Monday, March 24, 2014

බෙර ගෙඩිය ගත් මිනිසා

හිරිගඩු පිපී නොනැවතුනු සීතල මස් සහ ලේ පසුකරගෙන අස්ථි දක්වාම ගමන් කරන්නට පටන් ගෙන දෝ හෝ වහාබ් සිතන්නට විය. වහාබ්ට මේ කුඩා ඉඩේ හුලිජ්ජ ගඳ ගහන සිගරටි දුමින් පිරුන කුටීරයේ සිටිම ගැටළුවක් නොවීය. නමුත් කිසිවෙකු වටපිටේ නොමැති වහාබ් පමණක් සිටින තැනකැයි වහාබ්ට සිතුනි. රිමාන්ඩ් කුටියේ සිටි අනෙක් අය මත වලින් වහාබ්ට වඩා වෙනස් වූහ. එහෙත් සිගරට් කිහිපයක්ම වහාබ් වෙත දික්වෙන ලදී. සිරමැදිරියේ සිගරට් බීම පොතට අනුව වැරදිය. නමුත් පොතට අනුව වැරදි වුවත් සමහර දේවල් ඒ පරිදිම සිදු වේ.

සිගරට් බීම වහාබ් නොකලේය. සිරකරුවන්ට ගෙවල් වලින් සහ මිතුරන් ගෙනත් දුන් කෑම වලින් සැලකිය යුතු ප්‍රමාණයක් වහාබ් වෙත වෙන් විය. හිතුවක්කාර තම්බියා යැයි අනික් වුන් විසින් සිතින් වහාබ් ව හැඳින්වුවත් ඔවුන්ගේ කුඩා අපිරිසිදු ඝන මීටර කිහිපය තුල මනුෂ්‍යත්වයට වඩාත් තැනක් ලැබුනි. වහාබ්ගේ ගැටළුව කතා කර තේරුමක් නැති බව දැනගත් පිරිසෙන් එකෙකු. වහාබ්ගේ දරුවන් ගැන ඇසීය. ව්‍යාපාර ගැන ඇසීය. නමුත් වහාබ්ට ඇති ව තිබූ ගැටළුව හැර වෙන කිසිවක් ගැන වහබ්ගේ උනන්දුවක් නොවුනි ඉතිං තමුසෙට තිබුනෙ බෙරේ පොලිසියට දෙන්න නේ? සිරකරුවෙකු වහාබ්ගෙන් මුලදී ඇසුවේය. 

වහාබ් ඔහු දෙස නොබලාම උත්තර දෙයි.. තව කට්ටිය ඒව මේව අරං ගියා. තරුණ කොල්ලෙක් කොන්ඩ වවං මම මුරපොලේ තියාගෙන ඉන්නකොටම ගිටර් එකක් අරං ගියා. ගිටර් එක පුලුවං මේ ඩොල්කිය තමා බැරි. තව පොඩි බොංගෝ වගේ ඒවත් අරං ගියා. මගේ බෙරේ තමයි මේ මහා පූජාභූමියට නරක් වුනේ. සිරිපාදෙ ඒ සාදු ගොල්ලන්ගෙම වෙලනේ..

ඉතිං කෝ ඔවැයි විතරයි ආවෙ. නඩයක් නැහැ? ඒ තවත් සිරකරුවෙකි.

මට සිරිපාද එක බලන්න ආසාවක් ආවා. පුංචි කාලෙ ගියායිං පස්සෙ යන්න බැරිවුනා. ඉස්සර අපි කෝච්චියෙ සිංදු කිය කිය යන්නෙ. මගේ යාලුවන්ට කතා කලා. එන්න බැහැයි කිව්ව. මේ පාර සල්ලි නැහැලු. පවුල් පස්නලු. අපේ පවුල එක්ක එන්න බැහැ මේවයි? මේ පේනවනේ තනියම ඇවිල්ලත් තියෙන හිරිහැරේ..වහාබ් කියන්නට විය.

ඉතිං ඕයි තනියම ආවනං මොකට බෙරයක් උස්සං ආවෙ?

ඇයි තුන්සරන කවි.කවි එහෙම කියනකොට ගහ ගහ යන්න. ඒ නැතත් ඉස්සර අපි සිරිපාදෙ යනකොට බෙරයක් අරං එනවා. කොච්චියෙදි හරි සිංදුකියන්න. මං මේ බෙරේ ගත්තෙත් දැන් අවුරුදු දෙකකට විතර කලිං ට්‍රිප් එකක් ගෙනියන්න කියලමයි.ඒත් ඉතිං අපිට මොන ට්‍රිප් යෑමක්ද? සමාර දවස්වල ඉරිදත් මොකක් හරි වැඩක්..

.ඩෝලෙ හෙන ලාබෙට ලැබුන. නාකි මහත්තයෙක් ගේ ගෙයක් අස් කරන වෙලාවක මම පැනල ඕක ඉල්ලුවම රුපියල් දෙසීයක් දෙන්න කිව්වා. මම වෙන කට්ටියට කතා කරා කරා පොඩ්ඩක් වෙනසකටත් එක්ක අපි ට්‍රිප් එක යං කියලා උන් ආවෙ නැහැ. ඒ නිසා මං තනියම බෙරේ අරං එන්න ගත්තෙ..වහාබ් කියන්නට විය.

