Saturday, August 31, 2013

බෙලිහුල් ඔය සිට නග්‍රාක් වලට (Belihuloya to Nagrak Division)

අපි බෙලිහුල් ඔය සිට ලෝකාන්තය හරහා පයිං ඇවිත් ඔහියට දවසකින් ආවා. ඒ ගැන පොඩි විස්තරයක් කලින් සඳහන් කලා. දැන් අපි ඒකෙ පිංතූර චාරිකාවක යන්නයි යන්නෙ. 

අපි ගිය දවසේ බෙලිහුල් ඔය සිට ලෝකාන්ත පැත්ත බලනාකොට කදු වල කිහිප තැනක් ගිනිගනිමින් පැවතුනා. මේ කඳු වල ගිනි වලට හේතුවෙන්නෙ තණකොළ සහ පයිනස් වගාවේ ගිනිගන්නා සුළු අපද්‍රව්‍ය කියලයි ගමේ අය කියන්නෙ. මිනිස්සු හිතාමතාම ගිනි තියෙනවා කියල තමයි අපි නැවතුන නවාතැන් පොලේ මහත්මයෙක් මේ ගැන අපිට කාරණා දැක්වුවෙ. ෆයිනස් කියන්නෙ මේ කඳු කර බිම්වල තියෙන සාරවත් පස නිසරු කරන කිසිම වැදගත් කමක් නැති ගසක් කියලා අපි දන්න කියන කාලෙ ඉදලා දන්නවා. නමුත් පයිනස් අයින් කරන එක ගැන කිසිම වැඩසටහනක් සාර්ථකව ක්‍රියාත්මක වෙලා නැති ගානක් තමයි අපිට කඳුකර පැතිවල පයිනස් වතු දැක්කාම පේන්නෙ. හිටවන්න සුද්දො වගයක් ආදාර දීපු නිසා අපේ අය තාමත් හිටවලා අවුරුදු ගානක් ගිහිනුත් සුද්දන්ට බැන බැන ඉන්නවා. 
බෙලිහුල් ඔය රෙස්ට් හවුස් එක ලගින් උඩට තියෙන පාරෙ කිලෝමීටර තුනක් විතර ගියාම මේන්න මේ හංදිය හමු වෙනවා. ඒ හන්දියෙන් අර පිරිසක් ඉන්න පැත්තට හැරිලා අපි වෙලක් මැදින් යන්න ඕනි. ඒ ගියාම තමයි ඉතිරි පාර අපිට හමු වන්නෙ. අපි මේ යන්නෙ මුලින්ම නන්පේරියල් වත්තට. පස්සෙ තමයි ඒක හරහා ලෝකාන්ත බලන්න යන්නෙ. 
අපි දකින මේ තැන ගොවියෙක් සහ ගෙවිලියක් උදෙන්ම වැඩ පටන් අරන් තිබුනා. මේ අය මෙතන බටු මිරිස් තක්කාලි වාගේ ගොඩ බෝග ජාති වගාකරලා තිබුනා කියලයි පෙනුනෙ. අපි මෙතන ඉදලත් තැනිතලා බිම වෙල මැදින් පහු කරලා ඉදිරියට යන්න ඕනි. මේ පැත්තෙ හමුවන මිනිසුන් බෙහෙවින් සුහදශීලි අය. කතාබහ කලාම බොහොම ගරුසරු ඇතිව උත්තර දෙනවා. 
මෙන්න මේ වගේ අඩිපාරකින් තමයි අපිට පයිනස් කැලේට ඇතුල්වෙන්න තියෙන්නෙ. මෙතන සොයාගන්න ටිකක් අමාරුයි. කිහිප දෙනකුගෙන්ම අහල තමයි උපි උඩට නගින්න ඕනි නියම තැන සොයාගත්තෙ. 
මේ කැලෑව මැදින් යන්න තියෙන්නෙ ටිකක් බෑවුම් සහිත බිමක් ඔස්සේ තමයි. ෆයිනස් කොළ උඩ ඇවිදිනකොට ලිස්සනවා. ගල්වැටි, ආදියත් හමු වෙනවා. ටිකක් ප්‍රෙව්සම හිතට අරං යන්න ඕනි හරියක් තමයි මේ පයිනස් කැලේ හරහා ගමන. 
එක යාලුවෙක් කටුවක් ඇනගෙන. ඉතිං අපිත් ඒ කටුවෙ පැත්තට සපෝට් එක දීගෙන පොඩි වෙලාවක් එතන නැවතුනා. මෙහම කිව්වට වතුර බොන්න ටිකක් රෙස්ට් කරන්න පාන් කන්න අපි තැන් තැන්වල නැවතුනා. නැවතිල ගල් උඩ ඉදන් කාල බීල ආයෙත් ගමන පටන් ගත්තා. 
මේ පේන කඳුවැටි කෑල්ල ගින්නට පෙර ලක්ෂණට නිල්පාටට තියෙන්න ඇති. දැන් ගින්නට කන්දෙ පලාතක් සම්පූර්ණයෙන්ම පිළිස්සිල ගිහින්. ගිනි අගුරු ගොඩක් වාගේ තමයි ඈතට පෙනුනෙ. මේ කන්ද වටේ දිය සෙවල බැදිච්චි වගේ කොළපාට තනකොල වලින් වටවුනු පින්තූර කලින් මේ පාරෙන් ගිහිපු අයට හමුවෙල තිබුනා. නමුත් අපිට ලැබුනෙ මේ ජාතියෙ පිලිස්සුනු කන්දක් තමයි. 
මේ පේන හරියට ආවෙ අපි කලින් කිව්ව පයිනස් කැලය පසු කරලා. මේ හරියෙ කුඩා පදුරු වගේ ඒවා තැන් තැන්වල තිබුනාට ඝන කැලෑවක් හෝ ඝනට පැතිරුනු පඳුරු නැහැ. මේ හරියත් කාලෙකට කලින් පිළිස්සිලා තිබුනා කියලා තමයි අපට පෙනුනෙ. මේ හැම වතාවෙම අපේ එක් පසකින් අපිට සමනල වැව ජලාශය දර්ශනය වුනා. 
මේම මේම උඩට ආවම අපිට පාර හොයාගන්න බැරි තැනක් ආවා. එතනින් එහාට පාර නැහැ. නමුත් අපි කන්දක් උඩට ඇවිත් වටපිට බැලුවාම කන්දේ කොනකින් ඈත තියෙනවා පෙනුනා වත්තක්. ඒ වත්ත ඇවිල්ල තේ වවපු වත්තක්. ඒ වත්ත නන්පේරියල් වත්තේ කොටසක් වෙන්න ඇති කියලා හිතලා අපි ඒ පැත්තට ගියා. වෙලාවට වැඩේ හරිගියා. මේ යාලුවා කරන්නෙ මොබයිල් සිග්නල් ඩිංගක් තියෙද කියාල හොයාල බලන එක. සිග්නල් ආදිය තිබුනා නම් මැප් එක ලෝඩ් වෙලා අපිට අර ගූගල මැප්ස් වලිං වැඩක් ගන්න පුලුවන් නේ. අපරාදෙ කියන්න බෑ මේ හරියෙ අඩිපාරවල් සමහරක් ගූගල් මැප් එකේ තිබුනා. ලෝඩ් වෙච්චි ටිකෙන් අපි සුළු ප්‍රෙයා්ජනයකුත් ගත්තා. 

