Tuesday, August 27, 2013

මරේ වත්ත මාලු වාඩිය සවාරිය.Mare Estate Fishing Hut at Maskeliya





මරේ වත්ත තියෙන්නෙ නල්ලතන්නියට යන පාරෙ. නල්ලතන්නිය කියන්නෙ හැටන් පාරෙන් සිරිපා යන පිවිසුම. මස්කෙළියෙ ඉඳන් කිලෝමීටර 13ක් විතර තිබෙනවා නල්ලතන්නියට. හැටන් වල ඉඳන් කිලෝමීටර 30ක් විතර තියෙනවා. ඉතිං නල්ලතන්නියෙ ඉඳන් ෆිෂින් හට් කියන නවාතැනට කිලෝමීටර දහයක් පාලවක් වගේ තියෙනවා. කොහොම වුනත් සිරිපා සමයෙදි මේ මරේ වත්ත සහ ෆිෂින් හට්ස් වලට කිට්ටුම ප්‍රධාන නගරය තමයි මස්කෙළිය. කන බොන හැම දේම ගන්න පුළුවන් හොඳට සිග්නල් තියෙන ටවුම තමයි මස්කෙළිය. නල්ලතන්නියත් ජනාකීර්ණ ටවුමක් සිරිපා සමේදි. නමුත් අවාරෙට නල්ලතන්නිය පාලුයි.
මාඋස්සාකැලේ ජලාශය වටේ ගිහින් තමයි අපි නල්ලතන්නියට යන්නෙ මස්කෙළියෙ ඉඳන්. මේ මාඋස්සාකැලේ ජලාශය හදනකොට ඒකට ගිහිපු පිරිසක් නල්ලතන්නියෙන් සිරිපා වලට තියෙන කෙටි පාර හොයාගත්තා කියලා මම වෙබ් අඩවියකින් කියෙව්වා. සමහර විට ඇත්ත වෙන්න ඇති. සිරිපා යන සිරාම පාරවල් වෙලා තියෙන්නෙ රත්නපුර, කුරුවිට එරත්න වගේ පාරවල්. රජ කාලෙ රජගොල්ල ගිහින් තියෙන්නෙ මේ රත්නපුර පැත්තෙ පිවිසුම් වලින්. නටඹුන් සෙල්ලිපි ආදිය සහ ඔරිමජිනල් ඉදිකටුපාන, අහස් ගව්ව, ලිහිණිහෙල, සීත ගඟුල තියෙන්නෙත් රත්නපුර පැත්තෙන් එන පිවිසුමේ. පසුකාලීනව හැටන් පාර ලේසි නිසා ඒ පැත්තෙන් සිරිපා කරුණාකරන්න බැතිමතුන් වැඩිපුර පෙළඹෙන්න ඇති. ලේසියට ගියාට ස්වභාව සෞන්දර්ය සහ වන අසිරිය අතින් හැටන් ප්‍රධාන පිවිසුම වන නල්ලතන්නියට වඩා අනික් මාර්ග වලිව් සිරිපා ගමන වඩා පියකරුයි.

ෆිෂින් හට්ස් කියන්නෙ සිරීපාදෙ හැටන් මාර්ගෙ කිට්ටුව තියෙන නවාතැන් පොලක්. සීතල, වනසතුන්, වනඅසිරිය සහ දිය ඇලි සපිරි බිමක සොඳුරු දිනක් දෙකක් ගෙවාගන්න පුළුවන් තැනක් තමයි ෆිෂින් හට්ස් කියන්නෙ. ෆිෂින් හට්ස් වල ගානනම් ටිකක් සැරයි වගේ. දහ දෙනකුට රුපියල් දහ දාහක් වගේ යනවා එක රැයකට. සමහර විට මීට වඩා රුපියල් දෙදාහක් විතර අඩුවෙන්නත් පුළුවනි.