තමුසෙල නිදාගන්නවා. ඕකට පැහැදිලි කරන්න බැහැ. මිනිහ විතරක් නෙමෙයි මහ බෙර එක්ක ලොකු කාන්ඩයක් අල්ල ගත්ත. උන් ගොඩක් උන් බෙර තියල ගියා. මේ යකාට මේක අරං යන්නම ඕනලු. මෝඩයෙක්.. එතැනට පැමිණ පොලිස් කොස්තාපල් වරයෙක් කියාගෙන ගියේය. අපිටත් වෙන වැඩ නැතුවට වැඩ. බෙර අල්ලන්නයි. බීලද කියල බලන්නයි. වැඩිපුර බීල ගිහින් උඩ මලුවෙ කබරය දායි කියලද මන් දන් නැහැ.. සික්.. මේ වසංගත කරුම වලට අපිටත් කර ගහන්න වුනානේ. ඒ මදිවට මේ වගේ රට බූරුවො...බෙරේ තියල යන්න කිව්වම. තියල යන්නෙ මොකටද කියල හරස් පස්න අහනව? අපිට බෙර අරං මේක අස්සෙ බජව් දාන්නයැ. ඉහලින්ම කියල සංගීත බඩු අල්ලන්න කියලා. ඒත් ඉන් පස්සෙ ගිටර් කාරයොන්ට යන්න දුන්න උන් අවුලක් නැහැ කියල. පස්සෙ තමයි මේ මහ බෙර කෑලි අල්ලන්න ගත්තෙ.

පොලිස් කාරයට වෙන කාත් එක්කදෝ තරහක් තිබිලා එය වහාබ් කරපිටින් යන්නට පටන් ගත්තාක් මෙනි.

මම ජොයින්ට් විකුන්න. කොහෙන්ද එන පුංචි පරයො ටිකක් පොලිසියට පේන්නම දුම ඇදල. හරක්..අපිවත් කරන්නැති වැඩ.. උන් නිස තමයි මට අද කූඩුවට එන්න වුනේ. එකෙක් කියන්නට විය.

එතැන ඇත්තේ නිහැඩියාවකි.

වහාබ් කතාකරන්නට පටන් ගති.

උදේ පාන්දර ලිටකොටුවෙ හැම පෝන් කඩේම දාල තියෙන්නෙ‍ෙසාදුල තාලෙට බණ කියන ඒව. ඒ සාදු අම්මා තාත්තා ආච්චී ගැන කවි බන කියනවා හරි ලස්සන තාලෙට.. ඒක මැදින් වයලින් සද්දෙත් ඇහනෙව. පෙරහැරල්වල ත් බෙර ගහනවා. හැම බවුද්ද උස්සව වලම බෙර ගහනව. මගේ ඩෝලෙ තමයි සාදුලාටයි රාලහාමිලටයි ලොකු වැඩි වුනේ. මං කිව්ව ඒ කිව්ව ලොකු සාද හම්බෙලා කතාකරන්න දෙන්න කියල. ඒත් මෙයාල හිනාවුනා විතරයි...

තමුසෙ මුස්ලිම් නේද? හෙට උදේ වෙනකොට තමුසෙලයි ලොක්කෙක් ඇවිත් අරගෙන යයි. බයවෙන් එපා. සිර කුටියේ සිටි වෙනත් අයෙක් කියන්නට විය.

අනේ මන්ද. ගෙදරින් හොද නැහැ මම මේ තනියම තැන් තැන් වල ආවට. ගෙරදට කියන්නත් බැහැ. මට පල්ලියට කියන්නත් බැහැ. බෙර අරංගියේ මොකද කියල එයාලත් අහයි. පොලිස්යට එපා වුනාම යවයි. වහාබ් කියන්නට විය.

තමුසෙට පිස්සුද ඕයි. අඩුතරමෙ ඇප කාරයො දෙන්නෙක් වත් ඕන. ඇප ගන්න. නැත්තං දඩ ගෙවන්න හරි මොකෙක් හරි ඉන්න ඕනි. ‘‘අනික බුදුහාමුදුරුවො කොහෙද බෙර ගෙනිය්න්න එපා කියල තියෙන්නෙ කියල තමුසෙ අහල තියෙනව කියන්නෙ ලොකු මහත්තුරු ඉස්සරහම? ‘‘ඒකට මහත්තයට තරහ ගිහින්ලු.. එකෙක් වහාබ්ට සැර විය.

අනේ මන්දා.. කොළඹ මේ තරං හීතලක් නැහැ. ඒ මදිවට පැදුරු මාල්ලක් වත් නැහැ. සිමෙන්ති පොලව හීතලයි. කොළඹ පේමන්ට් වල නිදාගන්නව මීට වඩා සනීපයි. වහාබ් කියන්නට විය.

