිදු කරගැනීමේ අවස්ථාව ලැබෙනවා. 

පිංකමක් විදියට ගත්තොත් මේක විශාල පිංකමක්. පාර තොටේදි හමුවෙන හිගන්නෙකුට රුපියල් සියක් දීල හිගන්නාගේ ජීවිතය සාර්ථක වෙනවාට වඩා මහත්ඵල මහානිසංස ලැබෙන එකක්.  මොකද අමු මිරිස් චැලෙන්ජ් හරහා අරන් දෙන්නට යන මැසිමෙන් ජීවිතවලට සහනයක් ලබාගන්නෙ එක අයකු දෙන්නෙකු නෙමෙයි..දහස් ගානක් ගොවිජනතාවගේ අසරණ ජීවිත වලට ජීවත් වීමේ අවස්ථාව ලැබෙනවා. 
රෝගියෙකු යන්ත්‍ර ආධාරයෙන් ලේ පිරිසිදු කරගන්නා අවස්ථාවක් 
දැන් ඕකක් ඕනි කියල පිදුවට වැඩක්යැ..සමහර විට ස්පිරිතාලෙට ඕනත් නැතුව ඇති ඕවා.තියෙන ටික ඇතුවැති.පිස්සු වැඩ? අද කාලෙ ඉතිං ජනප්‍රිය වෙන්න කැමති උන් මොනවද නොකරන්නෙ නේද? 

අමු මිරිස් චැලෙන්ජ් එක කියන්නෙ නිකම්ම නිකං සල්ලි එකතු කරන වැඩසටහනක් නෙමෙයි. මේකට මූලික වුනු රසික නානායක්කාර සහ SL AID පිරිස පොලොන්නරු රෝහලට ගිහින් රෝගීන් වෛද්‍ය කාර්ය මන්ඩල සහ මූලික රෝහලේ ප්‍රධාන තැන් කිහිපයක්ම හමු වෙනවා. ඔවුන් වකුගඩු රෝගීන්ට මේ අවස්ථාවේ විශාල වශයෙන් වැදගත් විය හැකි පරිත්‍යාග මොනවාද කියලා දොස්තර මහත්වරුන්ගෙන්ම අසා දැනෙගෙන ඉන් පසුව තමයි අමු මිරිස් චැලෙන්ජ් එකෙන් එකතු වෙන මුදල් ඒ සඳහා වියදම් කරන්න සැලසුම කරලා තියෙන්නෙ.

පහල ඡායාරූපයේ ඉන්න SL AID හා සම්බන්ධදොස්තර පුෂ්පික අබේසේකර මහතා පොලොන්නරුව ප්‍රදේශයේ රෝහලේ කලක් වෛද්‍ය නිළධාරීතුමා විදියට වසර කිහිපයක් රාජකාරි කරපු කෙනෙක්.
පොලොන්නරුව රෝහලේ බළධාරින් සමග අමුමිරිස් කන්ඩායම(SL AID) 
ඒකත් නරක නැහැ නේ..රනාටයි සෙට් එකටයි නිකංම පොලනේනරු ටිප් යන්න..එක එක තැන්වලට නොමිලෙම කැරකෙන්න ගානක් හොයාගන්න මරු වැඩේ තමයි මේක..