නල්ලතන්නියෙන් හැරිලා කිලෝමීටර 15ක් විතර මරේ වත්ත කියන විසාල තේවත්ත මැදින් තමයි මේ නවාතැන් පොළවල් වලට යන්න තියෙන්නෙ. මරේ වත්ත කියන විසාල තේ වතු යාය විසාල කඳු යායක් පුරා පැතිරිලා තියෙනවා. කොටස් ගානකින් සමන්විත මෙම වතුයායේම එක්තරා කොටසක කෙළවරේ තමයි ෆිෂින් හට්ස් තියෙන්නෙ. කොහොම වුනත් නල්ලතන්නියෙන් හැරිලා යන්න තියෙන පාරනම් අජපල්. වලවල්, ගල්ගෙඩි ගැටි පිරිච්ච මේ මාර්ගයේ සාමාන්‍ය කාර් රථයකට බස් රථයකට යන්න බැහැ. ඩිමෝ බට්ටා හෝ හොඳ ෆෝ වීල් වාහනයක් තියෙනවා නම් හොඳයි වැඩේට. ටිකක් උස වෑන් එකක් වුනත් ඒ තරම්ම අවුලක් නැහැ.

පහසුකම්.

නිදාගන්න සුවපහසු කාමර තියෙනවා. නාන්න වතුර ටික ළඟ තියෙන දොලේ නිල් කැටේට වගේ තියෙනවා. ටොයිලට් පහසුකම් තියෙනවා. නමුත් විදුලි බලය නම් නැහැ. විදුලි බලය ලඟටම ඇවිල්ල තිබුනත් වතු අධිකාරිවරු කැමති නැහැලු මෙතන්ට විදුලිය ගන්න. අපි එක්ක කතා කල කෝකි අයියා කිව්වෙ එයානම් ලයිට් එනවාට ආසයි කියලා. නමුත් ලයිට් ආවම මේ ෆිෂින් හට්ස් වල තියෙන ස්වාභාවික ගතිය නැතිවෙල යාවි කියලා මට හිතුනා. කුඩා ලමයි එහෙමආවත් සීතලයි කියලා උනුවතුර නාගන්න විදියක් නැහැ. මේ විදියටම ඉන්න වෙනවා.

ඇඳන් හදල තියෙන්නෙ ලීයෙන්. කොළඹ වගේ පැත්තක දේසගුනේට හුරුවුන අය යනවා නම් ජැකට්, බ්ලැන්කට්, බෙඩ්සීට් ආදිය අරං යනවා නම් ඒක සරීර සනීපෙට හොඳයි.

සුද්දො ඉන්න රටවල සෘණ අගයන්ටත් සීතල යනවාලු. උන්ට නම් මේවා ගානක් නැතුව ඇති. ඒත් අපිට නම් මේක මැජික්. මොකද කෝක් බෝතලේ පිටින් පැයක් දෙකක් දොලේ දාල තිබ්බහම සීත පෙට්ටියෙ දාල තිබුනා වගේ කෝක් එක සීතල වෙලා. ඒ තරම් සීතල. වතුරට බහින්න බැහැ දවල් වෙනකල් ගල් වෙන්න අයිස් දියවෙච්චි වගේ සීතල. අපි අරං ගිය මස් කුකුලා පැය හතරක් විතර වෙනකල්ම ගල් වෙලාම තිබුනා. කෑම ජාති වුනත් ඉක්මන්ට නරක් වෙනවා අඩුයි ඒ සීතලට.

බලන්න තියෙන දේවල්.