අද ගල් ඔස්තාර්ල ඇතුලෙ නැහැ. ඒ නිසා තමුසෙව උණුසුම් කරන්න නම් අද මේක ඇතුලෙ එකෙක් නැතිවෙයි. හහ් හහ්...හා..එකෙක් සිනාසෙමින් පැවසුවේය. ගල් ඔස්තාර්ලා ගැන කියූ විට අලුත කූඩුවට පැමිණි ඇතැමෙක් බියපත් වුවද ඔවුන්ද සිනාසුනි.

මේ වෙලාව කීයද බං?

එක විතර වෙලා.

තාම එකයිද? ඔව්..

අනික් වුනුත් නිදි නැහැ. තම්බිය බෙරේ පිටින් අල්ලගත්තෙ ඕකට සිංදුත් කියන්න පුලුවං ඇති නේ. ඌට කියමු සිංදුවක් කියන්න කියල. අනික් උන් කෑගැහුවත් ඌට නේ..

මේ වහාබ් අයියෙ නින්ද යන් නැති එකේ සිංදුවක් වත් කියමුද? මං කාසියක් හොයාගත්ත කූරු වලට ගහන්න.. එක කොල්ලෙකු කීවේය.

ආහ් මල්ලි කියමු කියමු... එහනං මුලින්ම අපෙ ජාතියෙ එක්කෙනා බුදු සාදු ගැන කියපු එක පටන් ගන්නං..

වෙල් යායක ගොන් දෙන්නෙක් කකා වුනී......

වලිගේ ඇති යෙකා මැස්සන්ට බැට දුනී....

මොකද්ද ඔය් මේ මහ රෑ පැල් කවි කියන්නෙ? තොපිට නින්ද යන් නැද්ද? හැරීසිටි පැත්තෙන් අනික් පැත්තට හැරුන එකෙක් වහාබ ්සිටි පැත්තට හැරී පස්න කරන්නට විය..

නැහැ අයිය අපි සිංදුවක් කියන්න තමා හදනවා.. නින්ද යෙන්නෙත් නේනෙ.. වහාබ් එය මුස්ලිම් අය සිංහල උච්චාරණය කරන විදියටම කියන්නට වූයේ එයින් ඔවුන්ගේ අනුකම්පාව ගත හැකි යැයි සිතූ නිසාය..

හරි හරි කියන ලබ්බක් අදින් නැතුව නැගල යන එකක් කියනවකෝ..වහාබ් ගැන දුක හිතුන මැදිරියේ සිටි අයෙකු කීවේය.

වහාබ් නැවත පටන් ගන්නට විය..

බුජුන්ගේ අමා දර්මේ..නොතේරී දනා මේ..

වෙලීලා බැඳී ප්‍රේමේ. විනාසේ වුනාවේ..

පුවතක්...
‘‘,හදිසි මාර්ග බාධක යොදවා මත්ද්‍රව්‍ය, මත්වතුර පානය කර හෝ රැගෙන එන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමටත් ශ්‍රී පාද පුදභූමියට රැගෙන එනු ලබන සංගීත භාණ්ඩ මාඋස්සාකැලේ ප්‍රදේශයේ රඳවා ගැනීමටත් පියවර ගෙන ඇත.‘‘  http://www.mawbima.lk/86-11719-news-detail.html

5 comments:

  1. මං දැන් ටික දවසකට කලින් දැක්කා වීඩියෝ එකක් මුස්ලිම් මිනිහෙක් බෙග් ගේ සින්දුවක් කියන්න ගත්තු උත්සාහය. ඒක සිහිවුණා මේ කතාවෙන්.

    ReplyDelete
  2. මෙහෙම බෙර ගගහා සිරිපාදේ යන එක මුස්ලිම් අය කරනවද ? ආදම්ගේ අඩිය කියලා වන්දනා කරනවා විතරයි නේද ??

    ReplyDelete
  3. හුටස් කීවලු...
    අනේ මංද... මේකට මක්ක කියන්නද කියල.. මොකද බෙර ගෙනියන එක අපිත් කරනව.. ඒත් මග දාල යනව මිසක් උඩට ඇරං යන්නෙ නෑ.. මං කියන්නෙ නෑ බෙර ඇන්න යන එකෙං ශ්‍රද්ධාව අඩු වෙනව කියල ඒත් ඒකෙන් අන් අයට යම් හිරිහැරයක් වෙන්න පුලුවං නේද....? හෙමාකද එක එක්කෙ නාගෙ ඇටිටියුඩ් එක වෙනස්නෙව

    ReplyDelete
  4. මේක කියවද්දි පරිවර්තන කතාවක් වගෙ දැනුන සමහර තැන් වලදි. මගෙ අදහස නම් පූජනීය ස්ථාන වලදි සංගීත භාණ්ඩ විතරක් නෙවෙයි සීමාව ඉක්මවා යන ශබ්ද විකාශන වුනත් අනෙක් අයට කරදරයක් කියන එකයි.

    ReplyDelete
  5. බෙර නම් අර පෝලිමට තියලා තියෙන්නේ චෙක්පොයින්ට් එකේ. අල්ලන උන් කුඩු කරන්නේ නම් නැද්ද කොහෙද

    ReplyDelete