මේ මුදල් එකතු කිරීම විනිවිද බවකින් කෙරෙන්න ඕනි නිසා තමයි ඒ අය SL AID ආයතනික ගිණුමක් හරහා මුදල් එකතුකරන්නට තීරණය කරලා තියෙන්නෙ. මේ එකවුන්ට් එකේ තිබෙන මුදල සතියකට දෙනුන් දිනක් අන්තර්ජාලය හරහා ප්‍රචාරය කරනවා. දැනට එම සම්පත් බැංකු එස් එල් ඒඩ් SL AID එකවුන්ට එකෙන් කිසිම මුදලක් කිසිවෙකු අරගෙන නැහැ. ඒ එකතුවෙන සියලු මුදල් අදාල යන්ත්‍ර සඳහා පමණක් යොදවන එක තමයි පිරිසගේ මූලික බලාපොරොත්තුව.  ඒ නිසා මෙ අපිට පේන වීඩියෝ කිරීම්, මාධ්‍ය සාකච්චා, වෙබ් අඩවි සෑදීම්, පිංතූර ගැනීම්, පොලොන්නරු සවාරි ආදී බොහෙමයක් පරිපාලනමය  දේවල්  ඒ ඒ පුද්ගලයින්ගේ පුද්ගලිකවම කාලය, ශ්‍රමය ධනය වියදම් කරලා සිද්ද කරන දේවල්. 
ලස්සන මිස්ලා කිහිප දෙනෙක්ට කරුනාවෙන් කරුණු පැහැදිලි කරන SL AID සභාපති
අපි පහුගිය දවසෙ දැක්කා ආන්ඩුවෙන් සෞඛ්‍යට වෙන්කරපු සල්ලි ආයිත් බාන්ඩාගාරයට ගිහින්. එහම වෙලාවක ඇයි ඒවා ගැන නොදැක්කා වගේ ඉදලා නින්දෙන් ඇහැරිල වගේමේ වගේ දේවල් කරන්න යන්නෙ? නරකද ඒවා ගැනත් හොයල බැලුවොත්. ?

ලෝකයේ එක් එක් රජයයන් විසින් මිනිස්සුන්ගේ සෞඛ්‍ය පහසුකම් වෙනුවෙන් වියදම් කරන මුදල් පිළිබඳ ලැයිස්තුව ඔබට විකිපීඩියොවෙන් ගන්න පුලුවනි. ඒ අනුව ලංකාව තියෙන්නෙ රජය සෞඛ්‍යට වියදම් කරන ඩොලර් සංඛාව අනුවත් සමස්ථ ජාතික ආදායමෙන් සෞඛ්‍යය වෙනුවෙන් වියදම් කරන මුදල් ප්‍රතිශතය අනුවත් 135 ආසන්න ස්ථානයක. එතනදි රජය අයවැයෙන් වෙන් කරන මුදලත් වියදම් කරන්නෙ නැහැ කියන්නෙ අපේ රට සෞඛ්‍ය වෙනුවෙන් වියදම් කරන සැබෑ මුදල් ප්‍රමාණය අනික් රටවල් එක්ක සන්සන්දනය කරද්දි සාපේක්ශව අඩුයි. 

අපේ රට කියන විශාල ඒකකය ගත්තොත් වෙන්නෙ බදු හරහා අපෙන් මුදල් ගන්නවා. ඉන් පස්සෙ විශාල ක්‍රමවේද ගනනාවක් න්‍යාය පත්‍රයන් ගනනාවක් හරහා අපේ රටේ මිනිසුන්සට ඒ රජය විසින් සේවාවන් සපයනවා. අපි සරලවම හිතමු අපිකන හාල් සීනි පිටි පරිප්පු වලට ගහන බදු වලින් රජය සිතනවා කොටසක් වෙන් කරන්න ඕනි ඉස්පිරිතාල මැසින් වලට. එතනදි බදු හරහා අපෙන් රජය රුපියල් සීයක් ගත්තොතින් රජයේ පරිපාලන වියදම් විදියට සාමාන්‍යෙයන් කොටසක් වියදම් වෙනවා. ඒ වගේම සිද්දවෙනවා කියල කියන කොමිස්, වංචා දූෂණ ආදිය හරහා අර රජය ඇත්තටම බදු වලින්  අපෙන් ලබාගන්න රුපියල් සීයෙන් රුපියල් හැට හැත්තෑවක් තමයි අර ඉස්පිරිතාලෙ මැසිමට වියදම් වෙන්නෙ. ඒ අනුව බැලුවාම නම් අමු මිරිස් චැලෙන්ජ් හරහා සාමාන්‍ය අයෙක් ලබාදෙන රුපියල් සීයෙන් සියයට අනූ නවයක වගේ ප්‍රතිපලදායකව අදාල වැඩේට විතරක්ම වියදම් වෙනවා. ඒක විශාල සාර්ථකත්වයක්. 
දොස්තර,චීටා ,රසික සහ අනුරාධ ඇතුලු  SL AID, ලේ පිරිසිදු කිරීම් කරන  වාට්ටුවේදී 
රජරට වකුගඩු රෝගයට මූලික වෙලා තිබෙන්නෙ ආසනික් සහ අපිරිසිදු ජලය කියලා අපි හොඳින්ම දන්නවා. ඒවා මැඩපවත්වන්න වැඩ කරන්නෙ නැතුව මැසින් වලට හැමදාම සල්ලි වියදම් කරල පැලැස්තර අලවල වැඩක් තියෙද? 