මේකනම් හරිම වෙනස් වෙන සුලු දෙයක්. සමාරු ලෝකාන්තෙ බලන්න හෝටන් තැන්නෙ කිලෝමීටර් ගානක් පයින් ගිහිං කකුල් කැඩෙනකල් ඇවිදලා ඇවිත් වාහනේ ළඟට වෙල කකුල් අතගගා කියනව අයියෝ අපි මේ මොකද මෙච්චර අමාරුවෙන් පල්ලමක් බලන්න ගියෙ කියලා. හෝටන් තැන්නෙ තියෙන විශේෂ භූමි දර්ශන, විශේෂ ආකාරයේ වෘක්ෂලතා බෑවුම් ආකාර මනරම් දර්ශන එයාලට දැනිල නැහැ. ඇවිද්ද එකේ අමාරුව විතරක් කකුල් දෙකට දැනිලා.

සමහර විට ගැස්සි ගැස්සි පැය එකහමාරක්දෙකක් මරේ වත්ත ඔස්සේ ගිහින් ෆිෂින් හට්ස් බලන්න ආවම සමහ ර අයට හිතෙයි. අයියෝ මොකද්ද මේ විකාරෙ මීට වඩා හොඳ නැද්ද කොළඹ ඒසී කාමරයක් මිල අඩු තැනකින් බුක් කරගෙන බෝතල් ටික සෙට් කරගෙන කස්ටියම බිව්වනම් කියලා. ඒත් කොළඹ ඒ සී කාමරෙයි මේවගේ ස්වාභාවික වායුසමන තැනකයි තියෙන තත්වය පස්ට වෙනස්. ඒකෙ වෙනස දැනෙන්නෙ නැත්තං ඉතිං සොරිම තමයි.

සත්තු
ඉත්තෑවො, ගෝන්නු, කොටි මීමින්නො වගේ විසාල සත්තු වගේම අකාර ගනනාවක සර්පයින්, පක්සීන් මකුළුවන්,සමනලයින් ආදි සමනල අඩවියේ ඉන්න බොහොමයක් සත්තු මේ අපි බලන්න ගිය කැලෑ පෙදෙසේ ඉන්න ඇති. නමුත් අපේ ඇස ගැටුනේ කුරුල්ලො කිහිප දෙනෙක් විතරයි. ඒ වගේ එක එක සත්තු ජාති ඉන්නව කියලා බෝඩ් නම් ගහල තිබුනා. අපේ හට් එකේ ඉවුම් කටයුතු කරපු අයියත් දැකල තිබුනා එදා රෑ ගෝනෙක්. නමුත් අපි දැක්කෙ නැහැ නෙව. ගෝන දැක්ක වෙලාවෙ අයියට අපිට මිස් කෝල් එකක් වත් දෙන්න තිබුනා කියලා අපිට හිතුනා. ඒත් පස්සෙ කල්පනා වුනා ඒකටවත් මොබයිල් සිග්නල් නැහැ කියලා.


වතුර සහ දිය ඇලි.

මේ ළඟින් ගලා යන දිය පාරට නමක් තියෙන්න ඇති. නමුත් අපි දන්නෙ නැහැ නම මොකද්ද කියලා. ඒ දිය පාර දිගේ අපේ හට්ස් තියෙන තැන ඉඳලා කිලෝමීටර දෙකක් විතර උඩහට ගියාම තියෙනවා මීටර දහයක පාලවක විතර ලස්සන දිය ඇල්ලක්. දිය ඇල්ල ළඟ හරිම හීතලයි. වතුර වැටිලා හිරිගඩු පිපෙනවා. දිය ඇල්ලට යන්න විශේෂ පාරක් නැහැ. මේ දොලපාර හෝ ඔය දිගේ ගලින් ගලට පැනලා තමයි ඉහලට යන්න තියෙන්නෙ. ඒකත් මහ පුදුමාකාර අත්දැකීමක් වුනා. එක ගමනක් වැටෙන්න ගිහින් මගේ කැමරාවත් සෙත්ත පෝච්චි වෙනවා තව ටිකෙන්. යන්තම් කැමරාවට වතුර ටිකක් ඉහුනා. නමුත් ඇතුලට වතුර ගිහින් තිබුනෙ නැහැ.

සිරීපාදෙ.