පිරිසිදුයි කියලා හිතන්න පුලුවන් වතුර පාරක් ගලාගෙන ගිය දොළපාරකුත් ඒ ළගින්ම අපිට හමු වුනා. අපි වතුර පිරිසිදු වෙන්න ඇති කියලා හිතලා වතුර බිව්වා. නමුත් අපිට ටික දුරක් ඉහලට ඇවිදන් ගියාම තේරුනා අපි වතුර බිව්ව දියපාරට උඩින් ලැයිම් වතු හෙමත් තියෙනවා කියලා. ඒත් ඉතිං අපි බඩට ඒ වග නොතේරෙන්න ඇරලා නිකං උන්නා. ලක්ෂණට විනිවිද පේන විදියට ගලාගෙන ගියාට මේ කඳුකර දියපාරවල් හැම එකම වතුර බොන්න හොද නැතුව ඇති කියලා මට නම් හිතුනා. 
පැයක් හමාරක් විතර අපි අතරමං වෙලා එහෙ මෙහෙ ගිහින් යන්තම් දෙමල අයියා කෙනෙක්ගෙන් පාර අහගෙන නියම තැනට ආවා. මේ තමයි මේ සයිට් එකේ තියෙන එඑක ලෑන්ඩ් මාක් එකක්. 
මෙතනින් අපි ලෝකාන්ත පිවිසුම තියෙන පැත්තට යනකොට හමු වුනා පොඩි ලැයිමක්. ඒකෙ කඩයක් තියෙනවා කියලා මාක් එකක් තිබුනාට මොකද ඒක කන්දක් උඩ කඩයක් දාගන්න සිහින මවපු පුරාණ කපල් එකකගේ සිහිවටනයක් වාගේ පෙනුනෙ. මේ ලැයිමෙ හිටපු බල්ලා අපිට ඔරවගෙන හිටියා. ඔරවං හිටියට හෙන ස්වීට් බල්ලෙක් නේ? 
මේ ඉන්න අම්මාගෙන් ඇහුවා නිකමට එක පුංචි බබෙක්ගේ පිංතූරුවක්ගන්නද කියලා. එඒ පාර ඒක නොතේරුනද මන්දා අම්මාගිහිං අනික් පොඩි අයත් සෙට් කරගෙන ඇවිත් මේ විදියට ලස්සනට පිංතූරයට හිටියා. මගෙ කැමර් එක සමාරවෙලාවට ටික වෙලාවක් යනවා පොටෝ එක ඇතුලට දා ගන්න. ඒ නිසා හිනාව නම් පහු වෙලා ගිහින් මේ පොටෝව වදිනකොට. 
මේ තියෙන්නෙ මැනේජරයාගේ බංගලාව කියලා හදුන්වන තැන. මෙතන්ට පෝ වීල් වාහන කිහිපයකින් සෙනග ආවා. ඒ අය හමුදාවෙ කියලා අපිට ඇතුල බලන්න නම් ලැබෙන්න නැහැ කියලා සේවක මහතෙක් බොහොම කරුණාවෙන් අපිට පැහැදිලි කරලා දුන්නා. ඉන් පස්සෙ අපිට එතුමා පිට පාරෙන් ලෝකාන්තයට යන අඩිපාර පෙන්වලා දුන්නා..ඒ මහත්මයා එතැනදි අපිට බොහොම හොදට කතාකරලා අඩිපාර පෙන්වලා ඒකෙ බයවෙන්න යන්න කියලත් දැනමුතුකම් දුන්නා. බොහොම කෙටිවට මෙතන කිව්වට උදේ අටට විතර බෙලිහුල් ඔය ටවුමින් පටන් ගත්ත අපිට මෙතනට එනකොට හවස දෙක විතර වෙලා තිබුනා. 