රජරට වකුගඩු රෝගයට ඉංග්‍රීසියෙන් කියන්නෙ Chronic kidney desease sri lanka කියල. අපි හොදින්ම දන්නවා අපි බෙහෙතක් හේතක් ගන්න ගියාම දොස්තර මහත්තුරු බෙහෙත් ලියන්නෙ ඉංගිරිසියෙන්. බටහිර විද්‍යාෙව් බොහෝ දේවල් ඉංගිරිසි බාසාවෙන් තමයි සිද්ද වෙන්නෙ. මේ කියන Chronic kidney desease sri lanka කියලා ගූගල් සර්ච් කලාම එන තොරතුරු අනුව වකුගඩු රෝගයට තාම නිසි පිළිතුරක් සොයාගෙන නැහැ. ඒකට හේතුව විද්‍යානුකූලව තවමත් සොයාගෙන නැහැ. ආසනික්, කැඩ්මියම්,කෘමිනාශක ආදී බොහෝ හේතු කිව්වත් ඒ එකක්වත් සනාථ වෙලා නැහැ. උදාහරණ විදියට ආසනික් හේතුවුනා කීවාට ජලයේ ආසනික් වැඩුපුරම තිබෙන උතුරු මැද පළාතේ ප්‍රෙද්ශ සහ වකුගඩු රෝගය පැතිරුනු ප්‍රෙද්ශ සමපාත වෙන් නැහැ. ඒ වගේම මේ ආකාරයටම ගොවිතැනේ යෙදෙන මේ ආකාරයේ පසේ සංයුතියතියෙන,  සමරූපී ජීවන රටා පසුබිමක් තිබෙන, එහෙත් වකුගඩු රෝගය එතරම් පැතිරෙන්නෙ නැති පලාත් තිබෙනවා. ඒ නිසා දැනට වකුගඩු රෝගයට හේතුවන්නේ ජානමය හේතුවක්ද? මිනිස්සුන්ගේ ජීවන රටාව පිළිබඳ ගැටළුවක්ද? කෘෂිරසායන අධිභාවිතයනිසා සිදුවුන දෙයක්ද? භූගත ජලයේ යම් කිසි වෙනස් වීමක් නිසා සිදුවුන දෙයක්ද? කියලා හරියටම සොයාගෙන නැහැ. බොහෝවිට ප්‍රධාන හේතුන් එකකට වඩා මේ සඳහා බලපාන්නත් පුලුවනි. 

