Sunday, August 19, 2012

අම්මා (Lankan Mother)

දුවලා ඇවිදින් හනිකට
ගෙට ඇවිදින් ගෙයි පිල මත...
බත් පිඟාන එනතුරු මා
කෑ ගැසුවා මතකයි...

මා ඉස්කෝලේ යැව්වා...
ලෙඩ දුක ගැන නිති බැලුවා..
ඉර හඳ තරු දුන්නෙ නැතත්

පොලොව උරුම කෙරුවා..
 

 අජටාකාශයෙන් ඇවිදින්
සිහිනෙන් ආවොදින් මිසෙක
කවදාවත් යලි අපවෙත
එන්නෙ නෑනෙ අම්මා...
Mother lankan by indika27
මෙතන තියෙනවා අර ඉහල තියෙන කවිය කියන ආකාරය තාලෙත් එක්ක. ඒකත් අහලාම යනවනං බොහොම හොදයි.
 
අම්මා සහ දරුවා






මං මොන්ටිසෝරි ගියේ ගෙදර ඉඳගෙන. මොන්ටිසෝරිය ඉස්සර එකොලහ හමාරට ඇරෙනවා. කවුරුහරු කාන්ඩයක් එක්ක එකතුවෙලා වැනි වැනි මඩවලවල් වල පැන පැන වට පිට බල බල ගෙදර එනකොට දොලහ විතර වෙනවා. ඉතිං නිකං ගෙදර ඉන්න දවසට උදේට හොඳට කනවානේ. මොන්ටිසෝරි යන දවසට වරුවක් විතර පිඟාන අතගගා කන්න ලැබෙන්නෙ නෑ. මොන්ටිසොරියෙන් බිස්කට් දුන්නත් ගෙදර එනකොට පොඩි යකෙක් කන්න තරම් බඩගිනියි. කඩුල්ල ගාවට එනකොටම අම්මෙ බඩගිනියි කියාගෙන තමයි එන්නෙ.. දොලහ එකොලහ හමාර වෙනකොට අපේ ගෙවල්වල උයන්න දං වලඳන්න සාදුලා ඉන්නවයි? නැහැනෙ..ඉතිං උයලා ඉවර වෙනකොට එක විතර වෙනවා..

මම මොන්ටිසෝරි ඇරිල ගෙදර එනවෙලාවට බත් එක බෙදලා තිබුනෙ නැත්තං එක යුද්දයයි. කෑ ගහ ගහා අඩනවා. දැන් නං ඒ ගෙවල් දිහා ගියාම ඉස්සර අඩපු හැටි කියනොකට විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බැරි වෙනවා. ඒත් ඉතිං ඉස්සර පෙරලි පෙරලි අඩනවා බත් එක වෙලාවට නැති උනාම. ගොඩක් වෙලාවට බත නං යාන්තං පැහිල තියෙනවා. ඒ වෙලාවට අම්ම කරන්නෙ අල්ලපු ගෙදර නැන්දගෙනුත් අහලා හොද්දක් යාන්තං පැහුනම... ආ මෙන්න.. "මේකා කෑ ගහන්නෙ නිකං දවස් හතක් හාමතේ ඉඳල වාගෙනේ" කියලා බෙදලා දෙනවා.. හරියට තැම්බුන් නැති එලෝලු කටපිච්චෙන තරම් රස්නෙ බතුත් එක්ක යුද්ද කර කර කෑ ගහපු එකේ මේවවා එක යන්නත් එක්ක කනවා..

ඒ දවස්වල මාත් එක්ක මොන්ටිසෝරි ගිහිපු ගොඩාක් යාලුවොන්ට වඩා මට ඉස්සරහට යන්න ලැබුනා. අවසාන ප්‍රථිපලය ටිකක් සාටර් වර්ගේ කටු ජොබ් එකක් වුනාට අපේ අම්මාගේ සහ තාත්තාගේ මග පෙන්නීම නිසා ගොඩක් ඉස්සරහට එන්න ලැබුනා. මහා දිව්‍ය සම්පත්ති වාගෙ  යාන වාහන ඇඳුම් පැළඳුම් අපිට දෙන්න බැරි වුනත් සාමාන්‍යයෙන් අපේ මහපොලොව මට්ටමෙන් අපිව ගරුකටයුතු විදියට සමාජයෙ ඉදිරියෙන් තියන්න අපේ දෙමව්පියො කටයුතු කලා..

 මගේ මව දැන් වසර කිපයකට පෙර හදිසියේ නැති වුනා. ඉතිං ගොඩාක් අයට මාසෙකට වරක් හෝ ගෙදර ගියාම හරි නැත්තං අවුරුදු ගානකට හරි සැරයක් ලංකාවට ආහම අම්මා දැකබලාගන්න ආශිර්වාද ගන්න පුලුවන්. ඒත් අපිට සීනෙන් දැකීම විතරයි දැකීමට තියෙන්නෙ. ඒත් ඒක ගැන කණගාටු වෙන එකේ තේරුමක් නෑ. අපි හැමෝම මේ හැමදෙයක්ම හැම යාලු මිත්‍ර නෑදෑ බැඳිමක්ම දාලා දවසක යන්න වෙනවා. එදාට අපිට ඉතිරිවෙන්නෙ අපි විසින් ඉතිරි කරගත්ත හිතේ සැනසීම විතරයි. බොහෝ මිනිසුන්ට කිසිදු ආපසු ප්‍රතිලාභයක් නැතිව උදව් උපකාර කරන්නට මැලි නොවුනු අපේ අම්මා මේ ලෝකෙ ජීවත් වුනාට වැඩිය බොහොම හොඳ තැනක ඉපදිලා ඇති. එක අතකින් තව කල් ජීවත්වෙලා අපේ ළමයිත් නළවලා තව දුක් කරදර විඳලා නැතිවෙනවාට වඩා ඒහෙම තැනක වාසනාවන්ත උප්පත්තිය සැපතක් වෙන්නට ඇති.