22 comments:

  1. මට ප්‍රශ්න දෙකක් අහන්න තියෙනවා නොදන්න නිසා...
    සපත්තු නොදා සෙරෙප්පු දාගෙන යන්නෙ උවමනාවෙන්මද
    ෂර්ට් ගලවගෙන යන්නෙ ඇයි,එහෙම යන එක ඇඟට හොඳ නෑ නේද

    ReplyDelete
    Replies
    1. මං උත්තර දෙන්නං මගේ අත්දැකීමෙන්.

      සපත්තු නොදා යන්නෙ පොඩි වතුර පාරවල් ගාවදි සපත්තු තෙමෙන නිසා සහ කූඩැල්ලො එල්ලුනාම ගලවන්න ලේසි නිසා විතරක් නෙමෙයි අපිටනම් ඒ කාලෙ ඔහොම ගමන් යද්දි ගැලපෙන සපත්තු ගන්න සල්ලි නොතිබ්බ නිසා.

      ෂර්ට් ගලවන් ඉන්නෙ දාඩිය නිසා.ඔහොම කන්දක් නගිද්දි එන දාඩිය සීතලට වැඩිය දරුණුයි, විශෙෂයෙම්ම දවල් නගිද්දි. ඔබ ශ්‍රී පාදෙ දවල් නැගල බලන්න වෙනස දැනෙන්න.

      Delete
    2. හැලපේ අයියා..සපත්තු නැතිව යාමේ වාසි බොහොමයක් තියෙනවා... ඉන්දික කිව්ව ඒවට අමතරව පොඩි වැස්සක් හරි උදේම පින්න තදේට තියෙන වෙලාවට ඔය පැතිවල කදුවල අඩිය තියනකොට ලිස්සනවා හිතා ගන්න බැරි විදියට... සෙරෙප්පු දෙකනං අතට ගත්ත ගමන් ගියෑකි.. සපත්තුවල ලිස්සීමනං අම්මේ මුත්තේ කියලවත් නවත්තන්න බැහැ... අනික තමා හරියටම හරියන සපත්තු නැති උනොත් කකුල් පෙරලෙන එක.. සෙරෙප්පුවල ඒ තරමටම අවදානමක් නැහැ...

      ටී ෂර්ට් කතාවත් එහෙමම තමා අපි හීතල පැති කියලා කිව්වට මේ පැතිවල දවල් අවුව පට්ට ගහනවා... දියතලාවේ ට්‍රේනින් කරපු කාලේ තමා ඒ හොදටම දැනුනේ... රෑට පට්ට හීතල.. දවාලට ගිනි කාස්ටකේ.. අනුරාධපුර පැතිවල රස්නෙත් එක්කලා තියෙන හුලගින් තියෙන චාන්ස් එකවත් නැහැ... ඉහලට යන්න යන්න අමුතුම දාඩිය දැමිල්ලක් දාන්නේ...