මෙතන ඉඳලා සිරිපාදෙට පැයදෙකක් වගේ ගමනක්ලු තියෙන්නෙ. මේ ෆිෂින් හට්ස් තියෙන තැනට එපිටින් සිරිපා දේ හැටන් පාරේ මහගිරිදඹේ කිට්ටුවට වැටෙන සෝට් කට් එකක් තියෙලු. සමහර කාල වල සිරිපාදෙ බාර නායක ස්වාමින් වහන්සේලා සහ ලොකු ලොකු උදවිය මේ පාරෙන් සිරිපා යනවාලු. ඒ වගේම සිරිපා කාලෙට සිරිපා වලට තියෙන අඩු දුර නිසා ෆිෂින් හට්ස් වලට හොඳ කාලයක් උදාවෙනවා කියලත් අපිත් එක්ක කතා කරපු කුක් අයියා කිව්වා. සිරිපාදෙ මහගිරිදඹේට පහලින් හෙලිකොප්ටර් අංගනයක් හදන්න යන කතාවක් තිබුනා නේ. මං රත්නපුර පැත්තෙන් සිරිපා බැස්ස වෙලේ එහේ කඩවල් හිටපු අය කිව්වෙ ඒ පැත්තෙ තමයි හෙලිකොප්ටර අංගනය හදන්න ගියෙ කියලා. නමුත් මේ පැත්තෙ ඒ කිව්වෙ හැටන් පැත්තෙ අය කියනවා මේ වත්ත කිස්ටුව තියෙලු මහ තැනිතලා බිමක්. ආන්න එතන ඔය කියන හෙලිකොට්ටර අංගනේ හදන්න යනවා කියලත් ඒක බලන්න සහ සැලසුම් කරලා පාරවල් හදන්න මහත්තුරු ඇවිත් කතා කලා කියලත් අපේ කුක් තුමා කිව්වා. කුකා කිව්වට ඕවා ඉතිං කුකාගේ නයාද දන් නැහැ.

තරුණ පිරිසට විනෝද වෙන්න ස්වභාව සෞන්දර්යය විඳින්න හොඳ තැනක් තමයි මස්කෙලිය ෆිෂින් හට්ස් කියන්නෙ. ඉතිං කැමති කෙනෙක්ට ෆිෂින් හට්ස් ගැන විස්තර අන්තර්ජාලයෙන්ම සොයාගත හැකි ගූගල් සෙවුමක් මගින්.

11 comments:

  1. දහ දෙනෙතුට රුපියල් දාහක් කියන්නෙනං ලාබයිනෙ. කෑම බීමත් එක්කනං ලාබයි. ලයිට් නැති එක හොඳයි. සමාරු ට්‍රිප් එකක් ගිහිනුත් ෆෝන් එක ඔබ ඔබ ඉන්නවනෙ. තව සමාරු ලැප්ටොප් අරන් යනව. මොන බම්බුවකට ඕව ගෙනියනවද මංද. ඒ හින්ද ඔය ෆිශින් හට්ටෙකට ලයිට් නැති එකනං හොඳයි

    ReplyDelete
  2. යන්න හොද තැනක් වගේ...වාහෙනක් ගියොත් අතරමග පාක් කරන්න තැනක් තියෙනවද ?.....සීතලේ බොන කොට වදින්නේත් නෑනේ....ගොඩක් බෝතල් ඉවර වෙන්න ඇති නේද?