මං සමහර නෑදෑ යාලු මිත්‍ර ගෙවල් වල ගියාම දකිනවා අම්මාට තාත්තාට ගරු කටයුතු ලෙස වචනයක් බැල්මක් වත් නොහෙලා ඔවුන් වහලුන් විදියට සලකන බොහොම ඉහල සමාජයේ ළමයි. සමහර විට දෙමාපියන් ඔබට ඔබ සිතූ ආකාරයේ සැප සම්පත් නොදෙන්නට ඇති. ඒත් වසර ගානක් පුරා සමහර විට දීගතල යනතෙක් අපිව රැකබලා ගෙන ඉන්න දෙමාපියන්ට කරුණාවෙන් කතා කරන එක ඔවුන්ගේ හිත සැනසෙන විදියට හැසිරෙන එක අපේ වගකීමක් වෙනවා. සමහර අය තමුංගෙ පෙම් හබේට විරුද්ද උනාම,තමුංට කසාදයක් කොරගන්න බැරි උනාම, කොටින්ම විභාගයක් පේල් උනාමත් ඒ හැම දේම දෙමාපියන් පිටින් අරිනවා. 

 බටහිර ක්‍රමය අනුව තමුං සංගීතෙ අහලා තමුං නටලා තමුං මොනවාහරි ක්‍රමේකට ආතල් අරගෙන සතුටුවෙන නොයෙකුත් ක්‍රම තිබුනාට මම නං හිතන්නෙ අපේ අම්මලා තාත්තලා නෑයො එක්ක එකට සතුටුවෙන අපේ ක්‍රමය අපිට හොඳයි කියලා තමයි.

සින්දුව අහගන්න බැරි ලෝඩ් වෙන් නෑ වාගෙ නම් මෙතනින් අහත හැකි වෙයි..

5 comments:

  1. දෙගුරුන් විසින්
    දරුවන්ට දෙන නොමද දන නම්
    වියතුන් සභා මැද
    උන්ට ඉදිරිව සිල්ප දෙනුමැයි....

    වියතුන් සභාවක මැද ඉඳන් ශිල්ප දක්වන හැම වෙලේකම හිතට නැගෙන එකම දේ තමයි,
    "මාව මේ තත්වෙට ගේන්න අප්‍රමාණ මහන්සි වෙච්ච මගේ දෙමව්පියන්ට පිං සිද්ධ වේවා!!!" කියන කාරණාව.

    පුළුවං තරම් තාත්තව සන්තෝස කරහං, ආඩම්බර කරහං...
    ඒ මිනිස්සු අපෙන් බලාපොරොත්තුවෙන්නේ එච්චරයි....

    ජය වේවා!!!

    ReplyDelete
  2. අන්තීමට මට ඉතුරු අම්මා විතරයි. එයා නැති දාට මට එළිවෙන්නේ නෑ. අම්මා කියන්නේ හරි සංවේදී තේමාවක්. කල්පයක් කතා කරන්න පුළුවන් දිග වචනයක්. ඔබට ස්තූතියි මටත් මගේ අතීතයට යන්න පාර පෙන්නුවට.

    යෙහෙළිය.

    ReplyDelete
  3. හරිම වැදගත් ලිපියක් මචන් කාලයත් එක්ක ,උබට පිනක් මේ වගේ ලිපියක් ලියපු එකට ....

    ReplyDelete
  4. උඹ කියන කතාවේ ඇත්තක් තියෙනව ලංකාවෙ අම්ම හැම වෙලේම දරුවට උම්මි දුන්නේ නැහැ.හැබැයි දරුවා වෙනුවෙන් තමන්ගේ ජීවිතේම කැප කරල මවු පදවියේ ගරුත්වය ගැන අපුරු පාඩමක් කියල දුන්න.බත් මුට්ටිය දරුවන්ට බෙදල දීල ඉතුරු උන දන්කුඩ චුට්ටක් කාල උන්නු අම්මල උත්තරීතරයි.හැබැයි විනාශ වෙලා යන සියලු මනුස්ස වටිනාකම් හමුවේ ලංකාවෙ අම්ම කියන නමට තියෙන ගරුත්වයත් විනාස වෙමින් යනව.අද උඹලගේ අපේ අම්මලාගේ යුගය ඉවර වෙලා අම්මිලගේ යුගය. අද අම්ම වෙනුවට අම්මි ආදේශ වුන සමාජයේ අම්ම තරම් නැතිවුනත් අම්මිත් දරුවන්ට උත්තරීතරයි.හැබැයි අබුද්දස්සයි!තමන්ගේ දරුවව ක්‍රිකට් ටීම් එකට දාගන්න කෝචට ඇඟ දන් දෙන අම්මිලාගේ යුගය වටිනාකම් සහ ඒවා තේරුම් ගැනීම් පිළිබද අබුද්දස්ස කාලෙකට අපි ගෙනැල්ල තියෙනව.

    ReplyDelete
  5. අපට අපේ දෙමව්පියන්ට කළ හැකි ලොකුම ගෞරවය නම් අපි අපේ දරුවන්ට හොඳ දෙමව්පියන් වීමයි!

    ඔබේ බවට නිවන් සුව පතමි.

    ReplyDelete