විශාල යායන් වශයෙන් වාණිජ වශයෙන් ගොවිතැන් කරන අවස්ථාවක, ඒක විනෝදෙට කරන සෙල්ලමක් නෙවෙයි. අපිට කන්න වම්බටු ගහක් පෝච්චියක හදාගන්නවට වඩා ලොකු වැඩක්. එතනදි ඇතිවන කෘමි හානි වලක්වන්න කෘමිනාශක,බෝගයේ පෝෂ පදාර්ථ වෙනුවෙන් පොහොර කෘතිමව එකතු කරන්න වෙනවා. යායෙම මිනිස්සු කෘෂිරසායන පාවිච්චි කරද්දි එක ගොවියෙක් පොහොර අඩුවෙන් දාන කෘමිනාශක නොයොදන අත්හදාබැලීම් කරන්න ගිහින් සවුත්තු වුනොත් නාස්ති වෙන්නෙ ඒ ගොවි මහත්වරුන්ගේ ජීවිතය. ඔවුන් ගේ පවුලේ අය කන්නෙ බොන්නෙ ජීවිතය ගෙනියන්නෙ ඒ බෝගයේ ඵලදාවෙන්. ඵලදාව අඩු අසාර්ථක ගොවිතැන කියන්නෙ ඔහුට විශාල ගැටළුවක්. එතනදි ඔය ෆැසන් එකට කෘමිනාශක එපා කියන කවුරුත් අර ගොවියාගේ පවුලට වන්දි දෙන්න එන එකක් නැහැ. 

රජරට වකුගඩු රෝගයට හරියටම හේතුවන්නෙ කුමක්ද කියලා ලොව පතල (ආසනික් සහල් නිසා ලොව පතල වූ අය නොවේ) විද්‍යාඥ ගොල්ලන්ට පවා හොයාගන්න බැරිකොට අපේ හිතේ තියෙන අදහස් අනුව මේවා කන්න එපාය, අරවා පාවිච්චි කරන්න එපාය, ඒ විදියට වැඩ කරන්න එපාය කියලා වැදි බණ කියනවාට වඩා ඇත්තටම ගැටළුවට පත්වෙලා ඉන්න ජනතාවට සහනයක් සලසන වැඩක් කරන එක ඉදිරිගාමීයි. මීට වඩා එහාට යනවා නම් මේ පළාත්වල ජනයා ලිං ඇලවල් වැව් වලින් අරන්  බොන වතුර, බොන වතුරවලට තියෙන ලෝක මට්ටමට වඩා දූෂිතයි කියලා වාර්ථා ගනනාවක් තිබුනා. ආන්න ඒ වගේ ගැටළු ගැන කතිකාවක් ඇතිවෙලා වතුර ප්‍රතිකාරයට ලක් කරලා බොන්න ගන්න විදි හඳුන්වාදෙන්න පුළුවන් නම් හොඳයි. මම දන්න විදියට යම් යම් සංවිධාන හරහා ඒ විදියෙ ජලය පෙරන උපාංග මේ වනවිට ඒ ප්‍රෙද්ශවලට හඳුන්වාදීගෙන යනවා. 

හා හා බණ ඇති එපාවෙනෝ ඕවනං. .හරි දැං ඕක කොරන හැටි කියපං..? 

* මුලින්ම සම්පත් බැංකුවට ගිහින් තමුන් කැමති රුපියල් සීයට වැඩි මුදලක් හැකි පමණ SL AID හි තැම්පත් කොරනවා. විදේස රටවල අය ඉන්නවා නම් ඒ අයටත් මේ ගිණුමට මුදල් බැරකරන්න හැකියාව තියෙනවා. 

* කුස්සියට හරි ෆිජ් එකට හරි එහෙම නැත්තං කඩේකට හරි ගොඩවෙලා හොඳ ළපටි අමු මිරිස් කරල් තුනක් තොරාගන්නවා. 

* ඉන් පස්සෙ ගෙදර ඇවිත් වෙබ් කැමරාව හරි අටෝගත්ත වෙන පෝන් කැමරාවක් හරි වීඩියෝ හැකියාව තිබෙන කැමරා කෑල්ලක් සොයාගෙන සැට් කොරගන්නවා.