    ReplyDelete
  3. යන තැන මොබයිල් සිග්නල් නැති එකනං පංකාදුයි බං. නැත්තං බීල ජොලියෙ සින්දු කියන වෙලාවට එක එකා මල් කැඩිල්ල අරඹනව අර සින්දු කියන එවුංට සද්ද කරන්න එපා කියල. මම වතාවක් එහෙම එකෙක්ගෙ ෆෝන් එකක් වතුර පාරකට විසිකරලත් තියනව මල පැනල

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා. මොබයිල්, ටීවී පුදුම වසංගත. වතාවක් අපේ ගෙදරත් පොඩි ගෙට් එකක් දානකොට අපි සින්දු කියද්දී මස්සිනා කාරය ටීවී එක දාපි IPL මැච් එකක් බලන්න. ඉතින් වැඩේ අහවර උනා. ( ඌ ඒක කලේ පාහරකමටමයි )

      Delete
  4. දහ දෙනෙක්ට දහ දාහක් කියන්නේ ඒ තරම් සැර ගානක් නෙවෙයිනේ....
    තව විස්තර ටිකක් දෙන්න පුළුවන් නම් පංකාදුයි. (කොහොමද බුක් කරන්නේ, කෑම බීම දෙනවද,etc)

    ReplyDelete
  5. මේ ගැන ලිවීම සතුටුයි, ඒත් විස්තර අස්ම්පූර්ණයි වගේ. ෆිෂින් හට්ස් කියන්නෙ සුන්දර නිස්කලන්ක තැනක් වගේම දිය ඇලි කිහිපයකටම හරි ලඟ තැනක්. මෙන්න මේ ලින්ක් එකට ගිහින් බලන වැඩි විස්තර දැනගන්න.

    http://www.lakdasun.org/attractions/attraction-02-fishing-hut-muskeliya.htm

    ReplyDelete
  6. niyamai yaluwa ape paththeth enna http://www.sinhapedia.com/

    ReplyDelete
  7. ස්තුතියි පැරණි මතකයක් වෙත ආපසු රැගෙන ගියාට. මම අවසාන වරට ෆිෂින් හට්ස් වෙත ගියේ 1985 දි විතර කියලයි මතකය. ඒ මම ලක්ෂපාන යුද හමුදා කඳවුරේ සේවය කරමින් සිටිය කාලයේදීයි. ෆිෂින් හට්ස් වලට දිග ඉතිහාසයක් තියනවා. ඒ කාලෙනම් ඒ ඉතිහාසය මම දැනගත්තේ ඒ පළාතේ තේ වතුවල වතු අධිකාරි වරුන් සමග ගතකල බොහොම සුන්දර සන්ධ්‍යාවන් වලදියි. හැබැයි ඒ කාලෙත් ඔතන අයකිරීම් තරමක් සැරයි. එකම හේතුව එවැනි පරිසරයක එවැනි පහසුකම් ලබාදීම තරමක් දුෂ්කර නිසා. බඩු ගෙනාවේ කම්කරුවන්ගේ කරපිටින්. දැන් පහසුකම් වැඩි දියුණු වුනත් 'ස්ථානයේ නම්බුව රකින්න' සෑහෙන මිලක් අය කරනවාද දන්නේ නැහැ. ඒ පැත්තේ හෙළිකොප්ටර් අංගනයක් හැදීමට විරුද්ධ වෙන්නේ සුළු ව්‍යාපාර වලින් අධික ලාභ ලබන අයයි. එවැනි හෙළිකොප්ටර් අංගනයකින් සංචාරක ප්‍රවර්ධන කටයුතු දියුණු වනවා වගේම ශ්‍රීපාද වන්දනා සමයේදී හදිසි ආපදා සහ රෝග උත්සන්න වීමෙන් කරදරයට පත්වන අය රෝහලක් වෙත ගෙනයාමට, කාලෙන් කාලෙට ශ්‍රීපාද අඩවියේ ඇතිවන ගිනි ගැනීම් මර්දනයට රුකුලක් වෙනවා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  8. මමත් මෙතැනට ගිහිං තියනවා මෙයිට වසර 20කට විතර කලින්. ඒ ගිය සටහන තරුණයා පත්තරේ පළ කළා. එකල එහි ගිය මතකය යළි සිහියට නැගුනා මේ සටහනින්.

    ReplyDelete