      Delete
    3. සෞම්‍ය කලාපිය රටවල කදු මුදුන් වල හිම තියෙනවා මම දැකල තියෙනවා. ලංකාවෙ කදු මුදුන් ඒ විදියට හිමෙන් වැහිල නැහැ. ඇත්තටම කිව්වොත් ලංකාවෙ කදු වල උඩ තියෙන උෂ්ණත්වය සෙල්සියස් 10ට අඩු වෙන්නෙ කළාතුරකින්...
      ඔය අපි ගිය පාරවල් වලම දෙමල මිනිස්සු මලුත් උස්සං යන්නෙ සර්ට් නැතුව සෙරප්පුත් නැතුව..
      කූඩැල්ලො එහෙම සපත්තු අස්සෙ ගියාම තියෙන සනීපෙ කියල නිම කරන්න බැහැ.

      මේම යන එක වඩාත් ලේසියි.. නමුත් ලංකාවෙන් පිට නම් මෙහෙම මේ විදියට කදු නගින්න බැරුව ඇති..

      Delete
  2. කියලා වැඩක් නෑ මරුම ට්‍රිප් එකක් තමයි.

    ReplyDelete
  3. ගූගල් මැප් ‍එක සිග්නල් තියන හරියකදි ලෝඩ් කරගෙන ඒරියා එකක් ‍සේවු කරගත්තම ඒ ඒරියා එකේ අපිට සැටලයිට් සිග්නල් වලින් යන්න පුලුවන්.මොබයිල් සිග්නල් තිබුනත් නැතත්. ඒක තමයි මම ඔය ඇස් දෙක හපුටු කරගෙන ගිනි අවුවෙ බල බල උන්නෙ. කොහොමත් ඔය අමිලගෙ ෆෝන් එක නිසා අපිට සෑහෙන්න ලේසි උනා ගමන. කවුද අහල තියනව සපත්තු නැත්තෙ ඇයි කියල. මටනම් ඔය හයික් යනව කියල මහ ලොකු බෑග් එල්ලගෙන තඩි සපත්තු දාගෙන එක එක ජැකට් ඇඳගෙන යන එක වදයක්. ඊට වඩා වෙනස් ඔය විදියට නිදහසේ යද්දි.

    ReplyDelete
    Replies
    1. සිහිනයෝ කෝ උඹේ පොටෝ ඇල්බම් එක මේ ගමනේ..?

      Delete
    2. මට දැන් හොම්බ දිග කැමරාවක් නෑ අයියා. තිබ්බ එක සල්ලි උවමනාවකට විකුනල අවුරුද්දකට කිට්ටු වෙනව. දැං අඩු ගානෙ උඹගෙ ජාතියෙ කැමරාවක්වත් නැත.

      Delete
    3. හප්පට සිරි වස පාඩුව ඒකනං...

      Delete
  4. niyama set 1 aha. mathath enna oni next trip1ta?

    ReplyDelete


  5. ඔබ ගිය ගමන් මග බෙලිහුල්ඔය සිට හොර්ටන් තැන්න දක්වා .......................මීදුම සටහනකින්.

    ඉංග්‍රීසින්ගේ සමයේ ඉදිවු තානායම තමයි අද “බෙලිහුල්ඔය තානායම” ලෙස ප්‍රසිද්ධියට පත්ව තියෙන්නේ . මෙය එකල යුරෝපීය වතු පාලකයන්ගේ සංචාරක නවාතැනක් සහ රත්නපුර සිටි සුදු දිසාපතිවරුන්ගේ සංචාරක බංගලාවක්ව තිබී වැඩිදියුනු වු ස්ථානයක්.
    බෙලිහුල්ඔය තානායම ලගින් ඇරඹෙන අතුරු මාර්ගය ඉංග්‍රීසින්ගේ සමයේ හෝර්ටන් තැන්න හරහා නුවරඑළිය දක්වා වැටී තිබූ අශ්වයින්ට යා හැකිසේ සකස්වු මාර්ගයක්. එදා මෙම මාර්ගයේ යුරෝපීන්ගේ ඊලග නවාතැනවුයේ හෝර්ටන් තැන්නේ පිහිටි “පාර් ඉන් FAR INN” තනායම. මෙය දැන් ව්‍යාපාරික කටයුතු සදහා වසා දමන ලද ස්ථානයක්.