* දැන් අමුමිරිස් කාල තව යාලුවො හතර දෙනෙක් හෝ කිහිප දෙනෙක්ට එයාලටත් කන්න කියලා අභියෝග කරනවා. අභියෝග කරලා යූටියුබ් හරි ෆේස්බුක් හරි වීඩියෝ එක දාල අර යාලුවන්ව ෆේස්බුක් එකෙන්, ගූගල් එකෙන්, ටුයිට්ර් එකෙන් සෙට්කරගෙන ටැග් කරනවා..ටැග් කොරලා උන්ව මේගැන දැනුවත් කරනවනම් හොදයි.

* මේ ගැන කතාවෙන හැම තැනදිම #‎SLAmuMirisChallenge‬ කියලාත් දාන්න. එතකොට සුටු ගාල සර්ච වෙනව.

දාන හැම වීඩියෝවක් ගැනම මේ ෆේස්බුක් පේජ් එකේ සඳහන් කරන එකත් හොඳ පුරුද්දක්. හැබැයි මේ වැඩේ මූලික අරමුණ ජාතියට අමුමිරිස් කෑම හුරු කිරීම නම් නෙමෙයි. ඒනිසා හැම වෙලාවෙම මේකෙදි මුදල් එකතුවීම ගැන සහ අසරණ වකුගඩු රෝගින් ගැන කතාබහ කරන්න උත්සාහ ගන්න එකත් වැදගත් වෙනවා. 

8 comments:

  1. Ane palayan ban yannna..

    ReplyDelete
  2. thota pissuwa honda nedda yako

    ReplyDelete
  3. දැං මේක ජාතික තලයෙ වයිරල් වෙගෙන එන්නෙ. උඹලගෙ වැඩේට සුභ පැතුම්!!

    හැබැයි, මේ මිනිස්සු තවත් සුනාමි ආධාර බලාපොරොත්තුවෙන් පාර අයිනට ආව "දකුණේ මාර බුවාල" ගෙ තත්වෙට පත් නොවී/ පත් නොකර ප්‍රශ්ණෙට විසඳුමක් හෝ සහනයක් හොයාගන්න ලැබුනොත් ඒක තමයි වටින්නෙ.

    ජය!!

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++++++++++

      Delete
    2. මිනිස්සුන්ගේ ජීවන රටාව අනුවත් මේ රෝගයට යම් කිසි තල්ලුවක් ලැබෙනවා ඇති.ඒ වගේ දේවල් දේශපාලනිකව වගේම අවබෝධය තුලිනුත් විසඳාගන්න හැකියාව ලැබෙනවා. හැම දෙයක්ම මහා දේශපාලනය විසින්ම කල යුතුය කියන තැන අපි හිටියොත් අපිට හැමදාම ආන්ඩුවට බැනලා පෝස්ට් දාත හැකි කුඩුවෙන්න. නමුත් අපි එතනින් ඉදිරියට ගිහින් සුලුවෙන් හරි අපිට පුලුවන් ටික වෙනස් කරන්න උත්සාහ කරන්න ඕනි. එතකොටයි සුට්ට සුට්ට හරි අපි වෙනස් වෙන්න පටන් ගන්නෙ.

      Delete
    3. Amu miris kana eka patan gaththe mona tharam modayekda? Salli denna kamathi aya godak innawa. Eth amu miris kanne kohomada? Bandakka karalak, thakkali gediyak wage deyak koi tharam prayogikada? Karannan waale karanawa,

      Delete
    4. ඇනෝ
      ව්‍යාපෘතියට ආදාර කරන්න අමු මිරිස් කන්නම ඕනෙ නෑ. කැමති කෙනෙක් ඉන්නව නං ආචාර කරන්න පුලුවන්. අමු මිරිස් කන එක අනිවාර්‍ය වෙන්නෙ චැලේන්ජ් එක පාස් කරන්න විතරයි

      Delete
  4. 8 පාස් උන් blog ලියන්න පුරුදු වුනාම ඉතින් මේව තමා ලියන්නෙ. මෝඩයෙක්.

    ReplyDelete