    වර්තමානයේ මේ මාර්ගය ඔස්සේ කි.මි.15 ක පමන දුෂ්කර පා ගමනකින් හෝර්ටන් තැන්නට පිවිසෙන්න පුළුවන්. මේ ගමන ස්වභාව ධර්මයේ අපුර්ත්වය විදිමින් යා හැකි ගමනක්. ඒත් ඔහිය පැත්තෙන් ප්‍රවේශ මාර්ග සහ දොරටු ඇති කිරීම නිසා මේ පිවිසුමේ හෝර්ටන් තැන්නට ඇතුල්වීම සදහා අවසරගන්න වනජීවී කාර්යාලයක් හෝ නිළධාරීන් නැහැ. ඒ නිසා මේ මාර්ගයෙන් හෝර්ටන් තැන්නට පිවීසීම අනවසර ඇතුල්වීමක් වෙනවා.

    මේ මාර්ගය නුවරඑළිය දක්වා යන්න භාවිතා කරලා තියෙනව.

    මම jungle rest එකේ ලියනගමගේ නෙමෙයි.
    0714420883 ට කතාකරන්න. බෙලිහුල්ඔය නවාතැන් ප්‍රශ්නයක් නම්. jungle rest ,pearl tourist inn ', savinra නවාතැන් මීදුම සම්බන්ධකරලා දෙන්නම්.
    ස්තුතියි. මීදුම.

    ReplyDelete
    Replies
    1. වැදගත් තොරතුරක්... අනේ මන්දා අපිට කාර්යාලයක් තිබුනා නම් අපි එතනින් ටිකට් නොගෙන යන්නෙ නැහැ..

      Delete
  6. නියම ට්‍රිප් එකක් තමයි. මේ පාරෙ දෙතුන් කට්ටියක්ම ගිහිල්ල විස්තර දාල තිබුණ. මටත් දැං යන්න ආසාව ඇතිවෙලා තියෙන්නෙ.

    ReplyDelete
  7. මම මේ පළවෙනි වතාව comment කරන. මමත් බදුල්ල පාර දිගෙ හැමදාමත් උඩ බලාගෙන හිතෙන් ඇවිදිනවා කදු දිගෙ බස් එකෙ යන ගමන්. මට මාර ඉරිසියාවක් එන්නේ ...

    ReplyDelete
  8. මේවා කියවන්න ලැබෙන එකත් හිතට සනීපයක්.

    ReplyDelete
  9. බෙලිහුල්ඔය පහුකරලා, පඹහින්න හංදිය ආසන්නයෙන් (හිරිකටුඔය කඳවුරු බිම අසලින්) නන්පේරියල් තේ පැක්ටරිය සහ බේකර්ස් බෙන්ඩ් හරහා ඔයගමන මමත් ගිහින් තියෙනවා.
    මාර සුන්දර අත්දැකීමක්

    ReplyDelete
  10. බෙලිහුල්ඔය පහුකරලා, පඹහින්න හංදිය ආසන්නයෙන් (හිරිකටුඔය කඳවුරු බිම අසලින්) නන්පේරියල් තේ පැක්ටරිය සහ බේකර්ස් බෙන්ඩ් හරහා ඔයගමන මමත් ගිහින් තියෙනවා.
    මාර සුන්දර අත්දැකීමක්

    ReplyDelete
  11. බෙලිහුල්ඔය පහුකරලා, පඹහින්න හංදිය ආසන්නයෙන් (හිරිකටුඔය කඳවුරු බිම අසලින්) නන්පේරියල් තේ පැක්ටරිය සහ බේකර්ස් බෙන්ඩ් හරහා ඔයගමන මමත් ගිහින් තියෙනවා.
    මාර සුන්දර අත්දැකීමක්

    ReplyDelete
    Replies
    1. මේසන් අයියගෙ සුන්දරත්වයෙ ආහ්ලාදය කොච්චරද කියනවනං කමෙන්ට් එක තුන් පාරක්ම දාල :D

      Delete
    2. ඇත්ත නේන්නම් ඇනා,

      මගේ වැරැද්දක්ද, මගේ කොම්පීතරේ වැරැද්දක්ද හරියටම හොයාගන්න බෑ

      Delete
  12. මේ පාරෙන් හොර්ටන් තැන්නට ඇතුලු වෙන්න හරි... නන්පේරියල් වත්ත්ට ඇතුලු වෙන්න හරි අවසරයක් ගන්න ඕනද? කලින්
    නැත්තම් එතනින් ටිකට් ගන්න වගේ දෙයක් වෙනවද?

    ReplyDelete